බංග්ලාදේශයේ, දේශපාලන රැළියකට 2004 දී එල්ල වූ ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ 19 දෙනෙකුට මරණ දඬුවමත්, තවත් 38 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමත් එරට අධිකරණයක් විසින් නියම කරමින් තීන්දුව ප්‍රකාශ කරන ලදී.
බංග්ලාදේශ වත්මන් අගමැතිනී ෂීක් හසීනා නායකත්වය ලබාදෙමින් තිබූ එම දේශපාලන රැළියට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඊට සහභාගී වූ 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
මෙසේ මරණ දණ්ඩනය නියම වූවන් අතර හිටපු අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ද සිටින අතර, ඔවුන් දෙදෙනා දැනට ජීවීතාන්තය දක්වා සිරදඬුවමක් විඳින තාරික් රෙහෙමාන් නායකත්වය දුන් බංග්ලාදේශ ජාතික පක්ෂයේ (BNP) සාමාජිකයෝ වෙති.
එවකට, එනම් 2004 අගෝස්තු 21 වැනිදා ෂීක් හසීනා දේශපාලන වේදිකාව මත සිට සිය කතාව අවසන් කිරීමට මොහොතකට පෙර ග්‍රෙනේඩ් ප්‍රහාරය එල්ල වූ අතර, ඉන් 100කට අධික පිරිසකට තුවාල ලැබූහ.
කෙසේ වෙතත්, මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමකට වඩා දේශපාලන පළිගැනීමක් බව බංග්ලාදේශ ජාතික පක්ෂය චෝදනා කරයි. එම පක්ෂයත්, දැනට සිරගතව සිටින එහි නායක තරීක් මෙන්ම, බංග්ලාදේශයේ තවත් හිටපු නායිකාවක වූ බෙගම් කලීඩා ෂියා වත්මන් බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනාගේ ජන්මාන්තර වෛරක්කාරයන් යැයි පැවසීමේ දොසක් නැත. දූෂණ චෝදනා මත කලීඩා ෂියා ද වත්මන් පාලනය යටතේ වසර පහක සිර දඬුවමක් බුක්ති විඳියි.