පිලිපීනයේ නොකිලිටි මුහුදු තීරයක් ලෙස ප්‍රචලිත බොරොකේ දූපත සංචාරකයන් සඳහා මාස 06ක කාලයක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටාර්ටේගේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මෙම තහනම අප්‍රේල් 26 වැනිදා සිට ඇරඹෙනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
මෙම වසර ආරම්භයේදී ඔහු පවසා සිටියේ සංචාරක ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වනවිට එම දූපත් වෙරළ තීරය වැසිකිළි වලක් බවට පත්වෙමින් පවතින බවයි.
සුදෝසුදු වැලි තලාවකින් යුතු මෙම මුහුදු තීරය සංචාරකයන් බොහෝ සෙයින් ආකර්ෂණය කරන ප්‍රදේශයක් ලෙස ප්‍රචලිතය.
පසුගිය වසරේදී පමණක් මෙම ප්‍රදේශයට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය මිලියන 2කි.
කෙසේ වෙතත්, මෙම සංචාරක ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ප්‍රදේශයේ සොබාදහමට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව සඳහන් වෙයි.
නමුත්, හිටි හැටියේම මෙවැනි දැඩි තීරණයක් ගැනීම එම ප්‍රදෙශයේ ව්‍යාපාරික කටයුතුවල යෙදෙන බොහෝ දෙනෙකුගේ කණස්සල්ලට හේතු වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.