ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට එක්වීමට සිරියාවට පළාගොස් IS බිරිඳක වී දැන් යනඑන මං නොමැතිව සිටින ශමීමා බෙගම් බංග්ලාදේශයට පැමිණියහොත් ත්රස්තවාදයට හවුල් වීම යටතේ මරණ දණ්ඩනයට යටත් කළ හැකි බව එරට විදේශ ඇමතිවරයා පවසයි.
විදේශ ඇමති අබ්දුල් මෝමන් පවසන්නේ බංග්ලාදේශයට ඇය සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.
සිරියාවේ සරණාගත කඳවුරක දිවිගෙවන ඇය පසුගිය පෙබරවාරි මස නැවත බ්‍රිතාන්‍යයට පැමිණීමට කැමැත්ත පළ කරමින් ඒ සඳහා ඉල්ලීමක් කළත් නමුත් බ්‍රිතාන්‍ය රජය ඇයගේ පුරවැසිභාවය අහෝසි කිරීමට පියවර ගනු ලැබීය.
බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් සජිඩ් ජාවිඩ් කියා සිටියේ යමෙකු විදේශගත වී ත්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය දුන්නේ නම් එම තැනැත්තා නැවත බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වැළැක්විය හැකි බවය.
ඇගේ මව බංගලාදේශ ජාතිකයෙක් වීම හේතුවෙන් ඇයට බංගලාදේශ පුරවැසිභාවය ලබාගත හැකි බවට තරක මතු කරන වටපිටාවක බංග්ලාදේශයද එම අදහස තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව විදේශ අමාත්‍යවරයාගේ අදහසින් පැහැදිලි වෙයි.
කෙසේ වෙතත්, ඇය වෙනුවෙන් පෙනී සිටින ඉස්ලාමීය නීතිවේදීන් ඇයව යළි බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට දැඩි පරිශ්රමයක නිරත වන අතර, ඇගේ වගකීම ඇත්තේ බ්‍රිතාන්‍ය රජයට බව පවසා සිටියි.
එමෙන්ම, ශමීමා සිරියාවට පළා ගියත් ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වූ බව මේ වන තෙක් ඇය පිළිගෙන නොමැති බව මෙම නීතීඥයන් කියා සිටියත්, මෙම තැනැත්තිය මුලින්ම මාධ්‍ය හමුවේ කියා තිබුණේ තමන් IS සංවිධානයට එකතු වීම ගැන පසුතැවිලි නොවන බවයි.
නමුත්, අවසානයේදී තමාට අල්ලපු අත්ත හෝ පයගැසූ අත්තත් නොමැති බව වැටහෙන විට ඇය කියා තිබුණේ, ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය විසින් තමාගේ මොළය සේදූ බවත්, තමන් සිදු කළ සියල්ල ගැන පසුතැවෙන බවත්ය.
කෙසේ වෙතත්, දැඩි තීරණයක සිටින බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම්වරයා පවසන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බැවින් ඇයගේ පුරවැසිභාවය අහෝසි කිරීමට තමන් නොපැකිළෙන බවයි.
ඇය නැවත පැමිණියොත් ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවද ඔහු අවධාරණය කළේය. එසේ බ්‍රිතාන්‍ය රජය ඇයගේ ඉල්ලීමට එරෙහිව දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන විට, ශමීමාගේ ඉල්ලීමට එරෙහිව බ්‍රිතාන්‍යවාසීන් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි මත පළ කර තිබුණි. ඉලක්කයට වෙඩි තැබීමේ බ්‍රිතාන්‍ය වෙඩි බිම්වල ඉලක්කයට ශමීමාගේ රුව දක්වා තිබීමෙන්ම බ්‍රිතාන්‍ය වැසියන් තුළ ඇය කෙරෙහි පවතින කෝපය ප්‍රකට වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.