මෙරට සිදුවන මාතෘ මරණ තවදුරටත් අඩු කිරීම වෙනුවෙන් ප්‍රධාන රෝහල් තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් පාලිත මහීපාල මහතා පැවසීය.හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (02දා) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
මෙරට සෑම දරු උපත් ලක්ෂයකට මවුවරුන් 28 ක් මිය යන නමුත් එම තත්ත්වය තවදුරටත් අවම කර ගැනීම අපේක්ෂා කරන බව ඒ මහතා එහිදී පවසා සිටියේය.ලොව දියුණු රටවල මාතෘ මරණ අනුපාතිකයට සමාන අගයක මෙරට මාතෘ මරණ අනුපාතිකය පැවැතියද, මෙරට මාතෘ මරණ ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු වන හෘද රෝග හා අධිරුධිර පීඩන තත්ත්ව මගහරවා ගැනීමෙන් මෙම අනුපාතිකය තවදුරටත් පහළ දමා ගත හැකි බව ඒ මහතා පැවසුවේය.
ඒ වෙනුවෙන් දිවයිනේ ප්‍රධාන රෝහල්වල පවතින ප්‍රසව හා නාරිවේද මාතෘ සායන සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා මෙන්ම, හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හා කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු අනුයුක්ත කර එම වෛද්‍යවරුන් යටතේ සායන පැවැත්වීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
එසේම 1993 වර්ෂයේ මෙරටින් පෝලියෝ රෝගය තුරන් කළද සමස්ත ලෝකයෙන්ම පෝලියෝ රෝගය තුරන් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය ගත් නව වැඩසටහනට අනුගත වෙමින් අප්‍රේල් මස 30 වැනිදා සිට නව එන්නතක් මෙරටට හඳුන්වා දුන් බවද හෙතෙම පැවසුවේය.
මේ අනුව දිවයිනේ සියලුම සායන තුළදී මෙම නව එන්නත ලබාදීම සිදුකෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.