අතේ මැණික් කටුව අසල ඇතිවන හිරිවැටීම සම්බන්ධයෙන් සමහරු බොහෝ පීඩාවට පත්වෙති. ඇතැම් අවස්ථාවල මෙය සාමාන්‍ය තත්ත්වක් ලෙස සිතිය හැකි නමුත් සමහර හිරිවැටීම් සිදුවන්නේ කිසියම් රෝගයක රෝග ලක්ෂණයක් වශයෙන් විය හැකිය.පැරණි අය හිරිවාතය යනුවෙන් ඇතැම් හිරිවැටීම් සම්බන්ධයෙන් සිතා සිටියත් අතේ මැණික් කටුව අසල ඇතිවන හිරිවැටීම කෙබඳු තත්ත්වයක් නිසා ඇතිවන්නේද යන්න අද සෞඛ්‍ය පිටුව තුළින් සොයා බලමු.
හිරිවැටීම් රෝග තත්ත්වයන් නිසාත් එසේ නොවන අවස්ථා නිසාත් අපට එදිනෙදා ජීවිතයේදී හමුවෙයි. ඔබ කිසියම් අවස්ථාවක එක දිගට එක් ඇලයකට හැරී වාඩි වී සිටින විට ඔබේ සිරුරට යටවූ ප්‍රදේශයේ අත හෝ පය හිරිවැටී යන අවස්ථා ඔබත් අත් විඳ ඇති. එවැනි අවස්ථාවක ඔබට සිතූ පරිදි ඔබේ අතපය එහාමෙහා කරන්නට නොහැකිවීම රෝගයක ලක්ෂණයක් හෝ රෝගයක් හෝ ප්‍රතිකාර වුවමනා තත්ත්වයක් නොවේ.
එය සුළු වේලාවකින් ඉබේම නැවත යථා තත්ත්වයට පත්වෙන්නකි. නමුත් සිරුරේ ඇතිවන හැම හිරිවැටීමක්ම එසේ ඉබේ සුවවන තෙක් බලාසිටිය යුතු නැත. එමෙන්ම ඒ සඳහා ඔබ ප්‍රතිකාර පතන්නේ නම් යොමුවිය යුත්තේ කිනම් වෛද්‍යවරයෙක් වෙතද යන්න පිළිබඳව ඔබට යම් අදහසක් නැතිවා වෙන්නටද පුලුවන.
සාමාන්‍යයෙන් හිරිවැටීම වේදනාවත් සමග දැනෙමින් අත දිගේ ඉහළට ගමන් කරන්නේ නම් එය එකම ඉරියව්වක වැඩිවේලාවක් ඉඳීමෙන් ඇතිවෙන සාමාන්‍ය හිරිවැටීමට වඩා වෙනස් තත්ත්වයකි. සමහරුන්ට රාත්‍රි නින්දට යන විට මෙන්ම උදේ අවදිවෙන විටත් තම අතේ වේදනාව පවතින්නට ඉඩ තිබේ. නමුත් කිසියම් කාර්යක නිරතව සිටියදී, වාහනයක් පදවන විටකදී කිසිවක් ඔසවාගෙන සිටියදී මෙන්ම බසයේ ඉහළ ආධාරකයක් වෙත අත දිගුකරගන සිටියදී සමහරෙකුට මෙසේ මෙම රෝගය ඉස්මතු විය හැකිය. කාපල් ටනල් සින්ඩ්‍රෝමය ලෙස හඳුන්වන්නේ ඒ රෝගයයි.
ඔබේ අත කිසියම් කාර්යක් සඳහා මෙහෙයවන්නට ස්නායු ආවේග හරහා මොළයෙන් ඔබේ අතට පණිවුඩ නිකුත් විය යුතුයි. මේ පණිවුඩ ක්ෂණිකව වේගවත් ආකාරයෙන් බෙදා හැරෙන අතර එයින් ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව ලැබේ.
අත අභ්‍යන්තරයේ ප්‍රධාන ස්නායු හතරක් පිහිටා තිබෙනවා. ඒ තුළ ඉතා කුඩා කෙඳි දෙවර්ගයක් පිහිටා තිබෙන අතර එයින් එක් වර්ගයක් මොළයේ සිට පණිවිඩ රැඟෙන ඇවිත් එය අදාල ස්ථානවලට බෙදාහරින අතර අනෙක් කෙඳි වර්ගය මොළයට පණිවිඩ රැඟෙන යාම සිදුකරනවා. කෙසේ නමුත් අත දිගේ පැමිණෙන ස්නායුවක් මැණික් කටුව අසලින් ඇඟිලි දෙසට ඇදෙන අතර මැණික් කටුව තුළදී එය ගමන් කරන්නේ නාලයක් නැති නම් බිම් ගෙයක් වැනි දෙයක් තුළිනුයි.
මේ නාලය සෑදී තිබෙන්නේ ඇටවලින් වටවීමෙන්. එය ඇට අටක් එකතුව සෑදුන එකක්. මේ අස්ථ බිම්ගෙය නැතිනම් නාලය පතුලේ සහ දෙපැත්තේ රවුමට පිහිටා තිබෙනවා.බිම් ගෙයි වහළ සැදී තිබෙන්නේ ශක්තිමත් ආවරණයකින්. අප වැඩකරන විට නිරතුරුවම අත මැණික් කටුව අසලින් නැවෙන දිගහැරෙන නිසා මේ අවස්ථාවෙදී බිම්ගෙය නැතිනම් නාලය තුළ ඇති ස්නායුව ඉදිරියටත් පසුපසටත් ඇදෙමින් තල්ලුවෙනවා.
විශේෂයෙන්ම මුලුතැන්ගෙයි වැඩ කටයුතුවලදී පොල්ගෑම රෙදි සේදීම වැනි කටයුතුවලදී මැණික්කටුව ප්‍රදේශයේ දෙදරීමක් ඇතිවෙන බැවින් මේ දෙදරීමේ අවසාන ප්‍රතිඵලය වනුයේ ස්නායුව ඉදිමීමකට ලක්වීමයි. මේ නාලය තුළ තිබෙනුයේ ඒ ස්නායුව පමණක් යැයි ඔබ සිතනවාද? නැත. මේ නාලය තුළ තවත් දෑ පවතියි. ස්නායුව ඉදිමීමකට ලක්වූ විට එම ස්ථානයේ තදවීමක් සිදුවන අතර අත හිරිවැටෙන්නේ ඒ හේතුවෙනි.
මේ හිරිවැටීම් ඉතා සුලුවෙන් පටන්ගෙන එය ගණනකට නොගෙන සිටීමෙන් සුවවන්නේ නැත. මුලින්ම මේ හිරිවැටීම රාත්‍රී කාලයට සහ උදයට පටන්ගන්නා අතර ඒ සඳහා ප්‍රතිකාර නොකළහොත් එය දිගින් දිගටම පැවතෙමින් පීඩාවන් ඇතිකර විය හැකිය. මෙය ස්නායු පරීක්ෂාවක් තුළින් නිසි හඳුනාගැනීමක් සිදුකළ හැකි තත්ත්වයකි.
සාමාන්‍යයෙන් මෙවන් අවස්ථාවක් උදා වූ බොහෝදෙනෙක් තාවකාලිකව හෝ වේදනා යටපත් කිරීම සඳහා විවිධ ආලේපවල පිහිට පතති. නමුත් මෙය ආලේප කිරීම් මගින් සුව කළ හැකි තත්ත්වයක් නොවේ. තාවකාලික විසඳුම් ලෙසට මෙවන් තත්ත්වයක් උදා වූ විට අත වෙහෙසවන ක්‍රියා මදක් අවම කරවීමත් එක දිගටම දින කීපයක් අත මැණික්කටුව අසලින් පිට පැත්තට නැමී සිටින සේ ගැට ගසා තබැගැනීමෙන්ද තාවකාලික සහනයක් ලබාගත හැකිය.
කාපල් ටනල් රෝගයට ප්‍රතිකාර නැතයි සමහරු බියපත් වුවත් සැබවින්ම මෙය ප්‍රතිකාර පවතින රෝග තත්ත්වයක්. ඇතමුන් මේ සඳහා භාහිර ආලේපන ගැල්වීමෙන් සුවයක් අත්වන බව විශ්වාස කළත් එය කිසියම් වේදනා නාශකමය ආලේපනයක් නම් ඇතැම් විට වේදනාව දැනීම අවම වෙන්නට පුලුවන්. නමුත් එයින් අදහස්වනුයේ රෝගය සියයට සියයක් සුව වූවා යන්න නොවේ. වේදනාව ඇතිකරන හේතුව නැවත ක්‍රියාකාරී වු විට එහි වේදනාව නැවතත් මතුවෙයි.
කාපල් ටනල් සින්ඩ්‍රෝමය හඳුනාගත් පසු එයට යොදන ප්රතිකාරවලින් සුවපත් බවක් නොලදහොත් ඊළඟ අවස්ථාව වනුයේ ශල්‍යකර්මයක් මගින් එය සකස්කරවීමයි. එය බරපතල ශල්‍යකර්මයක් නොවන අර මේ සඳහා ඉතා හොඳ ප්‍රතිඵල ලබාදෙන ප්‍රතිකර්මයක්. නමුත් ශල්‍යකර්මයක් අවශ්‍ය නමුත් එය නොකර සිටීමෙන් එම ස්නායුව දිගින් දිගටම තද වීම සිදුවන අතරම අවසන් ප්‍රතිඵලය වනුයේ මහපට ඇඟිල්ල මුල තිබෙන අපට පෙනෙන පරිදි පිටතට නෙරා තිබෙන මස් පිඬුව සම්පූර්ණයෙන්ම දියවී යාමයි.
එයින් අපට අගේ මහපටඟිල්ල මුල ඇති නෙරීම නැතිවි යන අතර එයින් පසු අපට උවමනා පරිදි මහපට ඇඟිල්ල ඉදිරියට මිස දෙපැත්තට නැවීමට නොහැකිවේ. ඉන්පසු අපට අපේ මහපට ඇඟිල්ලෙන් කළ හැකි බොහෝ දෑ කළ නොහැකි වෙන්නට හැකියි.
සමහරුන් මේ ශල්‍යකර්මය සම්බන්ධයෙන් බියට පත්වීම විවිධ මිත්‍යාමත නිසා ඇතිවන්නට පුලුවන්. ඇතමුන් මෙම ශල්‍යකර්මය නිසා අනාගතයේදී මුලු අතම පණ නැතිවී යා හැකියි ,යැයි හෝ අතේ ක්‍රියාකාරිත්වය අඩාලවේ යැයි සිතනවා. නමුත් මෙහි කිසිම සත්‍යයක් නොවේ. වැඩිපුරම මේ තත්ත්වය කාන්තාවන් අතර බහුල යැයි පවතින මත්ය සත්‍යයක් වුවත් පිරිමින් මෙම රෝගට ගොදුරු නොවේ යැයි එයින් අදහස් කරන්නේ නැහැ.
පුරුෂ පක්ෂයටද මෙම රෝගය මතුවීමට බොහෝ ඉඩ කඩ පවතින බව සහ එසේ කාපල් ටනල් සින්ඩ්‍රෝමයට ලක් වුණු පුරුෂ පක්ෂයේ රෝගීන්ද බහුලව හමුවෙන බව නොපවසා බැහැ. මේ සඳහා ප්‍රතිකාර පතන්නට තමන් යා යුත්තේ කෙබඳු වෛද්‍යවරයෙක් වෙතද යන්න ඊළඟට ඔබට මතුවිය හැකි සාමාන්‍ය ගැටලුවක්. මේ සඳහා ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත හෝ ශලය සායනයකට යාමට උනන්දුවෙන්න. එවිට මේ රෝග ලක්ෂණ කාපල් ටනල් නිසාද නැතිනම් වෙනත් රෝගී තත්ත්වයක් නිසාද යන්න මැනවින් පරීක්ෂා කර බලා ප්‍රතිකාර යොදනු ඇති.
ඇතමුන් විවිධ විශ්වාසයන් අනුව මෙය රක්තවාතය හෝ වෙනයම් වාත රෝගයක් හේතුවෙන් මතු වූ රෝග ලක්ෂණයක් සේ සලකා එයට ආහාරපානවලින් පරෙස්සම්වීමට උත්සහ දරති. ආහාරවල බලපෑමක් මෙයට නොපවතින බව මුල සිටම මේ කරුණු කියවා බැලු ඔබට වටහාගන්නට හැකිවනු ඇති.ආහාරවල බලපෑමක් නැතත් ඔබ එවැන්නක් ඇතැයි විශ්වාසයේ එල්බගෙන සිටිත් නම් කිසියම් ආහාරයක් ලබාගත් පසු ඔබේ වේදනා කැක්කුම් වැඩි වූවා යැයි සිතෙන්නට පුලුවන.
නමුත් එහි කිසියම් බලපෑමක් ඇතිබවක් පැවසිය නොහැක. ඇතමුන් වේදනාව සමනය වෙන්නට කිසියම් බාම් වර්ගයක් ගල්වා පිරිමැද තවා බැන්ඩේජ් යොදා, වෙලා තබන අවස්ථාද විරල නැත. එයින් රෝගය සුව නොවෙන මුත් පීඩාව තරමක් අඩුවන්නට ඉඩකඩ පැවතිය හැකිය. නමුත් වෙලුම් යෙදීමේදී එය තදට යෙදීම වේදනාව අඩුකරවීමට බලපා ලන හේතුවක් නොවේ. එසේ තදට වෙලුම් යෙදීමෙන් රුධිර සැපයුමට බාධාවක් වෙන්නට ඉඩ තිබේ.
කෙසේ වුවත් එවන් තද වෙලුම් නිසා රුධිර සැපයුම අඩාල වී ස්නායු විනාශවෙන්නට පවා ඉඩ කඩ පැවතිය හැකිය. අතට වෙලුමක් යොදා තැබීම ඔබට අවශ්‍යය යැයි හැඟෙන්නේ නම් තදින් වෙලුම් යෙදීමෙන් වළකින්න.දැන් ඔබ කාපල් ටනල් සින්ඩ්‍රෝමය යනු කෙබඳු රෝගයක්ද එය උත්සන්න වනුයේ සහ ප්‍රතිකාර නොලබා සිටියහොත් ඇතිවිය හැකි ප්‍රතිඵල මොනවාද යන්න පිළිබඳව හොඳ දැනුමක් මතකයට එක්කරගන්නට ඇත. ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට හිතවතෙකුට මෙවන් සිදුවීමක් ඇති වුවහොත් එයට ප්‍රතිකාර ලැබීමට ඔබ යොමුවිය යුත්තේ කෙසේද යන්න දන්නා බැවින් නොපමාව ඒවෙත යොමුවෙන්න.