නෝර්වේ, ස්වීඩනය සහ ඩෙන්මාර්කය යන රටවල ගුවන් නියමුවන් වැඩවර්ජනයක් ඇරඹීමත් සමග ස්කැන්ඩිනේවියන් SAS ගුවන් සේවයේ යානා අවලංගු කිරීමෙන් මගීන් දහස් ගණනක් ගුවන් තොටුපොළවල සිරවී ඇති බව වාර්තා වෙයි.
SAS පවසා සිටියේ යානා 673ක් අවලංගු කර ඇති අතර, ගුවන් මගීන් 72,000කට මෙය සෘජුවම බලපෑම් කර ඇති බවයි.
එමෙන්ම, මෙම වැඩවර්ජනය හේතුවෙන් මගීන්ට වූ අපහසුව සම්බන්ධයෙන් SAS ගුවන් සේවය සිය බලවත් කනගාටුව ප්‍රකාශ කර ඇත.
ගුවන් නියමුවන්ගේ වැටුප් සහ වැඩමුර සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා බිඳ වැටීමත් සමග මෙම වැඩවර්ජනය ආරම්භ වූ අතර, මෙම අර්බුදයට මේ වනවිට මසකට වැඩි කාලයක් ගතවී තිබේ.
වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට අභ්‍යන්තර, යුරෝපා කලාපීය සහ දීර්ඝ ගමනාන්ත රැසක යානා අවලංගු කර ඇති අතර, SAS ගුවන් සේවයේ හවුල්කාර පාර්ශ්වයන් විසින් සිදුකරන ගුවන් ගමන්වලට මෙම වැඩවර්ජනය බලපෑමක් කර නොමැති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.