හැට වසරක මිත්‍රත්වය වෙනුවෙන් මිත්‍රත්ව ගම්මානයක්
ශ්‍රී ලංකාව සහ චීනය අතර නිල සබඳතා ආරම්භ වන්නේ 1957 වර්ෂයේ සිටය. එසේ වුවද ශ්‍රී ලංකා චීන සබඳතාවලට ඊටත් එහා ගිය ඉතිහාසයක් ඇත. කෙසේ වුවද නිල වශයෙන් සබඳතා ආරම්භ වී 2017 වර්ෂයට වසර 60 ක් සපිරේ. මෙම වසර 60 තුළ ශ්‍රී ලංකාවට විවිධ අයුරින් චීනය උපකාර කර තිබේ. ශ්‍රී ලංකා චීන මිත්‍රත්වය තහවුරු කරනු වස් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් තවත් විශේෂ ත්‍යාගයක් පිළිබඳ ඔබ දැනුවත් කිරීමට අදහස් කළෙමු.
පසුගිය 2016 වර්ෂයේ ඇදහැළුණු ධාරානිපාත වාර්ෂාව හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ සාමසර කන්ද නාය ගිය අයුරු ඔබට අමතක විය නොහැක. මේ හේතුවෙන් එලංගපිටිය සහ දෙබත්ගම ගම්මාන විනාශ විය. වාර්තා වූ ආකාරයට මෙම ස්වාභාවික විපතින් පුද්ගලයන් 31 දෙනෙකු මිය ගිය අතර, 586 දෙනෙකුට සිය නිවාස අහිමි විය.
මෙම විපතින් අසරණ වී සිටි මිනිසුන්ට පිහිට වීමට බොහෝ දෙනා ඉදිරිපත් වූ අතර ශ්‍රී ලංකා රජයද විවිධ ආකාරයෙන් මෙම මිනිසුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් දියත් කළේය. චීන රජයද මෙම විපතේදී ශ්‍රී ලංකාවට පිහිට වීමට ඉදිරිපත් වූ අතර, ක්ෂණිකව සිදුකළ හැකි උපකාර සහ පසුව නිවාස විනාශ වූ ජනතාවට නව නිවාස ඉදිකර දීමටද චීන රජය ඉදිරිපත් විය.
ඒ යටතේ අංග සම්පූර්ණ නිවාස 100කින් සමන්විත නිවාස සංකීර්ණයක් සාමසර ජනතාව වෙත ලබාදීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා සාකච්ඡා කළ චීනය, ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ක් ලබාදුන්නේය.
මෙම නිවාස සංකීර්ණය සඳහා සාමසර කන්දට කිලෝමීටර් 08 ක පමණ දුරින් පිහිටි රුවන්දෙණිය ගම්මානයේ අක්කර 05 ක ඉඩමක් තෝරාගත් අතර, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ග්ලියෑන් (Yi Xianliang) මහත්වරුන් ඒ සඳහා මුල්ගල් තැබුවේ ජනවාරි 17 වැනිදාය.
අදියර දෙකක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගිවිසගත් චීන රජය මේ වන විට පළමු අදියරේ නිවාස 60 ක් ඉදිකර අවසන් කොට තිබේ.
නිදහස, අලංකාරය, භූමිය ඉතිරි කරගැනීමේ සංකල්ප ආදී සියල්ල සැලකිල්ලට ගනිමින් නිවාස 04 ක් සහිත එක් ඒකකය බැගින් ඒකක 15 ක් මේ වනවිට සකසා අවසන්ය.
තට්ටු දෙකක නිවාස ඒකක වන මේ තුළ පහළ තට්ටුවේ නිවාස දෙකක් සහ ඉහළ නිවාස දෙකක් බැගින් පිහිටා ඇත. එක් නිවාසයක් තුළ නිදන කාමර 02 ක්, මුළුතැන්ගෙයක්, ආලින්දයක්, ගබඩා කාමරයක්, නාන කාමරයක් සහ එළිමහන් කොටසක් යන අංගවලින් සමන්විතව ඇත.
නිවාස ඒකකයන්ට අමතරව ප්‍රජාශාලාවක් , බුදු මැදුරක්, ක්‍රීඩා පිටියක්, සේවා පියස මධ්‍යස්ථානයක් ආදී ප්‍රජා පහසුකම්ද මෙම ස්ථානයේ ඉදි කිරීමට නියමිතව ඇත. මාර්ග පහසුකම් සහ ජල විදුලි පහසුකම්ද සහිතව අංග සම්පූර්ණ නිවාසයක් ලෙස මෙම නිවාස සංකීර්ණය ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, පළමු අදියරේ නිවාස 60 ක් මේ වනවිට ඉදිකර අවසන්ය.
එක් නිවාසයක් වර්ග මීටර් 68 ක ප්‍රමාණයක් වන අතර, එම එක් නිවාසයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 35 ක් පමණ වැයකර ඇතැයි ව්‍යාපෘතිය භාර ඉංජිනේරු සෙනරත් සූරියදාස මහතා පැවසීය.මෙම නිවාස ව්‍යාපෘතිය සම්පූර්ණ කර ජනවාරි මුල් සතිය තුළ චීනය විසින් ශ්‍රී ලංකා රජයට බාර දීමට නියමිතය. එමෙන්ම මෙම නිවාස ව්‍යාපෘතියේ දෙවැනි අදියර නිම කිරීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත එය සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්, මෙතෙක් එවැනි ඉල්ලීමක් නොලැබුණු බවත් ව්‍යාපෘතියේ නිරත චීන සමාගමට අපට සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම දෙවැනි අදියරද ඉතා ඉක්මනින් අවසන් කර අරණායක ඛේදවාචකයෙන් නිවාස අහිමි වූවන්ට ලබාදීමට හැකි නම් එය ඉතා අගනා කාර්යයක් වනු ඇත. මෙම නිවාස සංකීර්ණය ඉදි කිරීමේ කටයුත්තේ තවත් සුවිශේෂී තත්ත්වයක් වන්නේ මෙහි තාක්ෂණික නිලධාරීන් හැර, මෙම ව්‍යාපෘතියට සම්බන්ධ අනිකුත් සියලුම පිරිස් ශ්‍රී ලාංකිකයන් වීමයි.
මෙම ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන් සහ සේවා සපයන්නන් වශයෙන් 4000කට ආසන්න පිරිසකට මේ හරහා රැකියාද උත්පාදනය වී ඇත. එයද සුවිශේෂී කාරණයකි.
ආදර්ශ නිවාස ව්‍යාපෘතියක් ලෙස මෙම නිවාස ඒකක ඉදි කරන අතර, මෙය සාර්ථක වුවහොත් මෙවැනි නිවාස ව්‍යාපෘතීන් ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන කිහිපයක ඉදිකිරීමට චීන රජය කැමැත්ත පළ කර තිබේ. චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ගම්මානය යනුවෙන් නම් කර ඇති මෙම ගම්මානය ළඟදීම ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් චීන රජයට අපගේ ස්තුතිය පුදකළ යුතුය. චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ගම්මානය ආදර්ශයක් ලෙස සලකා තවත් ගම්මාන කිහිපයක් රටපුරා නොමිලයේම ඉදිකර දීමට චීනය කැමැත්ත පළකර ඇති අතර, එය යථාර්ථයක් කරගැනීමට
ශ්‍රී ලංකාව වශයෙන් අපද කටයුතු කළයුතුව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





