මෙම වසර අවසානයේදී සියලු ඇමෙරිකානු හමුදාවන් අෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගන්නා බව පවසමින් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා ඇෆ්ගන් ජනාධිපති හමීඩ් කර්සායිට දුරකථන ඇමතුමක් හරහා අනතුරු ඇඟවීමක් කර ඇති බව වාර්තා වෙයි.
ඇමෙරිකාව සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම කර්සායි ප්‍රතික්ෂේප කිරීමත් සමග ජනපති ඔබාමා මේ ආකාරයෙන් දුරකථන ඇමතුමක් හරහා ඇෆ්ගන් ජනාධිපතිවරයාට දැඩි ස්ථාවරයක් පෙන්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි
2001 වසරේ සිට ඇමෙරිකානු හමුදාව ඇෆිගනිස්ථානයේ ක්‍රියාන්විතවල නිරත වන අතර, ඇමෙරිකාවේ සිදුවූ 9/11 ප්‍රහාරයෙන් පසුව ඇෆ්ගනිස්ථානය වෙත ඇමෙරිකාව ප්‍රහාර එල්ල කරමින්, තලේබාන් පාලනය පෙරලා දැමීමට කටයුතු කළේය.
නමුත්, එතැන් සිට අද දක්වාම තවමත් තැනින් තැන තලේබාන් ප්‍රහාරවලට මුහුණ දීමට ඇමෙරිකානු හමුදාවන්ට සිදුව තිබෙන අතර, නොනවතින යුද්ධයක ඇමෙරිකාව පැටලී සිටින බවද නොරහසකි.
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් චක් හේගල් එරට හමුදා සෙබලු අඩු කිරීමේ සැලසුමක් ගැන කතා කළේද, විදේශයන්ගේ යුද මෙහෙයුම් සඳහා වැයවන අධික වියදම් පියවා ගත යුතු බව පෙන්වා දෙමිනි. ඒ අනුව බලනවිට, ඔබාමා බොරු වීරකමක් පෙන්වමින්, මේ හරහා තම බංකොලොත් යුද මෙහෙයුම් හකුලා ගැනීමේ උත්සාහයක නිරතවනවාද යන්න දන්නේ ඔබාමාම පමණක් විය හැකිය.