තමා ආශ්චර්යවත් දරු උපත්වලට ඉඩසලසන්නෙකු බව පවසන කෙන්යානු පාස්ටර්වරයෙක් නීතිවිරෝධී ළමා ජාවාරම් පිළිබඳ චෝදනාවලට මුහුණදීම සඳහා සිය රට වෙතම පිටුවහල් කිරීමට මහා බ්‍රිතාන්‍ය කටයුතු කර තිබේ.
ගිල්බට් ඩේයා නමැති මෙම පාස්ටර්වරයා මහා බ්‍රිතාන්‍යයේ රැඳී සිටීම සඳහා දශකයක පමණ කාලයක සිට උත්සාහ කළ නඩුවෙන් පරාජයට පත්වීමත් සමග ඔහු පිටුවහල් කිරීම නියම කෙරිණි.
වර්ෂ 1999 සිට 2004 දක්වා කාලය තුළ දරුවන් පස් දෙනෙකු සොරකම් කිරීම පිළිබඳව ඔහුට එරෙහිව කෙන්යාවේ නයිරෝබි නුවර නඩුවක් විභාග වෙමින් පවතින අතර, ඔහු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
ලන්ඩනය තුළ යාඥා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති මෙම තැනැත්තා පිළිබඳව 2004 වසරේ බී.බී.සී.ය සිදුකළ විමර්ශණාත්මක හෙළිදරව්වකට පසුව ඔහු පිළිබඳ අවධානය වැඩි විය.
එහිදී, තම යාඥා මධ්‍යස්ථානයට පැමිණෙන කාන්තාවන්ට ආශ්චර්යවත් දරුවන් දෙන බව ඔහු පැවසුවත්, සැබවින්ම ඔහු දරුවන් ලබාදෙන්නේ නයිරෝබි නුවර රෝහලෙන් දරුවන් සොරකම් කිරීමෙන් බව අනාවරණය වී තිබේ.