පොප් තරුවක් ලෙස ප්‍රසිද්ධ ජස්ටින් බීබර් ඊයේ (23දා) අලුයම 4.00ට පමණ අත්අඩංගුවට පත්වූ බව වාර්තා විය.
ෆ්ලොරීඩාහි, මියාමි බීච් ප්‍රදේශයේ පටු මාර්ගයක් අවහිර කරමින්, අද අලුයම් කාලයේදී සුපිරි ලැම්බෝගිනී රථයක් වේග සීමා ඉක්මවමින් තරගයට මෙන් ධාවනය කිරීමත්, මත්පැන් හා මර්ජුවානා පානය කර සිටීමත්, කල් ඉකුත්වූ රියදුරු බලපත්‍රයකින් රිය ධාවනය කිරීමත් යන චෝදනා යටතේ බීබර් අත්අඩංගුවට පත්ව තිබිණි.
එසේ පොලිස් අත්අඩංගුවට පත් බීබර්, එදිනම උසාවියට ඉදිරිපත් කෙරුණු අතර නඩු විභාගය අතරතුර ඔහු නොහික්මුණු හැසිරීමක් විදහා දක්වන ආකාරය වීඩියෝ දර්ශන හා ඡායාරූපවල දැකගත හැකිවිය.
නඩු විභාගය අවසානයේදී ඇ.ඩො.2,500 ක මුදල් ඇපයකට යටත්ව බීබර් නිදහස ලැබීය.
නඩු විභාගයට පෙර මාංචු සහිතව පොලිස් ස්ථානයෙන්, බන්ධනාගාරය වෙත මාරු කළ බීබර් කැමරා කාචයට හසුකර ගැනීමට මාධ්‍ය යුද්ධයක් පැවති බවද වාර්තා විය. කෙසේ වෙතත් අධිකරණයෙන් නිදහස්ව පැමිණි බීබර් සුපුරුදු රංගනයක්ද දමමින්, තම සගයන් සමග පිටත්ව ගිය බවද මාධ්‍ය වාර්තාවල කියවුණි.
අද අලුයම බීබර් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහුගේ මෝටර් රථයෙන් දැඩි මත්පැන් දුගඳක් වහනය වූ බවද මියාමි බීච් පොලිස් ප්‍රධානියා මීට පෙර පෙන්වා දුන්නේය. මේ අතර, තම මෝටර් රථය නැවැත්වීම ගැන පොලිස් නිලධාරියාට චෝදනා කරමින් ඔහු පොලිස් නිලධාරියාට කුණුහරුපයෙන් බැණ වැදී ඇති බවද කියැවෙයි. පසුව, පොලීසිය විසින් සිදුකළ මත්පැන් පරීක්ෂණයෙන් බීබර් අසමත්ව වූ බවද පොලීසිය පෙන්වා දුන්නේය.
මේ සමගම බීබර්ගේ මිතුරෙකු වූ රැප් ගායක ඛලීල් ෂරීෆ්ද අත්අඩංගුවට පත්වූ අතර, ඔහුද මුදල් ඇප මත නිදහස ලැබීය. ඔහු බීබර්ගේ රතු පැහැති ෆෙරාරි මෝටර් රථය ධාවනය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබිණි.
මෙම සිදුවීමට පෙර චාන්ටෙල් ජෙෆ්රීස් නමැති නිරූපිකාව සමග ලැම්බෝගිනී රථයේ නැගී බීබර් රාත්‍රී සමාජ ශාලාවකින් පිටත්ව යන ආකාරයද කැමරාවකට හසුව තිබිණි.
කෙසේ වෙතත්, 19 හැවිරිදි වියේ පසුවන බීබර් මෑත කාලයේදී කිහිප වරක්ම මේ ආකාරයෙන් පොලීසිය වෙත යෑම් ඒම් තිබූ බවද නොරහසකි.
මිට සතියකට පෙර ලොස් ඇන්ජලීස් නුවර තම අසල්වාසියෙකුගේ නිවසට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ බවටද බීබර්ට එරෙහිව චෝදනා නැඟුණු අතර, පොලීසිය විසින් ඔහුගේ නිවස පරීක්ෂා කිරීමක්ද එහිදී සිදුවිය.
එමෙන්ම පොදු දේපොළවලට හානි කරන්නෙකු ලෙසද ඔහු මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව තිබේ. ඔහුගේ පිරිවරේ සගයෙකු මත්ද්‍රව්‍ය ළඟතබා ගැනීම නිසා මෑතකදී අත්අඩංගුවට පත්විය. මේ ආකාරයෙන් ඔහුට එරෙහිව විවිධ රටවලදී විවිධ චෝදනා එල්ල වී තිබේ.
නව යොවුන් වියේ ගායකයෙකු ලෙස කලඑළි බැස අද වනවිට ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම සිටියත්, මේ අසංවර හැසිරීම් හමුවේ තව කොතෙක් දුර ජස්ටින් බීබර් ගායන ලෝකයේ මේ සුපිරි කිරුළ දරාගෙන සිටිනු ඇතිද යන්න ගැටලුවක් බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.