බාලි දූපත්හි අගුන්ග් ගිනි කන්ද ආශ්රිතව ජීවත්වන පුද්ගලයන් 100,000ක් පමණ ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීනු කටයුතු කර තිබේ.
ගිනි කන්දේ ප්රබල විදාරණයක් සිදුවනු ඇති බවට විශ්වාස කරමින් මෙම පියවර ගෙන ඇති අතර, එහි අවදානම් මට්ටම ඉහළ නංවමින්, අවදානම් කලාපයද විශාල කර ඇති බව බලධාරීහු වැඩිදුරටත් පවසති.
මේ වනවිට බාලි දූපත් ගුවන් තොටුපොළ වසා දමා ඇති බැවින්, සංචාරකයන් විශාල පිරිසක් බාලි සංචාරක කලාපය තුළ සිරවී සිටින බවද විදෙස් වාර්තා පවසයි.
ගිනි කන්දෙන් පිටවන ඝන දූලි වලාවන් සමග වායූන් අඩි 11,000ක් පමණ ඉහළට විසිරෙමින් පැවති බවද සඳහන් වේ.
මේ අතර, ගිනි කන්දෙන් පිටවන ගල් සහ සුන්බුන් කැබලිවලින් ආරක්ෂා වන ලෙසද අවට පදිංචිකරුවන්ට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
අගුන්ග් ගිනි කන්දේ විදාරණය මුල් වරට වාර්තා වූයේ පසුගිය සැපැතැම්බර් මාසයේදීය. කෙසේ වෙතත්, මේ වනවිට එය ප්රබල විදාරණයක් දක්වා පරිවර්තනය වෙමින් පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
