චීනයේ වුහාන් නගරයේ සිටින ඇමරිකානුවන් රැගෙන යාම සඳහා චීනයට යවන ලද විශේෂ ගුවන් යානයක් එම පිරිස රැගෙන එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇති බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම යානයේ පැමිණන මගීන්ට එක්සත් ජනපද පුරවැසියන් සහ කොන්සියුලර් කාර්ය මණ්ඩලය ඇතුළත් වේ.
නව කොරෝනා වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන වුහාන් නගරය මෙම වෛරසය පැතිරීම ඇරඹීමත් සමග සම්පූර්ණයෙන් වසා දැමීමට බලධාරීන් කටයුතු කළ බැවින් එහි රැඳී සිටි පිරිස් ඉවත් කරගැනීම අපහසු විය.
නම සඳහන් නොකළ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු ඒ.පී. පුවත් සේවයට මෙම තොරතුරු හෙළිකර ඇත.
අද (29දා) අලුයම් කාලයේදී මෙම යානය යළි ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බව සඳහන් වෙයි.
මෙම යානයේ පළමු නැවතුම ඇන්කරේජ් වන අතර එහිදී යානයේ පැමිණෙන පිරිස වෛරසය සඳහා නැවත පරීක්ෂා කරනු ලැබේ. එහිදී යම් ආසාදිතයෙකු සිටියහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය කණ්ඩායම් සූදානිමින් සිටින බවත්, නිරෝධායන කටයුතු සිදුකරන බවත් සඳහන් වෙයි.ඉන්පසු යානය කැලිෆෝනියාවේ ඔන්ටාරියෝ වෙත පියාසර කිරීමට නියමිතය.
ජපාන ගුවන් යානයක්ද වුහාන් වෙත පැමිණ පුරවැසියන් 200 ක් ආපසු ගෙන්වා ගන්නා බව ජපාන මාධ්‍ය වාර්තා කරයි. යානය අඟහරුවාදා රාත්‍රියේ වුහාන් වෙත පැමිණ ඇති අතර බදාදා අලුයම ටෝකියෝ වෙත පැමිණෙන බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.