ගල් තැලුම් ඉවත්කළාම පිළිකා ඇතිවෙනවාද?
ගල් තැලුම් යනුවෙන් ඔබ හඳුන්වන්නේ කුමක්ද, එමෙන්ම ගල් තැලුම් ඇතිවෙන්නේ ඇයි? ගල්තැලුම් කියල බොහෝ දෙනා හඳුන්වන්නේ පතුලේ සම කිසියම් තැනක රළුවීමක්. මෙවන් රළුබවක් ඇතිවෙනවා නම් එයට හේතුව පාදයේ කිසියම් ගලක් ඇනීම බව සිතන්නට හුරු වූ අය එය එතරම් ගණනකට ගන්නා බවක්ද පෙනෙන්නට නොවේ.
නමුත් එවන් පතුලේ සම මත ඇතිවන රළු බවක් යම් අවස්ථාවක මෙලනෝමා නමින් හැඳින්වෙන පිළිකා තත්ත්වයක් විය හැකි බව ඔබ දන්නවාද? මෙවන් කරුණු සම්බන්ධයෙන් ඔබේ නොදැනුවත්කම යම් දිනයක අවාසනාවන්ත ලෙස ඔබේ ජීවිතයට බලපෑ හැකියි.
ශල්‍ය වෛද්‍යවරයෙකුට පමණක් එක එල්ලේ ඔබේ පතුලේ ඝනවීම පිළිකාවක්ද නැතහොත් සමේ ඇතිවූ වෙනත් ඝනවීමක් පමණක්ද යන්න තීරණය කළ හැකි බැවින් අද අප සෞඛ්‍ය පිටුව තුළින් ඔබේ අවධානය යොමු කරවනුයේ එම කාරණය පිළිබඳවයි.
සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට ගල් තැලුම් සම්බන්ධයෙන් ඇත්තේ අල්ප දැනුමකි. එයට හේතුව එය කිසියම් රෝගයක් හා සම්බන්ධ විය හැකිබව බොහෝ දෙනෙකු නොදන්නා බැවිනි.
එපමණක් නොව ඇතැම් විට සාමාන්‍ය වෛද්‍යවරයෙකුට වුවත් එය දුටුමනතින් රෝග විනිශ්චයක් දිය හැකි නොවන තත්ත්වයක් වනුයේ පිටතින් බැලූ පමණින් එය ගල් තැලුමක්ද නැති නම් වෙනත් රෝගයක බාහිරින් දිස්වන ලක්ෂණයක්ද යන්න නිසියාකාර විනිශ්චයක් ලබාගත නොහැකි බැවිණි.
ගල් තැලුම සම්බන්ධයෙන් කතාකරන විට පාවහන් රහිත අවස්ථාවක තදින් පතුලට තෙරපුනු ගලක් හෝ කිසියම් ඝනැති දෙයක් නිසා සම තැලී පසුව එය ගල්වී ඇතැයි යන්න සිතුවත් සමේ කිසියම් ඝන ස්වභාවයක් ඇතිවන්නට හේතුව එයට නොවේ.
ගල් තැලුමක් යනු අප සිටගෙන සිටින විට සිරුරේ බර පතුල පුරා බෙදී නොයන කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් නිසා පතුලේ එක් තැනකට එක්වන බර හේතුවෙන් එයින් පතුලේ හානිවීමට හැකි ස්ථානයක් එම හානියෙන් ගලවා ගන්නට සමෙන් ඇතිකරන ආරක්ෂක පියවරකි. එහි සම ඝනවීම මතින් එතැනට ඇතිකරන පීඩනය නිසා තුවාලවීමට ඇති ඉඩකඩ ඇහිරීම ශරීරය විසින් සලසා ඇති ආරක්ෂණ ක්රමයකි.
නමුත් මේ තත්ත්වය හැරෙන්නට වෙනත් හේතුන්ද සම ඝනවීම කෙරෙහි බලපෑ හැකිය. ඒවායින් එක් හේතුවකි ඉන්නන්. යටි පතුලේ එසේ ඇතිවන පැතලි ඉන්නන් වඩාත් දැකිය හැකි වන්නේ කුඩා දරුවන් අතරය.
මන්ද එවැනි වෛරස් පිටුදකින්නට තරම් ප්‍රතිශක්තියක් ගොඩනැගී නැති දරුවන්ගේ යටිපතුල් ආදී තැන්වල ඒවා මතුවිය හැකි හෙයිනි. එමෙන්ම මෙය දරුවන්ට පමණක් සීමා නොවන අතර දරුවන් අතර බහුලව දැකිය හැකිය යන්න පමණක් ඉහත දැක්විණි.
මේ හැරෙන්නට පතුලේ කිසිවක් ඇණුනු විට යටට එබී යන සම් කොටස පසුකාලකදී ඇතුළතින් ඝණවීම නිසාද පතුලේ එම ස්ථානය යම්කිසි ගැටිත්තක් මතුවී ඇති ආකාරයේ ඝනවීමක් පිටතින් පෙන්වීමට පුලුවන.
මේ තත්ත්වය හඳුන්වනුයේ ඉන්ප්ලාන්ටේෂන් ඩර්මොයිඩ් ලෙසිණි. මෙලනෝමා නැමති පිළිකා විශේෂයද යටිපතුලේ ඇතිවීමට ඉඩ ඇති ගැටිති හා සම්බන්ධය. මෙම පිළිකා බොහෝ දුරට සමේ ගල් තැලුමක් ඇතිවී ඇති ආකාරයක් පෙන්නුම් කරන අතර ඔවුන් මේ ගැන තැකීමක් නොකරන්නේ ඒවා ඇතැම් විටක ඔවුන්ට අපහසුතාවක් සේ නොදැනෙන හෙයිනි. එමෙන්ම කාසිනෝමා නමින් හඳුන්වන සමේ ඇතිවන පිළිකාද යටිපතුල ඝනවීමක් ලෙස පෙන්වීමට ඉඩ ඇත.
මේ නිසා ගල් තැලුමක්ද නොවේය යන්න ඔබ තනිව තීරණය කිරීම එතරම් නුවණට හුරු ක්‍රියාවක් නොවේ. නමුත් පතුල යනු අප සිරුරේ වැදගත්ම අවයවයකි. ඇවිදීම සඳහා අප පොළව මත පය තැබීම අත්‍යවශ්‍යය. ඔබ ඔබේ මුඛයේ දත් දිනපතා මදිනු ලබන්නේ දත් ආරක්ෂා කරගන්නටය. එමෙන්ම ඔබේ පාදය පරික්ෂාවද වැදගත්ය.
පාදයේ ඇතිවන වෙනස්කම් සම්බන්ධයෙන් අවධානය දැක්වීම තුළ ඔබට බොහෝ අපහසුතා මගහරවා ගන්නට අවස්ථාව ලැබේ. යම් අයුරකින් ඔබ දියවැඩියා රෝගයට ගොදුරුව ඇත්නම් ඒ වන විටත් ඔබේ ස්නායු හානි වීමට පටන් ගෙන ඇත්නම් යටි පතුල්වල ඇතිවන තුවාල ආදිය ඔබට වේදනාවක් ගෙන නොදෙන්නට ඉඩ ඇතිවා සේම එම තුවාලය වැඩි දියුණුවීම නිසා පාදය ඉවත් කරන්නට වුව සිදුවිය හැකිය.
සමහර දියවැඩියා රෝගීන්ගේ පාදවල ඇනෙන සියුම් කටු ආදිය නිසා එතුළට එක්රැස්වෙන විෂ බීජ ආදිය එතුළ පැසවන්නට ඉඩ තිබේ. එයද සමට පිටින් ඉල්පුන බවක් දක්වන්නට ඉඩ ඇති නමුත් වේදනා නොදැනීම සහ ඒ ගැන එතරම් තැකීමක් නොකිරීම නිසා නොසිතූ අකරතැබ්බයන් ඇතිවන්නට ඉඩ තිබේ.
මේ ආකාරයෙන් ඔබේ පයේ ඇඟිලිවල වුවද එවන් තත්ත්වයක් ඇතිවීමට හැකිය. පාදයේ යටිපතුල සම්බන්ධයෙන් ඔබ නිතර සොයා බලනවා නම් ඒවා පිරිසුදුව වියළිව තබාගන්නට උත්සාහ දරනවා නම් ඔබටත් රහසේම ඇතිවිය හැකි එවන් තත්ත්වයන් පාලනය කරගත හැකිය.
ඉතාම කලාකුරකින් අස්ථිවල ඇතිවන යම් වර්ධක නිසා යටිපතුලෙන් මෙවන් ලක්ෂණ මතුවන්නට ඉඩ තිබේ. එමෙන්ම කණ්ඩරා හා සන්ධිවල ඇතිවන ගැන්ග්ලියම් නම් තත්ත්වය නිසාද මෙවන් ඝනවීම් යටිපතුලෙන් මතුවිය හැකිය.
ඉතා කලාතුරකින් පටකවල ඇතිවන යම් තත්ත්වයන්ද මෙවන් වර්ධකයන් ඇතිකර එය ගල්තැලුම් ලෙස පෙන්නුම්කරයි. මේ අනුව යටිපතුලේ ඝනවීම්වලට වෙනස් හේතු සමුදායක් පවතින තත්ත්වයක් බව ඔබට පැහැදිලි වන්නට ඇත.
මේ හැරෙන්නට පතුලේ පවතින හැඩයේ වෙනස්කම්, නොඑසේනම් මුලු පාදයම පැතලි ආකාරයට පෙනෙන්නට පිහිටීම පිළිබඳ මදක් සිතන්න.
එහි පතුලේ හැඩයේ කිසියම් සිදුරක් දක්වන ආකාරයක් පෙනෙන්නට නොමැති අතර මුලු පතුලම පොළව මත ස්පර්ශ වෙයි. මෙවන් තත්ත්වයක් ඇතිවීම සිදුවිය හැකි අතර ඒ සම්බන්ධයෙන් අප වෙනත් අවස්ථාවක සවිස්තර විග්රහයක යෙදෙමු.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

