උදෑසන ආහාර වේලට
උදෑසන ආහාර වේල සඳහා එදවස අපේ පැරැන්නන් බොහෝ විට හීල් බත් ආහාරයට ගැනීමට හුරු පුරුදුව සිටියහ. එසේත් නැතිනම් කිසියම් ධාන්‍ය වර්ගයක් තම්බා හෝ ධාන්‍ය පිටි වර්ගයකින්, සහල් පිටිවලින් සැකසුනු පිට්ටුවක් ආහාරයට ගත් විට ඔවුන් දිවා ආහරයට මදක් පමාවීම වුවත් කුසගිණි හෝ අලස කමක් නොමැතිව වැඩ කරන්නට හුරු පුරුදුව සිටියහ.
සැබවින්ම කුරක්කන් තලප, මුං කිරි බත් ,යනාදී ආහාර මේව විට නව සමාජයේ ආහාර සංස්කෘතියෙන් බැහැර වුවත් ඒවා නැවත නැවත අවධානයට හා ආහාර පුරුදු අතරට එක්වීම වඩාත් උචිතය. මුං කිරි බත් සියලු පෝෂණයෙන් අනූන ආහාරයක් වන අතර එයට කට්ට සම්බලයක් හෝ රතුලූණු බැදුමක් එක්කරගෙන ආහාරයට ගන්නට ඉතාම රසවත් ආහාරයකි. ඕලු හාල් යොදාගෙන පිසින කිරිබත් මෙන්ම තණහාල් යොදාගෙන, මෙනේරි යොදාගෙන පිසින බත් යනාදිය පෝෂණයෙන් හා ඖෂධීය ගුණයෙන්ද අනූනය.
එවන් ආහාරවලින් දෛණික ශක්ති අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලබාගත් පැරැන්නෝ ආහාර විවිධත්වයෙන් ලද හැකි වාසිද බොහෝ සෙයින් දැන උන් බව පෙනෙන්නට තිබේ. හීල් බත සමග කරවල හොද්දක්, තම්බපු කොස් සහ පොල් සම්බලයක් ,කිරි හොද්දක් යොදාගන්නේ උදෑසන ආහාරය රජෙක් මෙන් ගන්නා බව සිහිපත් කරවන්නටය. එහි සියලුම පෝෂකයන් අන්තර්ගතය.
ඇතමුන් හීල් බත සමග පොල් සම්බලයද ඇඹුල් තියලට සකස් කළ මාළු හෝ වැව් මාලුද ආහාරයට ගැනීමට රුචිකත්වයක් දක්වන අතර අදත් බොහෝ දෙනෙකු එවන් ආහාරවේලක ඇති රසයට වඩාත් කැමතිය. හීල් බත මෙන්ම අප තවත් උදෑසන සමග සම්බන්ධකරන බතක් ගැන මෙහිදී මතකයට නැගෙනු ඇත. ඒ දිය බත යන්නයි.
රතු ලූණු අමු මිරිස් ලියා එයට බත් මුට්ටියේ අවසාන කොටසට වතුර දමා රැයක් තිබෙන්නට හැර ලබාගත් දිය හා බත්වලට මිටි කිරි ස්වල්පයක්ද අවශ්‍ය නම් දෙහි ඇඹුල් ස්වල්පයක් හා ලුණු ද යොදා අනුභව කිරීම ඌෂ්ණය නිවාලන ශක්තිය වඩවන ක්‍රමයක් බව ට ගැමියන් අදත් විශ්වාස කරති. ඇතැම් රෝග සෑදී සුව වන විට උවමනාවෙන්ම දිය බත් ලබාදෙන්නට ඇතමුන් උත්සහ ගනුයේ ඇඟේ ඌෂ්ණය නිවෙන්නට යැයි මතයක් ගොඩ නැගී තිබිණි.
ආයුර්වේදයේ උදෑසන ආහාර සම්බන්ධයෙන් ඇත්තේ විවිධත්වය මුල් වූ රටාවකි. ඒ නිසාදෝ අද තිබෙන රෝග බොහෝමයක් ඔවුන් වෙත නොතිබුණු බව ද පෙනෙන්නට තිබේ. උදෑසන ආහාර වේලේ එවන් රස රහස් සොයා ඔබේ පෝෂණයට අත්වැලක් කරගන්නට උත්සහ ගන්නේ නම් බොහෝ රෝගවලට ඖෂධ සොයා යන්නට අවැසි නොවනු ඇත.
සුභාෂි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

