ඇපල් සමාගම සිය ප්‍රථම සිල්ලර වෙළෙඳ සැල විවෘත කළ දින සිට හරියටම වසර 20කට ආසන්න කාලයකින් ඊට අභියෝගයක් වීමට ගූගල් සමාගමද එය අනුගමනය කරමින් Google Store ආරම්භ කරන බව නිවේදනය කරයි.
සමාගම නිවේදනය කළේ මෙම ගිම්හානයේදී නිව්යෝක් නගරයේ Google Store නමින් සිය පළමු වැනි භෞතික සිල්ලර වෙළෙඳ සැල විවෘත කරන බවයි.
Google Store හි විකිණීමට ඇති සමහර භාණ්ඩ අතර Pixel දුරකථන, Nest නිෂ්පාදන, Fitbit devices උපාංග සහ Pixelbooks ආදිය ඇතුළත් වේ.
ඇපල් සමාගමේ ජීනියස් බාර් සංකල්පයට සමානව, ගූගල් විසින් ගනුදෙනුකරුවන්ගේ ගැටලු නිරාකරණය කිරීමට විශේෂඥයන් එවායෙහි යොදවනු ඇත. බ්ලොග් සටහනක් තබමින් ගූගල් සමාගම පවසන්නේ, "මෙය අපගේ දෘඩාංග ගමනේ වැදගත් ඊළඟ පියවරක්" යනුවෙනි.
"බොහෝ ගනුදෙනුකරුවන්ට දෘඩාංග මිලදී ගැනීමට පෙර එය ස්පර්ශ කර, දැකබලා අත්විඳීමට තවමත් අවශ්‍යයි. ඒ වගේම එය දුටුවිට දැනෙන්නේ කුමන හැඟීමක්ද යන්න, ඔවුන්ගේ අතේ හෝ මේසයක් මත එය තැබූ විට එහි පෙනුම අත්විඳින්න ගනුදෙනුකරුවන් කැමතියි." ගූගල් සමාගම කියයි.
ගූගල් මීට පෙර පවසා ඇත්තේ තම දෘඩාංග අලෙවිය ඩොලර් බිලියන ගණනක ව්‍යාපාරයක් බවයි. නමුත් සමාගම තවමත් එහි දෘඩාංග නිෂ්පාදන සඳහා විකුණුම් දත්ත තවමත් ප්‍රසිද්ධ කර නැත.
ඇපල් සමාගම ලොව පුරා සිල්ලර වෙළෙඳ සැල් විවෘත කිරීමේ සාර්ථකත්වය හේතුවෙන් අනෙක් සමාගම් ඒ වෙනුවෙන් යොමුවීමට පටන් ගැනීම දැකගත හැකිය. කෙසේ වෙතත් මයික්‍රොසොෆ්ට් සිය සිල්ලර ප්රයත්නයන් පුළුල් කරමින් මිනිසුන්ට සේවා, මෘදුකාංග සහ දෘඩාංග අත්හදා බැලිය හැකි වෙළෙඳ සැල් නිර්මාණය කළ නමුත් පසුගිය ගිම්හානයේදී සමාගම සිය නිෂ්පාදන අන්තර්ජාලය හරහා විකිණීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා සිය Microsoft Store වෙළෙඳ සැල් 83ක්ම වසා දමන බව නිවේදනය කළේය.
ගූගල් හි නව Google Store වෙළෙඳ සැල නිව්යෝක් නගරයේ ස්ථානය කර ඇති Apple Store වෙළෙඳ සැලකින් ගොඩනැගිලි කිහිපයක් දුරින් ස්ථාපනය කිරීම සිදුවෙයි.