මෙරට පරිභෝජනය කෙරෙන සහල් හා එළවළු වර්ගවල ඊයම් අඩංගු වන බව නවතම පරීක්ෂණයක් මගින් ඔප්පු වී ඇතැයි පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර වසවිස විශ්ලේෂණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන සමීක්ෂක විශේෂඥ වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් මහතා පැවසුවේය.
වකුගඩු රෝගය වැඩි වශයෙන් පැතිර ඇති උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය මූලික කරගෙන ඔවුන් සිදු කළ ආහාර සාම්පල හා රුධිර පරීක්ෂණ වාර්තා අනුව මෙම නවතම තොරතුරු ඉදිරිපත් කර ඇති අතර, එම ආහාර පරිභෝජනය කරනු ලැබූ නිවැසියන්ගෙන් ලබාගත් ලේ සාම්පල අතරින් 60%කම ඊයම් අඩංගු වී ඇති බව අනාවරණය වී තිබිණි. ඔහු විසින් පරීක්ෂා කරන ලද රුධිර සාම්පල පිළිබඳ විස්තර මෙසේ විය.
මේ අනුව ලබාගත් රුධිර සාම්පල 55 න් 26කම ඊයම් අඩංගුව තිබී ඇත. මෙම පුද්ගලයන්ගේ රුධිර සාම්පලවල ඊයම් අන්තර්ගත වීමට හේතු වී ඇත්තේ ආහාර බව වෛද්‍යවරයා පවසන්නේ ඔහු විසින් එළවළු, හාල් හා පලතුරුවල අඩංගු ඊයම් ප්‍රමාණ පිළිබඳවද පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. ඔහු සිදුකළ පරීක්ෂණයේදී සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකු සතියකට හාල් කිලෝ 03ක ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර, එළවලු කිලෝ 01 ක ප්‍රමාණයක් පරිභෝජනය කරයි. මේ හරහා ඊයම් මයික්‍රො ග්‍රෑම් 1600 ක ප්‍රමාණයකට සතියකදී ශරීරය නිරාවරණය වන බවද ඔහු සඳහන් කරයි.
මෙරට ආහාර පරිභෝජන රටාව පිළිබඳ සැලකිලිමත් වීමේදී ඊයම් ශරීරගත වීම නිසා සැලකිය යුතු සෞඛ්‍ය බලපෑම් සිදුවන බවද හෙතෙම සඳහන් කරයි. ඒ හේතුවෙන් තුන් වේලම එකම ආහාර පරිභෝජන රටාවකට හුරු වී සිටීම, එනම් තුන්වේලම බත් කන පුරුද්දෙන් ඈත් විය යුතු බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. එළවළුවල ඊයම් අඩංගු වන නිසා නිර්මාංශ ආහාර වේලකට හුරුවීමද ගැටලුකාරී බව පෙන්වා දෙන වෛද්‍යවරයා මස්, මාළු වැඩි වශයෙන් පරිභෝජනය කිරීමට හුරුවිය යුතු බවද සඳහන් කරයි. නමුත් සත්ත්ව පීකුදුවල විෂ ද්‍රව්‍ය තැන්පත් වන බැවින් පීකුදු ආහාරයට නොගත යුතු බවද ඔහු සඳහන් කරයි.
ආහාරවලින් ශරීරයට එකතු වන ඊයම් රුධිරගත වී මාස දෙක තුනක කාලයක් පවතින බවත්, දිගුකාලීනව ඊයම් ශරීරගත වන ආකාරය පිළිබඳ විවිධ අවයව ආශ්‍රිතව පර්යේෂණ සිදුකර වාර්තා ලබාගැනීම මෙන්ම අස්ථිවල මෙම ඊයම් තැන්පත්ව පවතීද යන්න පිළිබඳ පර්යේෂණ සිදුකළ යුතු බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
මිනිස් පාරිභෝජන ද්‍රව්‍යයන්ගේ හා ආහාරවල ඊයම් අන්තර්ගත වීම පිළිබඳ මෙලෙස අපට අසන්නට ලැබෙන පළමු අවස්ථාව නොවන නිසා ඊයම් පිළිබඳ පෙරටත් වඩා අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී තිබේ. විශේෂයෙන් මීට වසර කිහිපයකට පෙර පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කර තිබුණේ දූවිලි හා ඊයම් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ ඇතැම් පාසල්වල කාමර තුළ ඊයම් ප්‍රතිශතය වර්ග අඩියට මයික්‍රො ග්‍රෑම් 600 ක් පමණ වී තිබෙන බවයි.
ඇමෙරිකා එක්සත් ජනපද පරිසර ආරක්ෂණ කාර්යාංශයට අනුව ආරක්ෂිත ඊයම් මට්ටම වන්නේ වර්ග අඩියට මයික්‍රො ග්‍රෑම් 40 ක් පමණක් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නියම කරන ලද ඊයම් ප්‍රමාණයට වඩා වැඩි ඊයම් ප්‍රමාණයක් ගෘහාශ්‍රිතව භාවිත කරන තීන්තවල අන්තර්ගතද යන්න සොයා බැලීම සඳහා පාරිභෝගික අධිකාරිය මගින්ද මීට වසර කිහිපයකට පෙර පරීක්ෂණ පවත්වනු ලැබීය. ජීවිතවලට අවදානමක් සහිත ඊයම්, තීන්ත සඳහා භාවිත කිරීම පිළිබඳ ලෝක පරිසර සංවිධාන විරෝධය පළ කිරීමත් සමග 2002 වසරේ රියෝ සමුළුවේදී ඊයම් භාවිතය පිළිබඳ කරුණු කිහිපයක් පිළිබඳ අවධානයට ලක්විය. ඒ අතරින් තීන්ත සඳහා ඊයම් භාවිතය හා පෙට්‍රල් සඳහා ඊයම් භාවිතය පිළිබඳ බොහෝ විරෝධතා ගොනුවිය. ඒ අනුව අවම කිරීම සඳහා සියලුම වගකිවයුතු පාර්ශ්ව එකඟතාවකට පැමිණියහ.
2003 වසරේදී ලංකාවේද ඊයම් අඩංගු පෙට්‍රල් භාවිතයට සම්පූර්ණයෙන්ම තිත තැබෙන්නේ ඒ එකඟතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙසටය. නමුත් තීන්තවල අඩංගු ඊයම් නිසාද සෞඛ්‍ය ගැටලු ඇති වන බවට හඳුනාගැනෙන්නේ ඊට වසර කිහිපයක් ඉක්ම ගොස් ලොව පුරා ජීවත්වන දරුවන්ගෙන් මිලියන 40 ක් පමණ ඊයම් හේතුවෙන් සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වීමත් සමගය.
තීන්තවල අඩංගු ඊයම් පිළිබඳ මෙලෙස වාර්තා වීමෙන් පසු ඊයම් පිළිබඳ යළිත් කතාබහ මතුවන්නට පටන් ගැනුණේ ක්ෂණික නූඩ්ල්ස්වල ඊයම් අඩංගු බවට තහවුරු වී ඉන්දියානු රජය විසින් අදාළ බහුජාතික සමාගම මගින් වෙළෙඳ පොළට එක් කරන නූඩ්ල්ස් ඉවත් කිරීමත් සමගය. ඒ අනුව මෙරට වෙළෙඳ පොළෙහිද ජනප්‍රිය නූඩ්ල්ස් නිෂ්පාදනයක් වන අදාළ බහුජාතික සමාගමට අයත් ක්ෂණික නූඩ්ල්ස්වල ඊයම් අඩංගු වේ ද යන්න පිළිබඳ පරීක්ෂා කර බැලිණි. මෙලෙස බලන විට අපට පෙනී යන දෙය වන්නේ අප කන බොන ආහාර පිළිබඳ මෙන්ම එදිනෙදා භාවිතයට ගැනෙන ඕනෑම නිෂ්පාදනයක් පිළිබඳ වෙනදාටත් වඩා අවධානයෙන් පසුවිය යුතු බවයි. එයට හේතුව නම් ඊයම් නිසා මිනිස් සිරුරට ඇති කෙරෙන සෞඛ්‍ය හානි අධික බැවිනි. වෛද්‍යවරුන් පවසන අන්දමට ඊයම් නිසා ගර්භිණී කාන්තාවන්ට ගබ්සා වීම්, අඩුබර දරු උපත් ඇති වීම්, මළදරු උපත් සිදුවීම් මෙන්ම නොමේරු දරුවන් බිහිවීමටද ඊයම් ඍජුව බලපායි.
එමෙන්ම දරුවන්ට ඊයම් ශරීරගත වීමෙන් ඉගෙනීමේ දුර්වලතා, දඩබ්බර හැසිරීම් රටා, බුද්ධි මට්ටම පහළයෑම්, මීමැස්මොරය, අඩු වර්ධනය, මානසික රෝග, අවධානයේ හීනවීම්, හිසරදය, අති ක්‍රියාශීලී වීම මෙන්ම දෘශ්‍ය හා ශ්‍රවණ ආබාධ ආදියද හටගැනීමට පුළුවන. එසේම ආහාර මගින් ඊයම් රුධිරගත වීම නිසා වැඩිහිටියන්ටද ශ්‍රවණාබාධ, අධිරුධිර පීඩනය වැනි රෝගාබාධ ඇතිවිය හැකි අතරම, ඊයම් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ අගයක් ගතහොත් සිහි මඳ ගතිය මෙන්ම මරණය පවා සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍ය ටී.බී. ආනන්ද ජයලාල් මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
ඔහු පෙන්වාදෙන ආකාරයට රටක්, ජාතියක් වශයෙන් අනාගත පරපුරේ බුද්ධි වර්ධනය අඩාළ වීම පිළිබඳ වඩාත් අවධානය යොමු කිරීම සිදුවිය යුත්තකි. විශේෂයෙන් රටවල ජීවත්වන රටවැසියන්ගේ බුද්ධි මට්ටම් පිළිබඳ සිදුකරන ලද අන්තර්ජාතික සමීක්ෂණයක ප්‍රතිඵල මතද අප රටේ වැසියන්ගේ බුද්ධි මට්ටම පහළ අගයක පවතින බව සඳහන් වන බවද ඔහු පැවසුවේය. අතීතයේ ඉතා දියුණු ශිෂ්ටාචාරයක් පැවැති රෝමයේ කොලෝසියම බිඳ වැටීමට හේතු වී ඇත්තේද ඊයම් බවට වර්තමානය වනවිට ප්‍රබල මතයක් ගොඩනැගී තිබෙන බව සඳහන් කළ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ආහාරවල ඊයම් අඩංගු වීම යන ගැටලුව පිළිබඳ රටේ වගකිවයුතු අංශ සියල්ල එකට එක්ව අවධානය යොමුකළ යුතු බවයි. මේ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කෘෂිකර්මාන්තයේදී යොදන රසායනික පොහොර වර්ග මේ තත්ත්වයට හේතු වී ඇති බැවින් හැකිතාක් කාබනික වගාවන් කෙරෙහි යොමුවීමේ අවශ්‍යතාව මතුවන බවයි.
පසුගියදා විශේෂඥ වෛද්‍ය ටී.බී. ආනන්ද ජයලාල් මහතා විසින් හෙළිදරව් කරන ලද පරීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ එළවළුවල හා සහල්වල ඊයම් අඩංගු නම් සෞඛ්‍ය අමාත්‍යවරයා ඊට වගකිවයුතු බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කරන්නේ ජනතාව ආහාරයට ගනු ලබන සහල් සහ එළවළු තුළ සැලකිය යුතු මට්ටමක ඊයම් අඩංගු බවත්, ඒවා ආහාරයට ගනු ලබන ජනතාවගේ රුධිරයේ ඊයම් අඩංගු බව තම පරීක්ෂණවලින් සොයාගත් බවත්ය.
මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිද්‍රාශීලී ප්‍රතිපත්තිය හේතුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ අප රටේ සමස්ත පාරිභෝගිකයාටය. ජනතාව ලෙඩ රෝගවලට නිරාවරණය කොට අඩු මිලට බෙහෙත් ද්‍රව්‍ය හා වෙනත් උපකරණ ලබාදීමට කටයුතු කරනවා යැයි කයිවාරු ගසන සෞඛ්‍ය අමාත්‍යවරයෙකු සිටින රටක සමීක්ෂණ වාර්තා මගින් මෙවැනි කරුණු හෙළිවීම අපට පුදුමයක් නොවේ.
ලෝකය ක්ෂණිකව වෙනස් වෙද්දී අපට ඇත්තේ යල්පැනගිය නීතිරීති වන අතර, ඒවාට මුවා වී ව්‍යාපාරිකයෝ තම සාක්කු පුරවා ගනිති.
පාලන මිලක් නොමැතිව වැඩි මුදලක් ගෙවා පාරිභෝගිකයන්ට ඊයම් අඩංගු සහල් පරිභෝජනය කිරීමට සිදුවීම සබන්ධයෙන් මෙරට ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන සෞඛ්‍ය අමාත්‍යවරයා ලැජ්ජා විය යුතුය. බෙහෙත් මිල අඩු කිරීම පිළිබඳ අමාත්‍යවරයාට ස්තූති කරමින් රට පුරා පෝස්ටර් ඇලවීමට හා දැන්වීම් සඳහා ඇමතිවරයාගේ හෙංචයියන්ට වියදම් කරන ජනතා මුදලෙන් මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීමට කටයුතු කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.
මෙරට තුන්වේලම බත් කෑ ජනතාවක් සිටින රටක වසවිසෙන් තොරව ජනතාවට සහල් සහ එළවළු ලබාදීමට අසමත් සෞඛ්‍ය බලධාරීන් සූදානම් වන්නේ අතීසාරයට අමුඩ ගැසීමටය. ආහාරවල ඊයම් ඇත්නම් සහ ඊට විකල්පය එම ආහාර පරිභෝජනය නොකිරීම නම් එම රටට සෞඛ්‍ය අමාත්‍යාංශයක් අවශ්‍ය නැත.
ආනන්ද ජයලාල් මහතා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රතිචාරය පිළිබඳ අප බලා සිටින අතර, ඉතා ඉක්මනින් මෙරට සහල් එළවළුවල පමණක් නොව සියලු ආහාරවල අන්තර්ගත වසවිසෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන අයුරු පිළිබඳවද විමසිල්ලෙන් සිටිමු.