දෙමවුපියන් විසින් දඬුවමක් ලෙස වනයේ තනිකර දමා සිටියදී අතුරුදන්ව සිටි ජපාන දරුවා යළි සොයාගැනීමට හැකි වී තිබේ.
ජපානයේ හොක්කයිදෝ හි වනාන්තරයක වයස අවුරුදු 7ක් වන යමටෝ තනුකා නමැති පිරිමි දරුවෙකු මෙසේ දෙමවුපියන් විසින් දමාගොස් තිබුණි.
කෙසේ වෙතත්, දරුවා සොයා යළි පැමිණි විට දරුවා නොමැති නිසා දරුවා අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිලි කළ දෙමවුපියන්, පසුව තමන් දඬුවමක් ලෙස දරුවා මෙසේ තනිකර දමා ගිය බවද පොලීසියට පාපෝචචාරණය කර තිබුණි.
ඒ අනුව, පසුගිය දින කිහිපය පුරාවට මෙම දරුවා සොයා විශේෂ මෙහෙයුම් රැසක් වනාන්තරය තුළ සිදුකෙරුණු අතර, අවසානයේදී ඔහු අතුරුදන් වූ ස්ථානයට කිලෝමීටර් කිහිපයක් දුර හමුදා බැරැක්කයක සිටියදී මෙම දරුවා සොයාගෙන තිබුණි.
එහිදී, මෙම දරුවා තමන්ට හමුදා බැරැක්කය හමුවන තුරු තනිවම වනාන්තරය තුළ ගමන් කර ඇත. එහිදී, ඔහුව වහාම ගුවන් මගින් රෝහල්ගත කර ඇති අතර, ඔහුගේ සෞඛය තත්ත්වය අයහපත් නොවන බව බලධාරීහු පවසති.
එමෙන්ම, දරුවාගේ දෙමවුපියන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද ජපාන බලධාරීහු පවසති.