එළඹෙන වසන්ත සමයේ මිතුරන් සමග චාරිකාවක් යන්න තීරණය කර ඇත්නම් ලංකාවේ සුන්දරම ස්ථානයක් වන ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට යන්න අමතක කරන්න එපා. බදුලු දුම්රිය මාර්ගයේ හමුවන සුන්දරම ස්ථානයක් ලෙස ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය හඳුන්වන්න පුළුවන්.
ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය උඩරට බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානය හා හපුතලේ දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත. එය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 240.28ක දුරින් පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට උස මීටර් 1665.85කි. බදුලු දුම්රිය මාර්ගයේ 68 වන දුම්රිය ස්ථානය වන මෙම දුම්රිය ස්ථානය ශ්රී ලංකාවේ 5වැනි උසින් පිහිටි දුම්රිය ස්ථානයයි.
ඉදල්ගස්හින්න දුම්රියපොළ ශ්රී ලංකාවේ දකුණු කොටස සහ නැගෙනහිර කොටස වෙන් වන කඳු මුදුනේ පිහිටි සුළං කපොල්ලක සාදා ඇත. මේ නිසාම එක් මොහොතක පැහැබරවද තවත් මොහොතක මිහිදුමෙන් මුළු ප්ර‘දේශයම වෙළා ගන්නා දේශගුණයක් ඇති අපූර්වතම ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.
ඉදල්ගස්හින්න දුම්රියපොළ අපූර්වතම දර්ශනතලයක්ද වෙයි. කොළඹින් බදුලු යන කෙනෙකුට එහි දකුණින් ප්රකට වලවේ ගංගා නිම්නය ඇස ගැටෙයි. වම්පසින් සුවිසල් මහවැලි නිම්නයයි. මෙහි අපූර්වත්වය වන්නේ පිහිටීම අනුව ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට ලැබෙන වර්ෂා ජලය එක් පැත්තකින් මහවැලි ගංගා ද්රෝණියටත් (ඉදිරිපසට රැස්වන ජලය) අනෙක් පසින් වලවේ ගංගා ද්රෝණියටත් (පසුපසට රැස්වන ජලය) මුසු වීමයි.
නිතරම මීදුමෙන් ගැවසුණු සිතලෙන් ගල්ගැසුණු ඉදල්ගස්හින්න බෙහෙවින් සිසිල්ය. එහෙත් දකුණින් දිස්වන වලවේ ගංගා නිම්නයට ඇත්තේ වියළි කලාපීය දේශගුණයකි. වම්පසින් දිස්වන මහවැලි ගංගා නිම්නයේ ඉහළ කොටස තෙත් කලාපීය දේශගුණයෙන් යුක්තය.
කොළඹ කොටුවෙන් රාත්රී 8ට පිටත්වන රාත්රී තැපැල් දුම්රියෙන් අලුයම 5 පමණ වන විට ඉදල්ගස්හින්නට ළඟා විය හැක. මේ ගමන සඳහා සුදුසු වන්නේ මේ රාත්රී තැපැල් දුම්රියෙන් යාමයි. එවිට ඔබට අලුයමේ මෙම දුම්රිය ස්ථානයේ ඇති චමත්කාරය වගේම මිහිරි සීතල විඳ දරා ගැනීමට හැකියාව ලැබේ.
මේ එළැඹෙන වසන්ත සමයේ ඔබත් ඉදල්ගස්හින්නේ ඇති සුන්දරත්වය දැක බලා ගනිමින් ඔබේ ජීවිතයට සුන්දර මතකයක් එක්කර ගන්න.
සරසි නෙත්මිණි