සිය පෙම්වතියගෙන් ලබාගත් මුදල් නැවත ඇයට දීමට සිදුවන නිසා, පෙම්වතා විසින් උපක්‍රමශීලී ලෙස ඇයව 'මෑන්හෝලයකට' (කාණු කවාටයකට) තල්ලු කර මරාදැමීමට තැත් කළ පුවතක් 'පෙබරවාරි 14 වැනිදා' දිනයේ චීනයෙන් වාර්තා වෙයි.
මෑන්හෝලය තුළ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව අවසානයේ දින 3කට පසුව ජීවිතය ගලවා ගැනීමට සමත්වූ අසරණ චීන තරුණිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
චීනයේ හියාකු නගරයේදී මේ අභාග්‍යසම්පන්න සිද්ධිය සිදුව ඇති අතර, අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක මෙම සිදුවීම පටිගත වී තිබීමද විශේෂත්වයකි. වර්ෂාව පවතින අවස්ථාවක පෙම්වතිය සමග මාර්ගය දිගේ දිව එනවිට කාඩ්බෝඩ් කැබැල්ලක් මතිත් පෙම්වතියට දිවයෑමට පෙම්වතා විසින්ම සලස්වන ආකාරය එම රූපරාමුවල පැහැදිලිව පෙනෙයි. එම සිදුවීමට පෙර ඔහු, එහි වූ 'මෑන්හෝලයේ' පියන විවෘත කර, එම වළ කාඩ්බෝඩ් කැබැල්ලකින් වසන දසුනද සී.සී.ටී.වී. රූපරාමුවල දැකිය හැකිය. කෙසේ වෙතත් ඔහු ඇටවූ බොරු වළ වැසෙන සේ තැබුණු කාඩ්බෝඩ් කැබැල්ල මතින් යනවාත් සමගම ඇය එම වළ තුළට වැටෙයි. එකවරම ඇය වළ තුළට නොවැටුණු නිසා පෙම්වතා ඇයව වළ තුළට තල්ලු කර දමන්නේ ඇය තම පෙම්වරතාවත් නොතෙමෙන්නට ඉහළාගෙන සිටි කුඩයද සමගිනි. මේ සියලු දසුන් පැහැදිලිව දැකිය හැකිය. පසුව මෑන්හෝලයේ පියන දමා වළ වසා දමන ඔහු, ඊට උඩින් තවත් ලෑල්ලක්ද තබා දුම්වැටියක්ද දල්වාගෙන එම ස්ථානයෙන් හනිකට පිටවන යන අයුරුද දැකිය හැකිය.
පාලු මාවතක් නිසා නිතර ජනතාව නොගැවසෙන බැවින් දින තුනක කාලයක් වතුර පිරුණු අඩි දහයක් පමණ ගැඹුරු වළ තුළ මේ තරුණියට ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වීමට සිදුව තිබේ. කෙසේ වෙතත් අවසානයේ මේ අසලින් ගිය අයෙකුට තරුණියකගේ කෑ ගැසීමක් ඇසීම නිසා ඔහු සෝදිසි කිරීමේදී මෑන්හෝලය තුළ ඇය සිටින බව දැක ක්ෂණිකව පොලීසිය කැඳවා මේ තරුණියව බේරා ගැනීමට කටයුතු කර තිබේ.
"මා වටා පැවතියේ ඝන අන්ධකාරයක් විතරයි. මේ දින තුන පුරාවටම මගේ ඇස්දෙක පියවුනේ නැහැ. කොහොම හරි උඩට ඒමට උත්සාහ නොකළොත් මා මේ තුළම මියැදෙන බව මට වැටහී ගියා." යනුවෙන් ඇය සිය කටහඬ අවදි කළාය.
මෑන්හෝලය තුළදී සිය ඇඳුම් එකිනෙක ගලවා, ඒවා ඉරමින් ඉනිමගක් ආකාරයට සකසා ගැනීමට ඇය කටයුතු කර තිබුනේ කෙසේ හෝ මින් පිටතට පැමිණීමේ අටියෙනි. නමුත්, එහි එල්ලී උඩට පැමිණීමට තරම් ශක්තියත් ඒ වනවිටත් ඇය සතු නොවන බව ඇයටම වැටහී ගොස් තිබුණි.
මෙම තරුණියගේ කටඋත්තරයට අනුව සිය පෙම්වතා යුආන් 100,000 ක මුදලක් (රු.ලක්ෂ 35ක් පමණ) ඇයගෙන් ලබාගෙන ඇත. ඇයට නැවත දෙනබව පවසා එම මුදල ලබාගත්තද ඔහු තව තවත් මුදල් ඉල්ලනවා හැරෙන්නට ඇයට මුදල් ලබාදෙන්නට උත්සාහ කර නැත.
පොලීසිය පෙන්වාදෙන පරිදි අත්අඩංගුවට පත් තරුණයා අධික ලෙස සූදුවට ඇබ්බැහි වුවෙකු බව පැවසෙයි. ඔහුගේ කටඋත්තරයට අනුව සිය පෙම්වතියගෙන් ලබාගත් මුදල් ඇයට නැවත ලබාදීමට සිදුවන නිසා, මේ ආකාරයෙන් ඇය මරා දැමීමට උත්සාහ කළ බවද ඔහු පිළිගෙන ඇත.
පෙබරවාරි 14 වැනිදාම මෙවැනි පුවතක් වාර්තා කිරීමට ලැබීමෙන්, ප්‍රේමයෙන් ඔබ්බට මිනිසත්බව හා තිරිසන් බව අතර පරතරය ගැන මිනිසුන් වූ අපට නැවත සිතාබැලීමට කාලය නොවේදැයි ඔබට පසක් කිරීමද අපේ අරමුණක් වෙයි.
ඒ අවාසනාවන්ත සිදුවීම පහතින් නරඹන්න.