නේපාලයේ වයස්ගතම සිසුවා යන විරුධාවලිය ලබා ඇති 68 හැවිරිදි දුර්ගා කාමී නමැති සීයා කෙනෙකු පිළිබඳ වාර්තා වෙයි.
තමන් වයෝවෘද්ධ වයසක සිටියත්, ළමා කාලයේදී ලබාගැනීමට නොහැකි වූ අධ්‍යාපනය ලබාගැනීමට තවමත් පමා නොමැති බව පවසමින් දුර්ගා එරට පාසල් අධ්‍යාපනයට ඇතුළු වී ඇත.
එකල ළමා කාලයේදී අත්විඳි අගහිඟකම් නිසා අධ්‍යාපනය අතරමග කඩාකප්පල් වූ බවත්, අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව දැන්වත් ගුරුවරයෙකු වීම තම බලාපොරොත්තුව බවත් 68 වැනි වියෙහි පසුවන මේ නේපාල ජාතිකයා පවසයි.
ඒ අනුව, දැනට තමන් අධ්‍යාපනය ලබන පාසලට පැයක පමණ පා ගමනකින් පසුව ළඟා වන ඔහු, නේපාල අධ්‍යාපන පද්ධතිය අනුව මේ වනවිට 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේ, වයස අවුරුදු 14 හා 15 වයසේ දරු දැරියන්ට මැදිවය.
මෙම පාසලේ ගුරුවරයෙකු පවසා සිටියේ තම පියාගේ වයසේ ශිෂ්‍යයෙකුට පාසලේදී අධ්‍යාපනය ලබාදීමට සිදුවීම මුලින් යම් චකිතයක් ඇති කළත්, පසුව එය සාමාන්‍ය තත්ත්වයක් වූ බවයි.
දරුවන් හය දෙනෙකුගේ පියෙකු හා මුණුබුරු මිණිබිරියන් 8 දෙනෙකුගේ සීයා කෙනෙකු වන දුර්ගා මෙම පාසලේ සෙසු දරුදරියන් සමග බොහොම සුහදශීලීව අධ්‍යාපනය ලබන්නේ, බා හෙවත් තාත්තා යන ආදරණීය ආමන්ත්රණයද සමගිනි.
තම බිරිඳගේ වියෝවත් සමග ලැබූ හුදකලා ජීවිතයත්, තමන්ට අතපසු වූ අධ්‍යාපනයත් මේ පාසල් ගමන සමග සම්පූර්ණ වූ බව මේ වයෝවෘද්ධ ශිෂ්‍යා පවසා සිටියි.