සේරම කරන්නෙ කන්නයි අඳින්නයි , මෙහෙම කියන අය ඔබට අනන්තවත් හමුවෙලා ඇති. සමහර විට ඔබත් මෙහෙම කියනවා ඇති. නමුත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැත කියන එක අමතක කළොත් අපිට වැඩි කල් නිරෝගී කම පවත්වාගන්න නම් ලැබෙන එකක් නැහැ. ආහාර මනුෂ්‍යයන්ගේ එක් අවශ්‍යතාවයක්. නමුත් ඕනෑවට වඩා ආහාර ලෝලියෙක් වුණාම එය නිරෝගී ශක්තිමත් මනුෂ්‍යයෙකු වෙනුවට රෝගී දුර්වල මනුෂ්‍යයෙකු බිහිකරන්නේ යැයි පැවසුවොත් ඔබ පුදුමයට පත්වේවි. ඇත්ත කතන්දරේ තමයි ඒ ආහාරය මනුශ්‍ය ශරීරයේ ශක්තිය සහ නිරෝගිතාවය වඩවන්නට මහත් උපකාරයත් සලසන්නා සේම මෑත යුගයේ බොහෝ දෙනා රෝගිකර දුර්වලයන් රැසක් ඇතිකරන්නට සමත්කරුණක් බවටත් පත්වෙලා. ඒත් කොච්චර කෑවත් හැමෝටම ගැස්ට්‍රයිටිස්, ඒ කියන්නේ අම්ලපිත්තය. එහෙම වෙන්නෙ කොහොමද ? අද සෞඛ්‍ය පිටුව තුළින් අප විමසන්නේ මේ සම්බන්ධව පවතින ආයුර්වේද මතයයි.
ආහාර මූලික මිනිස් අවශ්‍යතාවලින් එකක් වුවත් මිනිසාගේ දින චර්යාවන් අතර බඩ මූලිකවීම ඔහු රෝගියෙකු බවට පත්කරන්නට මුල්වෙන කාරණයක්. ඕනෑම ආහාරයක් ලබාගත් පසු එය දිරවන්නට පළමු තව තවත් ප්‍රධාන ආහාරවේලට සමාන කමක් දක්වන අතිරේක ආහාරවේල් එක පිට එක ගැනීම ආහාර දිරවීමට අපහසුවක් ඇතිකරන බව බොහෝ දෙනෙකු නොසිතන කාරණයක්. යම් ආකාරයකින් ආහාරයක් බාගෙට පැසවමින් දිරවීම ආරම්භ කරන විට තවත් ආහාරයක් ඒ මත පැටවීමෙන් සිදුවන්නේ ආහාර නිසි ලෙස දිරවීමක් නොවීමයි. ඒ හේතුව නිසා ආහාර දිරවීමේ යාන්ත්‍රණය අඩාලවී විවිධ වෙනස්කම් ශරීරය තුළ ඇතිවීම නිරෝගීකමට එක හෙළාම බාධාකාරීවන තත්ත්වයක්.
ආහාර ගැනීමේ රටාව අදවන විට බොහෝ දෙනෙකු ආවාට ගියාට සිදුකරන කාරියක් බවට පත්ව ඇතැයි කිවහොත් එහි වරදක් නොවේ. බොහෝ දෙනෙකු අද තමන්ට ගැලපෙන ආහාර සකස් කරගන්නවාට වඩා කරන්නේ කුමන හෝ ආහාරයක් මිලදී ගෙන යමින් එමින් ඒ ආහාර ගැනීමයි. මෙහිදී බොහෝ ආපන ශාලාවල තෙල් සහ මිරිස් මෙන්ම විවිධ රසකාරක අඩංගු ආහාර සකස් කරන බැවින් ලොකු කුඩා කවුරුත් ආහාර හරහා විවිධ රසායණික ද්‍රව්‍යයන් සිරුර තුළට ඇතුලු කර ගනී. අද බොහෝ දෙනෙකු එවැනි ආහාරවලට දක්වන්නේ රුචිකත්වයක් වුවත් ආහාර දිරවීම ප්‍රමාද කිරීමත් ඒ හරහා සිරුරේ ක්‍රියාකාරිත්වයටත් කරන බලපෑම අනුව වයස් බේදයකින් තොරව අම්ල පිත්ත රෝගයට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණයද දින දින ඉහළ යයි. වාතය පිත සහ සෙම ත්‍රිධාතු කිපීමෙන් ඇතිවන දෝෂ හේතුවෙන් සිරුරේ ඇතිවන බොහෝ ව්යාදින්ට ඔබේ ආහාර හේතුවක් වන බව පළමුව සිහිතබා ගත යුතු කාරණයයි. බොහෝ දෙනෙකු සිතන්නේ කුඩා දරුවන්ට අම්ල පිත්ත රෝගය ඇති නොවන බවයි. නමුත් ආහාර ජීර්ණ පද්ධතියට ලොකු කුඩා බේදයක් නොමැති අතර බොහෝ විට කුඩා කළ සිටම අම්ල පිත්තයට ගොදුරුවූවන් වැඩිහිටි වන විට වඩාත් අසාධ්‍ය තත්ත්වයට පත්වීමට හැකියාව පවතින්නේ කුඩා දරුවන් අම්ල පිත්තයෙන් පීඩා විඳින විට එය බැර වෙන්නේ පණු රෝගවලට බැවිනි. නමුත් උදර වේදනාව වමනයට ඒම ආදී ලක්ෂණ ඇතිවන්නේ පණු රෝගවලට පමණක් නොවන බව කිසිවිට අමතක නොකළ යුතුය.
අග්නිය නැතිනම් කුස ගින්න ඇතිවීමට නිසි කාල පරතරයක් අවශ්‍යය. මිනිස් අප සාමාන්‍යයෙන් වේල් තුනක් ලෙස ආහාර ගත්තත් ඒ අතර මැද කුඩා ආහාර වේලක් ගැනීම කවදත් අපේ ආහාර සංස්කෘතිය තුළ පැවති සිරිතකි. පැරැන්නෝ ඒ සඳහා කුරක්කන් හැලපයක්, අග්ගලා ගුලියක් සමග කිසියම් ඖෂධීය ද්‍රව්‍යයක් තැම්බූ වතුර උදාහරණයක් ලෙස බෙලි මල්, රණවරා ආදී පානයක් ගබාගැනීමට හුරු පුරුදුව සිටියහ. ඒ ආකාරයෙන්ම ගත වෙහෙසා හොඳින් වැඩපල කිරීමටද ඔවුන් හුරු වී සිටි බැවින්ද, නිසි වේලාවට ආහාර ගැනීමට අග්නිය දැල්වීම හේතුවෙන්ද, ඔවුන් ආහාර ගැනීම අද මෙන් ආවාට ගියාට නොකළ අතර අම්ල පිත්ත රෝගයට පැරැන්නෝ මුහුණ දුන්නේ නැති තරම්ය. නමුත් අද පොඩි බඩගින්නක් ලෙස හුවා දක්වමින් වෙනස් ව ඇති ආහාර සංස්කෘතිය තුළ වැඩි පුරම භාවිතයට ගැනෙන්නේ පාන් පිටි සහ ලුණු වැඩිපුර යෙදුණු කෙටි කෑම සහ බිස්කට් යනාදියයි. එහි පෝෂණයක් නොමැතිවාක් මෙන්ම ආහාර හොඳින් පැසවා ඉක්මණින් දිරවීම සිදුකර නිසි පරිදි අග්නිය ඇතිවීමට කිසිදු සහහක් ද නොදක්වයි.
කුස හිස්වීම නැතිනම් අග්නිය දැල්වී ඇතත් එය නිවීමට කිසිදු උත්සහයක් නොගන්නා නමුත් ආහාර ජීර්ණය සඳහා උපයෝගීවන සිරුරේ පවතින උපකාරක ක්‍රියාවලි කිසිවෙකු විසින් නවතා තබන්නේ නැත. එසේ රැස්වන යුෂ වර්ග ක්‍රම ක්‍රමයෙන් එක් රැස්වී දිගුවේලාවක් පවතින විට එයින් ඇතිවන බලපෑම නිසා ඇතමෙකුට හිසරදය වැනි අතුරු ලක්ෂණ ඇති විය හැකි අතර සමහරෙකුට ඇඹුල් රසට ඔක්කාරය ඇතිකරමින් වමනය ඇතිවීමද එසේ පිටවන වමනය කහ පැහැති සහ තිත්ත රසයක් සමග පිටවීම ඇතමෙකු විසින් අත්විඳ ඇතිවාට සැක නැත . එසේ වමනය වන්නේ පිත යැයි බොහෝ දෙනෙකු දනී. පිත්වතුර ආමාශයට එක් රැස්වනුයේ ආහාර ජීර්ණයට උපකාරීවීම සඳහා නමුත් අග්නිය දැල්වී ඇති අවස්ථාවේදීද ආහාර ගැනීම කල් දැමීම හේතුවෙන් මෙවන් අත්දැකිමක් ලැබෙන්නට ඉඩ තිබේ. අම්ලපිත්තය ඇතිවීමේදී එයින් ඇතිවන ලක්ෂණ විවිධ විය හැකිය. ඇතමෙකුට මෙය පපුව සිරකරන්නාක් බඳු වේදනාවක් දනවන අතර තවත් කෙනෙකුට ඇඹුල් රසට උගුරට ඒම සමග දරුණු හිසරදයක් උදර වේදනාවක් මතු විය හැකිය.
බොහෝ විට මෙහි වේදනාව මතුවන්නේ පපුවට යටින් උදරයේ ඉහළ කොටසට වන්නට පුලුවන. වෙන් අවස්ථාවක් උදා වූ විට එය සැලකිලිමත් විය යුතු අවස්ථාවක් වනුයේ ඇතමෙකුට හෘදයාබාධයකදී මතුවන පපුව කැක්කුමක් ලෙස දැනෙන්නට ඉඩ ඇති බැවිණි. අම්ල පිත්තය බොහෝ විට පිරිමි පාර්ශ්වයට වැඩි බවක් දකින්නට ඇත්නම් එයට හේතුවද පැවසිය යුතුව තිබේ. කිසියම් අයෙකු දුම්පානය කරන්නේ නම් සහ මත්පැන් වර්ග භාවිත කරන්නේ නම් එයින් ආමාශයට ඇතිකරන බලපෑම මෙන්ම රුධිරයට ඇතිකරන බලපෑම හේතුවෙන් පිරිමි පාර්ශ්වයට බඩේ දැවිල්ල හා වමනය ඇතිවීම හිසරදය දරුණුවීම උදරය ඉදිරියට නෙරා ඒම , මෙන්ම නින්ද බිඳී යෑම සහ නිසියාකාර නින්දක් නොඑන පරිදි උදරයේ හෝ පපුවේ ඇතිවන පිළිස්සෙන්නාක් බඳු වේදනාව දැනිය හැකිය. ඇතැම් පිරිමි පාර්ශ්වයේ පුද්ගලයින් මත්පැන් පානය මෙන්ම එයින් පසු ආහාර නොගෙන හිස් බඩ පසුවීමද බඩ දැවිල්ල දරුණුවට මතු විය හැකි අවස්ථාවකි.
අනෙක් අයටද මෙකී ආකාරයේ වේදනාවන් අඩු වැඩි වශයෙන් මතු විය හැකි අතුර බල මාලු, කකුළුවන් , ඉස්සන්, දැල්ලන් අන්නාසි ,දෙල් ටින් කළ ආහාර වර්ග උෂ්ණ ගණයේ අනෙකුත් ආහාර වර්ග ආදිය ගත් විට රෝගයේ ලක්ෂණ වැඩි දුර මතුවන්නට ඉඩ තිබේ . එවන් අවස්ථාවක් ඇත්නම් එම ආහාර සීමා කිරීම හෝ ඔබේ පහසුව පතා මුලුමනින්ම නතර කර දැමීම වඩාත් සුදුසුය. පලා වර්ග, කිරි තැඹිලි ආදි ශරීරය සිහිල් කරන ආහාර පාන ලබාගන්නා අතර උදෑසන හත වන විට උදයේ ආහාර ලබාගන්නට ද දවල් දොළහ එක අතර දිවා ආහාරයද. සවස හය ,සහ හත අතර රාත්‍රි ආහාරයද ලබාගැනීමට හුරුවක් ඇතිකරගන්න. ආහාර වේල් අතර පරතරය ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි.
යමක් දිරවා ඉවත් නොවන විට පල්වීම සාමාන්‍ය සිදුවීමකි. ආහාරද මෙසේමය එවිට වාතයද ක්‍රියාත්මක වී බඩ පිපුම වැනි තත්ත්වයන්ද මතුකරවන්නට ඉඩ තිබේ. රාත්‍රියට සැහැල්ලු ආහාර ගැනීම මෙවැනි අයගේ බඩ පිපුම මදක් අවම කරන්නට සමත්වනු නිසැකය. දැන් අප මේ සඳහා පවතින ප්‍රතිකාර මොනවාද යන්න විමසමු. ආයුර්වේදයේ මේ සඳහා ඉතාම සාර්ථක ප්‍රතිකාර පවතින බව මුලින්ම පැවසිය යුතු කාරණයයි. ඇතමුන් ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු නෙවෙන්නේ මේ සඳහා පවතින්නේ කසාය පමණක්ය යන මතය නිසයි.
නමුත් ඉතාම ප්රශස්ත ආකාරයෙන් කොතරම් දරුණු කල්ගිය අම්ල පිත්ත රෝගයක් වුවත් සාර්ථකව සුවකරන්නට සමත් කසාය නොවන ඖෂධ ඕනෑ තරම් ආයුර්වේද ප්‍රතිකාර තුළ පවතී. නමුත් ඒ ඒ රෝගියා රෝගයේ කුමන අවදියේ පසුවන්නේද යන්න රෝගියාව නිසි වෛද්‍ය පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව කළ යුතුවෙයි. අම්ල පිත්තය සම්බන්ධයෙන් ඔබට යම් තොරතුරක් ලබාගන්නට අවශ්‍ය නම් කඩුවෙල කොළඹ පාරේ ලක්දිව වික්‍රමසේකර ආයුර්වේද රෝහලේ 0115629539 ෙහා් 0714017474 අංකයෙන් විමසීමට පාඨක ඔබට අවස්ථාව පවතී.