සියල්ලන්ටම පළමු අප කටහඬ නිපදවෙන්නේ කෙසේදැයි විමසා සිටිමු. අපි හුස්මගන්නා විට ස්වර තන්තු ඈත් වී පෙණහලු තුළට වාතය ගලායාමට ඉඩ හරියි අප හුස්ම පහත හෙලන විට එම ප්රාශ්වාස වාතය ස්වර තන්තු තුළින් ගලායන විට ස්වර තන්තු එකිනෙක ලංවීම සහ ඈත්වීම සිදුවෙයි.
මෙවිට ස්වර තන්තුවල ඇතිවෙන කම්පනය නිසා ශබ්ධය හට ගනී. ඉන්පසුව දිව තොල්, ග්‍රසනිකාව, මගින් ශබ්ධයේ ගුණාත්මකභාවය වැඩිකර කටහඬ බවට පත්වීම සිදුවෙයි. අපි කතාකිරීමේදී ශබ්ධය ඇතිවෙන්නේ එසේයි.
එසේ ඇතිවෙන කටහඬ එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි වුවත් උගුර බැරෑඬිය යනු එවන් වෙනස්කම්වලින් පැහැදිලිව හඳුනාගත හැකි තත්ත්වයක්. දැන් අපි එවන් වෙනස්කමක් ඇතිවෙන්නට තුඩු දිය හැකි හේතු මොනවාද යන්න විමසමු.
උගුරේ පිළිකා, ස්වර තන්තු අකර්මණ්‍ය වීම, උස් කටහඬින් වැඩිවෙලාවක් කතාකිරීම නිතරම කතාකරමින් උගුර වෙහෙසවන රැකියාවක යෙදීම ආදිය හේතුලෙස බලපාන්නට ඉඩ ඇති බව පළමුව වටහාගෙන සිටිය යුතුය.
දිනක් දෙකක් මෙන් නොව සති ගණනක් මේ තත්ත්වය පැවතියහොත් අනිවාර්යෙන්ම උගුර පරීක්ෂා කරවා ගැනීම කළ යුතුය.
දැන් අප උගුර පරීක්ෂා කරවා ගත යුත්තේ කෙසේදැයි විමසා සිටිමු. උගුර පරීක්ෂා කරවා ගන්නට ඔබ යා යුතුවන්නේ උගුර කන නාසය පිළිබඳ සායනයක් වෙත හෝ වෛද්‍යවරයෙකු වෙතය. මන්ද හඬ ඇතිකරන ස්වරාලය පරීක්ෂා කළ හැක්කේ උගුර කන නාසය වෛද්‍යවරයෙකුට පමණය. මේ සඳහා ප්‍රභල ආලෝක ප්‍රභවයක් සහ කුඩා දර්පනයක් ඒ සඳහා භාවිත කෙරෙයි.
මෙහිදී සිදුකරන ක්‍රියාවලිය වනුයේ ඔබේ දිව ඉදිරියට ඇද යන්තමින් රත්කරන ලද කණ්නාඩිය උගුරට ඇතුල් කර කණ්නාඩියේ දිස්වන ස්වරාලයේ ප්‍රතිබිම්භය නිරීක්ෂණය කිරීමයි. මේ පරීක්ෂණය සිදුකරන විට ඔක්කාරගතියක් ඇතිවිය හැකි නිසා ඒ සඳහා උගුර හිරිවැට්ටීමට බෙහෙතක් ස්ප්‍රේ කළ හැකියි. බොහෝ දෙනෙක් බැරෑඬිය ඇතිව හෝ නැතිව පැමිණිලි කරන තවත් දෙයක් තිබේ.
ඒ උගුරේ යමක් සිරවී ඇති බවක් දැනීම පිළිබදවය. මෙය උගුරේ පිළිකාවක් ඇතිවිටද දැනිය හැකි ලක්ෂණයක් බව සැබෑ නමුත් මෙය වඩාත් ඇතිවන්නේ පිළිකා පිළිබඳව මානසිකව අනවශ්‍ය බයක් ඇතිකරගත් අයටය. තමන් දන්නා අඳුනන අයෙකුට උගුරේ පිළිකාවක් ඇතිවී ඇති බවක් දැනගත් විටද මෙම දැනීම මානසිකව ඇති විය හැකිය.
කෙසේ නමුත් උගුරේ පිළිකාවක් ඇත්නම් උගුරේ සිරවෙන ගතියට අමතරව තවත් ශාරීරික රෝග ලක්ෂණ ඇතිවෙයි. උදාහරණයක් සැළකුවහොත් කිසියම් කෙනෙකුට උගුරේ කල්පවතින බැරෑඬිය සමග සිරවෙන ගතිය පැවතියදී වේගයෙන් සිරුරේ බර අඩුවුවහොත් කෙටි කළකින් වඩාත් කෘෂ වී ඇතිබවක් දැනුණහොත් ඇතැම් විට ඒවා පිළිකාවක් ඇතිවන බවට යම් ලක්ෂණයක්වීමට ඉඩ තිබේ.
එවැන්නන්ට ආහාර වේලක් ලබාගෙන අවසන් වෙන්නට දිගු වේලාවක් ගතවීම, ආහාර ගන්නා අතර සිරවීම නිසා වතුර බොන්නට සිදුවීම, පසුකළකදී ඒ සිරවන ගතිය නිසා ආහාර ගන්නටම බැරි වීම, ආහාර පිට උගුරේ යාම නිසා කැස්ස ඇතිවීම ඇති විය හැකිය. එවන් ලක්ෂණද ඇතිනම් වහාම උගුර කන නාසය පිළිබඳ වෛද්‍යවරයෙකු හමුවීම ඉතා වැදගත්ය.
මෙවන් අවස්ථාවකදී ගලනාලයට බටයක් දමා පරීක්ෂා කිරීම එක්ස් කිරණ පරීක්ෂණ ආදිය නියම කිරීමට ඉඩ ඇත. දැන් අප එසේ පිළිකාවක් නොමැතිව නමුත් උගුරේ යමක් සිරවී ඇතිබව හඳුනාගත හැකි ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වෙමු. කිසියම් අයෙකුගේ ආමාශයේ අම්ලගතිය අධික වී යැයි සිතමු.
එවිට ඒ අම්ල ගලනාලය දෙසට ආපසු ගමන් කරන රෝගී තත්ත්වයකදී මෙසේ උගුරේ ගුලියක් සේ දැනීමට පුලුවන. මෙවන් තත්ත්වයකදී ඒ සඳහා තරමක කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදුවෙයි. එසේම ඔබ ආහාර ලබාගත යුතු අන්දම ගැනද උපදෙස් ලැබෙනු ඇත.
විශේෂයෙන් අධික මිරිස් තෙල් සහ ඇඹුල් දැමූ ආහාර අගුණය, සාමාන්‍යයෙන් මිරිස් තුනපහ යෙදූ ආහාර මෙවැන්නන්ට ගත හැකි නමුත් ඌරු මස් හරක් මස් වැනි මස් වර්ග ගැනීම අගුණය. එමෙන්ම කුස ගින්නෙන් සිටීම මෙන්ම අධික ලෙස කුස පුරවා ගැනීමද අගුණය උදේ ආහාර වේල උදෑසන 7 ට පමණ අනිවාර්යෙන්ම ගත යුතුය.
දවල් 1 ට පෙර දිවා ආහාරයද, රාත්‍රි 8 ට පෙර රාත්‍රි ආහාරයද ගත යුතුය. නින්දට යන විට ආහාර තරමක් ජීර්ණය වී තිබිය යුතුය. ආහාරයෙන් පසු අධිකව ජලය පානය කිරීම අහිතකරයි. ආහාරයෙන් අනතුරුව වතුර ටිකක් බී පසුව ටික ටික අවශ්‍ය තරමට ජලය පානය කරන්නට උපදෙස් ලැබෙනු ඇත.
විශේෂයෙන් ආහාරවේල් දෙකක් අතර මැද දියර වර්ග හැකි පමණ පානය කරන්න. විශේෂයෙන් ඇසිඩ් අඩු පලතුරු ආහාරයට ගැනීමට හුරුවෙන්න. බෙලි , ආනමාලු සහ අලිපේර වැනි පලතුරු විශේෂයි. නින්දේදි හිස ශරීරයට වඩා උස් මට්ටමකින් පවතින සේ තබාගන්න, යැයි උපදෙස් දෙනු ලබන්නේ ඇසිඩ් උගුර තෙක් පැමිණ ඇතිකරන පිළිස්සීම අවමකරන්නටය.
යම් ආකාරයකින් උගුර රිදෙන්නට පටන් ගෙන ඇත්නම් ඒ සම්බන්ධයෙන් අවධානය දැක්විය යුතු කරුණු රැසක්ම තිබේ. ඒ සෙම් ගෙඩි ප්‍රදාහය ඇත්ද, නැතිනම් තුවාල වී උගුර වණ වී ඇත්ද යන්නයි. සාමාන්‍යයෙන් නම් සෙම්ගෙඩි වැඩිපුර ඇතිවෙන්නේ ළමයින්ටය. අපි ෙසම්ගෙඩි යැයි කියන්නේ උගුරේ ඇති වසා පද්ධතියේ ගැටිත්තකටය.
සෙම් ගෙඩි යැයි පැවසුවත් එහි ඇති සෙමක් නැත. ගෙඩියකුත් නැත. මේ ගැටිත්ත උගුරෙන් සිරුරට ඇතුලුවන විෂ බීජ විනාශ කිරීමට උපකාරී වෙයි. නමුත් වැඩිහිටි වයසට පත්වන විට මේවා කුඩාවෙයි.
එසේම වෛරස් ආසාදන නිසාද උගුර රිදෙන්නට හැකියාව තිබේ. සෙම්ගෙඩි ප්‍රදාහය වැඩි වශයෙන් ඇතිවෙන්නේ ස්ට්‍රෙප්ටොකොකස් නම් බැක්ටීරියාවකිනි. රෝග ලක්ෂණ වශයෙන් උණ, ගිලීමේ අපහසුව, කටහඬ වෙනස්වීම, ඇඟපත වේදනාව, ඇතිවෙන්නට පුලුවන. ප්‍රතිකාර වශයෙන් මෙයට වේදනා නාශක සහ ප්‍රතිජීවක ඖෂධ ලබාදෙන අතර විෂබීජ නාශකයකින් උගුර සේදීමත්, උණුසුම් දියර වර්ග පානය කිරීමත් සුදුසුය.
නාලිකා