(UPDATE) අතුරුදන් වූ MH370 මැලේසියානු යානය දකුණුදිග ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බව එරට අගමැති නජීබ් රසාක් නිවේදනය කරයි.
යානය පිළිබඳ වූ අලුත්ම චන්ද්‍රිකා ඡායාරූප පිළිබඳ සිදුකළ නීරීක්ෂණයන්ගෙන් මෙය තහවුරු වී ඇති බව අගමැතිවරයා පෙන්වා දෙයි.
අගමැතිවරයා මෙම ප්‍රකාශය කිරීමට පෙර මැලේසියානු ගුවන් සේවය එස්.එම්.එස්. පණිවුඩයක් මගින් යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන්ට කියා සිටියේ යානයේ සියලු දෙනා නැතිවූ බවත්, ජීවිතය රැකගත්තෙකු සිටිය නොහැකි බවත්, මේ වනවිට පිළිගත යුතු බවය.
කෙසේ වෙතත් යානය සොයා ගැඹුරු මුහුදේ නිරීක්ෂණයක් සිදුකිරීමට දැන්ම ඉක්මන් වැඩි බව ප්‍රංශ නිරීක්ෂකයන් උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය පවසයි. මේ පිළිබඳ තවදුරටත් තොරතුරු තහවුරු කරගත යුතු බව ඔවුන් පේනවා දී තිබේ.
මේ අතර, අද හවස් වනවිට මැලේසියානු යානයේ සුන්බුන් බවට සැකකෙරෙන කොටස් දෙකක් ඔස්ට්‍රේලියානු නීරීක්ෂණ යානයක් විසින් හඳුනාගෙන ඇති බවත්, එම කොටස් ඇති ප්‍රදේශය වෙත මේ වනවිටත් නෞකාවක් පැමිණෙමින් සිටි බවත් වාර්තා වුණි.
මැලේසියානු ප්‍රවාහන අමාත්‍යවරයා පවසා සිටියේ දකුණුදිග ඉන්දීය සාගරයේ තිබී මෙම කොටස් දෙක සොයාගෙන ඇති බවයි.
ඉන් එක් කොටසක් රවුම් හැඩයක් ගෙන ඇති බවත්, එය අළු හෝ කොළ වර්ණයෙන් යුතු බවත්, අනෙක් කොටස හතරැස් බවත්, එය තැඹිලි වර්ණයෙන් යුතු බවත් ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබ්බොට් පවසයි.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු අගමැතිවරයා අවධාරණය කරන්නේ මෙම කොටස් පසුගිය 8 වැනිදා පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ MH370 යානයේ කොටස් බව තහවුරු කරගෙන නොමැති බවයි. ඇතැම් විට ඒවා විපතට පත් නැවකින් පාවී එන සුන්බුන් විය හැකි බවත් අගමැතිවරයා පවසා ඇත.
කෙසේ වෙතත් මීට පෙර චීන හමුදා යානයකින් හඳුනාගෙන තිබූ හතරැස් හැඩයේ සුදු වර්ණයෙන් යුතු කොටස්වලට වඩා මේවා වෙනස් බවද අගමැතිවරයා පෙන්වාදී තිබේ.
ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවේ පී3 ඔරියන් යානාවක් විසින් මෙම කොටස් හඳුනාගෙන තිබේ.