සමාජ වෙබ් අඩවි කියූ සැණින් කාටත් ක්ෂණිකව මතකයට නැගෙන්නේ Facebook හෙවත් මුහුණු පොතයි. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් Facebook යොදා ගත්තේ යහපත් කටයුතු වලට නොවන බව පසුගිය කාලයේ අසන්නට දකින්නට ලැබුණු විවිධ සිදුවීම් සමග ගම්‍ය විය. එහෙත් පසුගිය සති කීපයේ දී ඇති වූ ගංවතුර සහ නායයෑම් හමුවේ අසරණ වූ ජනතාව වෙනුවෙන් මුහුණු පොතේ බොහෝ දෙනා එක් වූහ. Facebook හි සුවිශේෂත්වය වන වැඩි පිරිසකට එකවර ඍජුව සන්නිවේදනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවේ පිරිස් උපරිමයෙන් භාවිත කළ අවස්ථාවක් ලෙසද මේ අවස්ථාව දැක්විය හැකිය.
පසුගිය කාලය පුරාවට සියදිවි නසාගැනීම්, පවුල් අාරවුල් ඇති කරගැනීම්, අනියම් සමිබන්ධතා හේතුවෙන් ජීවිත අවුල් කර ගැනීම් ඇතුළු සිදු වීම් ගණනාවක් Facebook අව භාවිතය නිසා සිදු වූ බව වාර්තා වන්නට විය. විවිධ මාධ්‍ය හරහා මෙන්ම වෙනත් ආරංචි මාර්ග ගණනාවක් හරහා සමාජය පුරා Facebook හෙවත් මුහුණු පොත පිළිබඳ විවිධ දුර්මත ගණනාවක් ප්‍රචාරය වන්නට විය. එහෙත් ඩිජිටල් ලෝකයේ රංචු ගැසීම යන සංකල්පය තහවුරු කරන Facebook හරහා පසුගියදා ශ්‍රී ලංකාව මුහුණ දුන් ස්වභාවික ව්‍යසනයේ දී සමජය දැනුවත් කළ ආකාරය එකිනෙකාට උදව් කළ ආකාරය ඉතා ඉහළය.
සත්‍යවශයෙන්ම Facebook නිර්මාණය වීමේ එක් අවශ්‍යතාවයක් වූ එකිනෙකාට උදව් කිරීම උපරිමයෙන් මේ අවස්ථාවේ දී ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකාවේ වැසියන් තුළ ස්වභාවිකවම පවතින පරාර්ථකාමීත්වය හෙවත් විපතට පත් වූවන් වෙනුවෙන් උපකාර කිරීමට අවශ්‍ය විශේෂිත වූ මඟ පෙන්වීමක් සිදු කිරීමට යොමු වීම කාගේත් පැසසුමට ලක් විය යුතු විශේෂ ලක්ෂණයකි.
විපතට පත් වූවන් වෙනුවෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වීම Facebook සමාජ වෙබ් අඩවිය හරහා විවිධ අයුරින් සිදු වන්නට විය. ඒ අනුව ජල ගැලීම්, නායයෑම්, ගංවතුර හේතුවෙන් විපතට පත්වූවන්ට බත් පාර්සල් බෙදාදීම, ඇඳුම් පැලඳුම්, බෙහෙත් ද්‍රව්‍ය, ගමනාගමන පහසුකම් සඳහා විශේෂ වූ බෝට්ටු සේවාවන් සැපයීමට මැදිහත් වීම මෙන්ම සනීපාරක්ෂ ද්‍රව්‍ය ලබාදීම වැනි අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා සුවිශේෂී වූ සන්නිවේදන ක්‍රමයක් ක්‍රියාත්මක වන්නට විය.
රට තුළ දැවැන්ත සහන සේවාවක් ක්‍රියාත්මක වූ අවස්ථාවක වෙනත් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන මෙන්ම Facebook සමාජ වෙබ් අඩවිය භාවිත කරන පිරිස් විපතට පත්වූවන්ට අත්‍යවශ්‍ය දෑ මොනවාද, ඒ පිළිබඳ තවදුරටත් තොරතුරු ලබාගැනීම සඳහා වන දුරකථන අංක, ආධාර ලබාදීමට කැමැත්නෙත් සිටින පිරිසගේ දුරකථන අංක, ආධාර අවශ්‍ය කරන ප්‍රදේශ සහ පුද්ගලයන් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම්, එසේම ස්වේච්ඡාවෙන් ආධාර සැපයීම සඳහා සූදානමින් සිටින පිරිස් පිළිබඳ දැනුවත් කිරීම් වැනි සේවා ගණනාවක් ක්ෂණිකව ක්‍රියාත්මක කරන්නට වූහ.
ලෝකය පුරා ව්‍යාප්තව පවතින Facebook සමාජ වෙබ් අඩවිය ලංකාවේ වැඩි වශයෙන් භාවිත කරනු ලබන්නේ තරුණ පිරිස විසිනි. ඔවුන් විපතට පත් වූ පිරිසගේ අවශ්‍යතා නිවැරදිව වටහාගත් බවක්ද ඔවුන් විසින් විපතට පත් වූවන්ට සහන සැලසීමට ක්‍රියාත්මක වූ අවස්ථාවේ පෙන්නුම් කරන්ට විය. විශේෂයෙන් පාසල් යන තරුණ පිරිසගේ අවශ්‍යතා වටහාගනිමින් ඔවුන් වෙනුවෙන් හැකි උපරිම අයුරින් උදව් උපකාර කිරීමක් වශයෙන් ඔවුන්ට අවශ්‍ය පොත්පත්, අමතර නිබන්ධන අවශ්‍ය ශිෂ්‍යයන් වෙනුවෙන් ලබාදීම සඳහා දුරකථන අංක සමග දැනුවත් කිරීමක් සිදුකිරීම සැබැවින්ම ලංකාවේ තරුණ ප්‍රජාව පිළිබඳ සතුටට පත් විය යුතු කරුණකි.
විශේෂයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් මේ වනවිට අවශ්‍ය වී ඇති පිරිසුදු කිරීමේ සේවාවන් සඳහා ස්වකැමැත්තෙන් ඉදිරිපත් වන පිරිස් ඔවුන්ගේ සේවා අවශ්‍ය කරන පීඩාවට පත් පිරිසට දැනුම් දීම වෙනුවෙන් දුරකථන අංක සටහන් කරමින් දැන්වීම් පළකිරීමද Facebook හරහා සිදු කෙරේ. මේ වනවිට තම වාසස්ථාන නැවත යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා බොහෝ පිරිස් උත්සාහ ගන්නා අවස්ථාවක අපිරිසුදු වු ළිං පිරිසිදු කර දිමට, නිවාස පිරිසුදු කරගැනීමට සහායක් ලබාදීම වැනි කටයුතු සඳහා මහජනතාවට සහාය දීමට මැදිගත් වීම කාගේත් පැසසුමට ලක් විය යුතු කරුණකි. නිවැරදිව යොදා ගන්නේ නම් සමාජ ජාල වෙබ් අඩවි යනු අනංගයෙකු හෝ රකුසෙකු නොව සියලු සත්වයන් වෙනුවෙන් කැප වූ මනුෂ්‍යෙයකු නිර්මාණය කරන ස්ථානයක් බවද මේ අවස්ථාව අපට පෙන්වා දෙයි.