මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සීත දේශගුණයත් නිසා බොහෝ දුරට ලෙඩ දුක් වැඩියෙන් ඇතිවෙනවා කියලා ඔබට දැනෙන්න පුලුවන් ඒ වගේම ඇත්තටමත් එවැනි තත්ත්වයක් දකින්න පුලුවන්. නමුත් මේ ඇතිවෙන සමහර ලෙඩවලට බොහෝ දෙනාට එක්වරම මතක් වෙන්නෙ ක්ෂණික සහනයම පමණයි. එහෙත් එක වරම කලබලවෙලා ප්‍රතිජීවක ඖෂධ හෝ බෙහෙත් අහුරු බොන්නට කළින් නිවසේ කළ යුතු සාර්ථක වත්පිළිවෙත් රැසක්ම අතීතයේ සිට පාරම්පරිකව අපට පවතින බව ඔබ හොඳාකාරවම දන්නා කරුණක්. එකක් පමණක් නෙවෙයි මෙවැනි ක්‍රම බොහෝමයක්ම තිබෙනවා. ඒවායින් බොහෝදුරට ලෙඩ රෝග හැදෙන්න කළින්ම ප්‍රවේශම් වෙන්න හැකියාවත් තිබෙනවා. අතීතයේ මිනිසුන් මෙවැනි සෘතුවලදී ඇතිවෙන වෙනස්කම් හොඳින්ම හඳුනාගෙන සිටි බවට ඔවුන් සමාජ ගත කළ ඇතැම් වැකි තුළත් ගැබ්ව තිබෙනවා. 'ශීතකරයි උදුවප් මහ දුරුත්තේ' යනුවෙන් ඔවුන් පැවසූවේ දෙසැම්බර් සහ ජනවාරි මාසවල ශීත දේශගුණයක් ඇතිවන බව යි. ශිත කාලේ වාතයේ ජල වාෂ්පවලත් වැඩි බවක් දකින්නට පුලුවන්. ගස්වල කොළ හැලෙන නිසා පරිසරයේ පවිත්රතාවයටත් යම් යම් බලපෑම් ඇතිවෙන්නට පුලුවන්. මෙන්න මෙවැනි දේ ගැන දැනුම්වත් බවක් නැති අයට ඒ ගැන මතක් කිරීමක් කරන්න අපි අද සෞඛ්‍ය පිටුවේ ප්‍රධාන ලිපිය වෙන් කරන්නට අදහස් කළා.
වැස්සත් එක්ක මේ දවස්වල වාතයේ ජලවාෂ්ප ප්‍රමාණය අධිකවන නිසා, සමහරුන්ට ස්වසන ආබාධ වැඩිබවක් දකින්න පුලුවන්. ඒ වගේම මෙවැනි කාලයක ඇදුම රෝගීන්ට තම රෝග තත්ත්වයන් වැඩිපුර මතුවෙන්නට ඇති ඉඩ කඩ විශාලයි. වැස්ස නැතිකාලෙටත් නාසය තුළින් ඇතුලු වන දූවිලි හෝ මල් පරාග හෝ සත්ව ලොම් වැනි දෑට ඇතිවන අසාත්මික තත්ත්වයන් හේතුවෙන් ස්වසන මාර්ගය තුළ ඇතිවන ඉදිමීම් නිසා සමහරුන්ට ඉන්හේලර සහ දුම් ඇල්ලීම වැනි ප්‍රතිකාර ක්‍රමවලට නිරන්තරයෙන්ම යොමුවන්නට සිදුවිය හැකියි. සීත වැඩි කාලයට ජලවාෂ්ප හේතුවෙන්ද මෙවැනි තත්ත්වයක් ඇතිවෙන්නට පුලුවන්. නමුත් මෙවැනි රෝගවලට බටහිර වෙදකම පැමිණෙන්නට පෙර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඉතාම සාර්ථක පිළියම් සහ ප්‍රතිකාර පැවති බව ඔබ නොදන්නවා ඇති. මෙසේම පැන නගින තවත් ගැටලුවක් වනුයේ පීනස වැනි කිවිසුම් අධිකව ඇතිවෙන ස්වසන ආබාධ තත්ත්වයනුයි. මෙවන් කාලවකවානු තුළ පීනස් රෝගීන් කළ යුතු නොකළ යුතු වත් පිළිවෙත් රාශියක්ම පවතිනවා. ප්‍රතිශක්තිය හීනවීම තුළ ඇතැම් කුඩා දරුවනුත් සෙම් සොටු වගුරවමින් සෙම් ප්‍රතිශ්‍යාව කැස්ස වැනි ආබාධයන්ට පහසුවෙන් ගොදුරු විය හැකියි. මෙවන් අවස්ථාවල භාවිත කළ හැකි ප්රත්යක්ෂ ඖෂධ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පවතින අතර ඒවා භාවිත කිරීම කළ යුත්තේ රෝග තත්ත්වය හරි හැටි හඳුනාගැනීමෙන් අනතුරුවය. බොහෝවිට බාන්වැල් ගැට යනුවෙන් හඳුන්වන( එමෙන්ම මෙයට වෙනිවැල් ගැට යනුවෙන්ද භාවිත කරයි.) කබලේ බැද කුඩු කරගත් කොත්තමල්ලි සමග තම්බා පානයක් සේ සකසා බීමට සුදුසු අතර එයින් ප්‍රතිශක්තියේ වර්ධනයක් ඇති කෙරෙයි. නමුත් කොත්තමල්ලි අමුවෙන් යොදාගැනීම සෙම් තත්ත්වය වැඩි වූ බවක් පෙන්වන්නට සමහරුන්ට හේතු විය හැකිබවද අමතක නොකළ යුතුය.කොත්තමල්ලි කබලේ බැදීම යනු කලු පැහැය ඇතිවන තෙක් කර කිරීම නොවේ. ඇතමුන් මෙම පානය අප්‍රිය කරන්නට හේතුව කොත්තමල්ලි අධික ලෙස කර කර ගැනීම නිසා මතුවන කර රසයයි.කොත්තමල්ලි කොහොමත් දුඹුරු පැහැයක් ගන්නා නිසා කොත්තමල්ලි කොතරම් බැද ගත යුතුද යන්න බොහෝ දෙනා නොදනී. තද දුඹුරු පැහැයක් නැතිනම් කොත්තමල්ලි සුවඳ මතුවන තුරු කබලේ බැද ගැනීම එම පදම වශයෙන් හැඳින්විය හැකිය. කොත්තමල්ලි දෙමිටක් පමණ යොදා ගන්නේ නම් වතුර පත හතරක් හෝ හයක් යොදා පත එකට සිඳවා ගැනීමෙන් නිසි පදමට කොත්තමල්ලි ටික තම්බා ගන්නට ඔබට හැකිය. සෙම මෙන්ම පීනස් ගතියද මෙයින් මද සහනයක් ලබා ගත හැකිය.
එමෙන්ම නාසයෙන් සොටුදියර ගලන්නේ නම් එවැන්නන් රාත්‍රි කාලයේ ස්නානය හා හිමිදිරි පාන්දර ස්නානය වැනි ඇවතුම් පැවතුම් වෙනස් කර ගත යුතුය. හිරු එළිය හොඳින් පවතින අවස්ථාවක ස්නානය කිරීමට ප්‍රථමව වෙනිවැල් ගැට වැනි පානයක් සකසා අඩුම තරමේ අඬු කෝප්ප භාගයක්වත් බොන්නට දී ශීතල ඉවත්ව ගිය වතුරින් දරුවන් නාවන්නේ නම් බොහෝදුරට සෙම් ගතිය ඇතිවීම පාලනය කළ හැකිය. වෙනිවැල් ගැට තැම්බූ වතුර මදක් තිත්ත රසයක් පවතින බව සැබවි. නමුත් නිසි පදමට වෙනිවැල් කැබැල්ල තම්බා ගැනීම වැදගත්ය. වතුර මද කහ පැහැයට හැරෙන නමුත් එය නිසි පරිදි තැම්බිමක් නොවේ. මදක් තද කහ දුඹුරු පැහැයකට හැරෙන ආකාරයෙන් තැම්බීම හොඳින් වෙනිවැල් ගැට කැබැල්ල තැම්බී ඇති බව අඟවන ලක්ෂණයකි. මේ හැරෙන්නට ශිත කාලවල ඔබ අපහසුතාවයට පත්කරන තවත් එක් තත්ත්වයකි සම වියළීම. සමේ ඇති තෙල් සහිත ස්වභාවය සමෙන් ඉවත්ව යාමට ශීතල බෙහෙවින්ම ඉවහල් වෙයි. සමේ කොරළ තත්ත්වයන් ඇතිවන්නට මෙන්ම තාවකාලිකව සමේ රැළි සහිත බවක් දිස්වීම සම වියළී යාම නිසා බොහෝවිට මතුවන්නකි. මේ ස්වභාවයට පත් සම කැසීමට ලක්වී නියපොතුවලින් සීරීයාම නිසා ඉස්මගලන සුලු තුවාල ඇති වී ඒවා ඇතිවූ අත් පා වණවන බවක් පෙන්වමින් ඉදිමීම් ඇතිවන්නටද ඉඩ තිබේ. එවන් අවස්ථාවල බොහෝ දෙනෙක් උණුවතුර භාවිත කරන්නට හුරු පුරුදුව සිටින බව අප කවුරුත් දන්නා දෙයකි. මද උණුසුම් ජලය මෙන් නොව වඩා උණු වතුර නිසා සමේ ඇති තෙත් ගතිය නැතිනම් තෙල් ගතිය ඉවත් වී තවත් වියළෙන්නට හැකියාව පවතියි. මේ නිසා උණුවතුර භාවිතය කළ යුත්තේ පරෙස්සමෙනි. කිසියම් සෙම අමාරුවක් නැති නම් හෝ විශේෂිත රෝග තත්ත්වයන් නැතිනම් ස්නානය සඳහා වඩාත් සුදුසුම ජලය ඇල්වතුරයි. එසේත් නැති නම් කාලීනව ඇතිවෙන එක්සීමා යනුවෙන් හඳුන්වන ආයුර්වේද ක්‍රමයේදී රක්තයා වශයෙන් හඳුන්වන දෙපා කැසීම නිසා ඉදිමී ඉස්ම ගැලීම වැනි තත්ත්වයකදී එම තුවාල සේදීම සඳහා විශේෂ ඖෂධ සංයෝග යෙදූ තැම්බුම් ජලය යොදා ගැනීමෙන් ඉක්මන් සුවය වෙත ළඟාවිය හැකිය. නමුත් මෙය වෛද්‍යවරයෙකු වෙත රෝගී තත්ත්වය පෙන්වා පරීක්ෂා කර ගැනීමෙන් අනතුරුව ලියවා ගත යුතු ඖෂධ පන්ති වේ. සුවය යනුවෙන් හඳුන්වන ආයුර්වේද ඖෂධයද එසේ දියර ගලන තුවාල කුෂ්ට ආදිය සැරව ගෙඩි ඇතිවිට යන තත්ත්වයන් සඳහා ආලේප කිරීමෙන් ඉක්මණින් තුවාල වේලා ගැනීමට හැකියාව පවතී.( කිසියම් අද පාඨකයෙකුට එසේ ඉස්ම ගලන තුවාල සහිත තත්ත්වයන් සඳහා තුවාල සේදුම් දියර සකසා ගන්නට අවශ්‍ය වන උපදෙස් පමණක් නොමිලයේ මොරටුව රාවතාවත්ත චාර්ල්ස් පෙදෙසේ අංක 54/ සී හි පිහිටි සුවතරු ඖෂධාලය වෙත ගොස් රෝග පරීක්ෂා කරවා ගෙන ලබාගැනීමේ අවස්ථාව මේ පුවත්පත ඉදිරිපත් කිරීමෙන් ලබාගත හැක.
මේ අතර තවත් බොහෝ පීඩා විඳින තත්ත්වයකි ආතරයිටිස් තත්ත්වය. ආතරයිටිස් රෝගීන්ට සීතල මෙන්ම වැසි ජලය හා දෙපා ගැටීමද අගුණය. මේ හැරෙන්නට බතල, කඩල, මුං ඇට, කව්පි, වම්බටු, මෑකරල්, බණ්ඩක්කා වැනි ආහාර භාවිතය අත්හැර දැමීමට වගබලා ගත යුතුය. ඇඟ පත කසමින් දියර ගලන රෝගීන්ට මෙන්ම රක්තයා තත්ත්වය හේතුවෙන් දෙපා තුවාල ඇතිවී ඉදිමුණ රෝගීන්ටද අන්නාසි, අඹ, රඹුටන්, ගඩු ගුඩා, මැංගුස්, ජම්බු, කාමරංකා, ඇඹරැල්ලා, වැනි ඇසිඩ් සහිත උෂ්ණ අධික පලතුරු වර්ගද ඉස්සෝ ,දැල්ලෝ, බෝල්ලු, හුරුල්ලෝ , කෙළවල්ලෝ, සැමන්, කරවල වර්ග, සියලු මස්වර්ග, ඌෂ්ණ අධික එළවලු වර්ගද අගුණය මේ හැරෙන්නට මොනොසෝඩියම් ග්ලූටමේට් යෙදූ සියලු ආහාර සකස් කළ කෝපි වර්ග , කෝපි වොක්ලට් සහ චොක්ලට් පානවර්ග සෝස්වර්ග ආදියද බැහැර කරන්නට වගබලා ගන්න. මෙකළ මෙවන් ලක්ෂණ මතුකරන ඔබේ සිරුර වෙනුවෙන් කැකිරි , පිපිඤ්ඤා, පතෝල, වැටකොලු, ආදී සාමාන්‍ය එළවලු වර්ග, පලා වර්ග, සාරණ නීරමුල්ලිය. පොල්පලා වැනි ඖෂධීය පාන වර්ග, බාර්ලි වතුර, සව් කැඳ, බෙලි මල් ඉරමුසු ආදී පාන වර්ග නිතර භාවිතයට ගන්න.
සීතල නිසා සම වියළී කුඩු හැලෙන්නට හෝ සම යන්නට පටන්ගෙන නම් රෝසවතුර සමග රුවනාරී ආයුර්වේද ඖෂධය දිය කර ආලේප කර පැයකින් පමණ සෝදා හරින්න. මෙවන් දිනවල සමට සුදුහඳුන් ආලේපකිරීමෙන් වළකින්න. සුදුහඳුන් සහිත ආලේපන සමේ වියළීමට යම් ආකාරයක උපකාරයක් සලසන බැවින් එසේ කිරීම යෝග්‍ය නොවේ.ශීතකාලය හා මතුව එන රෝග සහ ඒවායින් මිදෙන මග පිළිබඳ තවත් තොරතුරු 0112641733 දුරකතනයෙන්ද www.suwatharu.com වෙබ් අඩවිය ඔස්සේ ද ලබාගත හැකිය. ශීත සුළඟ විසින් සමේ තෙත් සහිත බව මැඩලන බැවින් වැඩිපුර ප්‍රමාණයක් උණුකර නිවාගත් ජලය පිපාසය දැනෙන තෙක් නොඉඳ පානය කරන්න. ආතරයිටිස් රෝගය හා සන්ධී ඉදිමුම ඇත්නම් වැහිවතුර හා ගැටීමෙන් වළකින්න. මේ දිනවල පවතින අධික සීතල ඔබේ දෙතොල් පෙති ද වියළා දමනු ඇත ඉරිතලා ගිය බවක් දෙතොල් පෙතිවල ඇත්නම් ඒ සම වියළි ගිය බව අඟවන සළකුණකි. මෙවන් වස්ථාවක දෙතොලේ නිරෝගී සමක් ඇති කර ගැනීම වෙනුවෙන් බටර් ස්වල්පයක් හෝ ඔලිවු තෙල් ස්වල්පයක් ගල්වා දෙතොලේ සම සෙමින් පිරිමැදීමෙන් වියලී ඉරිතලා යන සම මදක් ශීත බලපෑමෙන් බේරාගැනීමට හැකියාව පවතී.