අඩු වයසින් රටේ සුක්ඛානම ලැබූ රාජ්‍ය නායකයන් ගැනයි
ප්‍රංශයේ නව ජනාධිපතිවරයා ලෙස 39 හැවිරිදි එමානුවෙල් මැක්රෝන් තේරීපත්වීමත් සමග ලොව ළාබාලතම දේශපාලඥයන් හා රාජ්‍ය නායකයන් පිළිබඳ කතාබහක් ඇති විය.
විශේෂයෙන්ම, ප්‍රංශයේ එදාමෙදා තුර ජනාධිපති ධුරයකට පත් ළාබාලතම ජනාධිපතිවරයා ලෙස මැක්රෝන් වාර්තා අතරට එක්වන අතර, ඔහු විසින් වර්ෂ 1848 දී නැපෝලියන් බොනපාට් විසින් 40 හැවිරිදි වියේදී බලයට එමින් තැබූ වාර්තාව වසර 170කට ආසන්නව බිඳ හෙලනු ලැබිණි.
ප්‍රංශ ජනාධිපතිවරයාගේ මේ ආගමනයත් සමගම, ලොව පුරා රාජ්‍ය බලයේ සිටින තරුණ රාජ්‍ය නායක නායිකාවන් පිළිබඳ කෙටි සටහනක් මෙහි වෙයි
වැනෙසා දි ඇම්බ්‍රෝසියෝ
තවමත් 29 හැවිරිදි වියේ පසුවන වැනෙසා දි ඇම්බ්‍රෝසියෝ ලොව ළාබාලතම රාජ්‍ය නායිකාව ලෙස සැලකෙයි. ඉතාලියෙන් වට වූ ජනගහනය 33,000ක් පමණක් ජීවත් වන ලෝකයේ කුඩාම රාජ්‍යයක් වන සැන් මැරීනෝ හි රාජ්‍ය නායිකාව ලෙස ඇය කටයුතු කරයි.
කිම් ජොන්ග්-උන්
වර්තමානයේදී වඩාත් කතාබහට ලක්වන උතුරු කොරියාවේ නාහට නාහන නායක කිම් ජොන්ග්-උන් ලොව තවත් ළාබාලතම රාජ්‍ය නායකයෙකි. 34 වැනි වියෙහි පසුවන ඔහු 2012 සිට උතුරු කොරියාවේ බලය හොබවමින්, ඔහුගේ පාලනය යටතේ උතුරු කොරියාව න්‍යෂ්ටික ආයුද සහ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල නිපදවීමට උත්සාහ දරමින් සිටියි.
උතුරු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රාජ්‍යයන් අතර උත්සන්න වෙමින් පවතින උණුසුම හේතුවෙන් කිම් ජොන් අන් කෙරෙහි මේ දිනවල ප්‍රබල අවධානය පළවෙමින් තිබේ.
යූරි රතාස්
2016 දී පැවැති මහ මැතිවරණයේදී සෝවියට් දේශයෙන් බෙදීවෙන්වුණු එස්තෝනියාවේ බලයට පත්වූයේ සන්ධාන ආණ්ඩුවකි. එම සන්ධාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස බලයට පත්වූ යූරි රතාස් 38 හැවිරිදි වියෙහි පසුවන ළාබාල රාජ්‍ය නායකයෙකි. බෝල්ටික් කලාපීය රාජ්‍යයක්වන එස්තෝනියාවේ රුසියානු භාෂාව කතාකරන සුළු ජාතික ජනතාව අතර ඔහු අතිශය ජනප්‍රිය නායකයෙකි.
ව්ලැදිමීර් ග්රොයිස්මාන්
ව්ලැදිමීර් ග්රොයිස්මාන් වර්ෂ 2016 දී යුක්රේනයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන ලද අතර, ඔහු 38 වැනි වියෙහි පසුවෙයි. කෙසේ වෙතත්, යුරෝපයේ දෙවැනි විශාලතම රාජ්‍ය ලෙස සැලකෙන යුක්රේනයේ බලගතුරාජ්ය නායක පදවිය වන ජනාධිපති ධුරය හොබවන්නේ පේද්රෝ පොරොෂෙන්කෝ විසිනි. කෙසේ වෙතත්, ව්ලැදිමීර් ග්රොයිස්මාන් එරට ළාබාලතම අග්‍රාමාත්‍යවරයා වන අතර, යුක්රේන ඉතිහාසයේ දෙවැනි ළාබාලතම අග්‍රාමාත්‍යවරයාද වෙයි.
ජිග්මේ ඛේසාර් වැන්ග්චුක්
මීට ජනතා ඡන්දයෙන් තේරී පත් නොවූ රාජ්‍ය නායකයන්ද ඇතුළත් කරන්නේ නම්, භූතානයේ රාජ්‍ය නායක 37 හැවිරිදි ජිග්මේ ඛේසාර් වැන්ග්චුක් රජතුමාද ලොව ළාබාලතම රාජ්‍ය නායකයෙකු ලෙස සඳහන් කළ යුතුය.
2006 සිට රටේ බලය හොබවන ඉතා ජනප්‍රිය පාලකයකුවන ජිග්මේ රජතුමා හිමාලය පරිසරය ආරක්ෂා කරමින් භූතානය දියුණු කිරීමට උත්සාහ කරන පාලකයකු ලෙසින් ප්රකටය. රාජාණ්ඩු පාලනයේ සිට ව්‍යවස්ථාදායක රාජාණ්ඩු පාලනයක් දක්වා රටේ පාලන ක්‍රමය සංශෝධනය කිරීමේ ක්‍රියාදාමයටද ජිග්මේ රජතුමා සහාය පළකරයි.
තමීම් බින් හමාඩ් අල් තානි
කටාරයේ පාලනය හොබවන තමීම් බින් හමාඩ් අල් තානි ෂෙයික්වරයාද සිය පියා අභාවයෙන් අනතුරුව 2013 දී රටේ පාලනය භාරගත්තේය. 36 හැවිරිදි වියෙහි පසුවන ඔහු 2022 පාපන්දු ලෝක කුසලානය කටාරයට ලබාගැනීම සඳහා ප්‍රබල දායකත්වයක් දැරූ අතර, ඔහු රටේ ජාතික ඔලිම්පික් කම්ටුවේ සභාපතිවරයාද වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

