ඇමෙරිකානු යුද නෞකාවක් තෙල් ප්‍රවාහන නෞකාවක් සමග සිංගප්පූරු මුහුදේදී එකිනෙක ගැටීම හේතුවෙන් ඇමෙරිකානු නාවිකයන් 10 දෙනෙකු අතුරුදන්ව, තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.
යූ.එස්.එස්. ජෝන් මැකේයින් නැමති මෙම යුද නෞකාව සිංගප්පූරුවට නැගෙනහිරින් යාත්‍රා කරමින් තිබී ඇති අතර, එය සිංගප්පූරු වරායේ නැංගුරම් ලෑමට සූදානම්ව සිටියදී ලයිබීරිනු ධජය දරන තෙල් ප්‍රවාහන නෞකාවක ගැටී තිබේ.
අනතුරින් පසුව අතුරුදන් වූ නාවිකයන් සොයා මේ වනවිට දැඩි සෝදිසි මෙහෙයුමක් සිදුවන බව ඇමෙරිකානු බලධාරීහු පවසති.
ආසන්න මාස කිහිපයේදී ඇමෙරිකානු යුද නෞකාවක් මෙවැනි අනතුරකට මුහුණදුන් දෙවැනි අවස්ථාව මෙය වෙයි.
අද (21දා) අලුයම 5.24 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මෙම යුද නෞකාව සිය සංචාරයේදී පුරුද්දක් ලෙස සිංගප්පූරු වරායේ නැංගුරම් ලෑම සිදුවන බව සඳහන් වෙයි.
අනතුරින් නෞකාවට දැඩි අලාභානි සිදුව ඇති බවට මුලින් වාර්තා වුවත්, මේ වනවිට නෞකාව සිය යාන්ත්‍රික බලයෙන්ම වරාය වෙත යළි ගමන් කරමින් සිටින බව ඇමෙරිකානු බලධාරීහු පවසති.
සිංගප්පූරුව අවට මුහුදු කලාපය අතිශය කාර්ය බහුල නෞකා ගමන් මාර්ගයක් වන අතර, ලෝකයේ වෙළෙඳ කටයුතු රැසක් සිදුවන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙයි.