Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
පාර්ලිමේන්තුවේදී පසුගිය සතියේ ඇතිවූ සිදුවීම් කිහිපයක් නිසාම උත්තරීතර පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්වී තිබේ. ඒකාබද්ධ විපක්ෂය සභාගැබේදී සිදුකෙරෙන බාධාවන්, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සතියක් පාර්ලිමේන්තුව තහනම් වීම මෙන්ම සභාවාරයකදී ආණ්ඩු පක්ෂය සභාගැබෙන් ඉවත් වීම ඒ සඳහා දායක වූ හේතු කිහිපයකි. මේ සියල්ල හරහා කථානායකවරයා වෙනස් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණ අතර, ආණ්ඩු පාර්ශ්වයෙන් ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේය.
පාර්ලිමේන්තුවේදී අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසූයේ කථානායකවරයාගේ තීන්දුවට කිසිදු විරෝධයක් නොදැක්වූ බවයි.
එසේ වුවද එහිදීම මාධ්‍යයට අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පැවසූයේ මෙවැන්නකි.
''කථානායකවරයාගේ සමහර තීන්දු සමග අපි එකඟ නොවෙන්න පුළුවන්. නමුත් එතුමාගේ නියෝග අපි පිළිපදින්න අවශ්‍යයි. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්රදාය. නමුත් මේ දේ කියන්නම අවශ්‍යයි. පාර්ලිමේන්තුවේදී අපිට අසාධාරණ ලෙස තීන්දු ලැබෙනවා. ආණ්ඩු පක්ෂයේ නිසා අපි අත උස්සලා කතා කරන්න අවස්ථාව ඉල්ලුවට අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ.
නමුත් ඒකාබද්ධ විපක්ෂය දිගින් දිගටම බාධා කරද්දි කථානායකතුමා අවස්ථාව දෙන එක අපිටත් ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුවේ සාමකාමී වාතාවරණයක් අපේක්ෂාවෙන් එතුමා එහෙම කරනවද දන්නෙ නැහැ. නමුත් මේක දැන් පුරුද්දකට ගිහිල්ලා. කථානායකතුමත් මීට වඩා රීතීන් ක්‍රියාත්මක කරලා පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යන්න උත්සාහයක් දැරිය යුතුයි කියා මම හිතනවා.''
කවදාවත් සම්පූර්ණ අස්වැන්න ගන්නේ නැහැ
වී මිලදී ගැනීමේ කතාව යළිත් කරළියට පැමිණෙමින් තිබේ. මහ කන්නයේ වී මිලදී ගැනීමේදී වී මෙට්‍රික් ටොන් 73,500ක් දිස්ත්‍රික්ක 17 ආවරණය වන පරිදි මිලදී ගැනීමට ආණ්ඩුව සැලසුම්කර තිබේ.
නමුත් මේ වසරේදී වී මෙට්‍රික් ටොන් මිලියක 1.32ක් සම්පූර්ණ අස්වැන්න ලෙස අපේක්ෂා කරන අතර, මිලදී ගන්නා ප්‍රමාණය අඩුවීම තුළ ගොවීන් මෙවරද අපහසුතාවයට ලක්විය හැකි බව කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් පෙන්වාදෙන්නට විය.
එයට පිළිතුරු ලබාදුන්නේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාය.
''වී මිලදී ගැනීමේදී සම්පූර්ණ නිෂ්පාදනය කවදාවත් ආණ්ඩුව මිලදී ගන්නේ නැහැ. සම්පූර්ණ නිෂ්පාදනයෙන් කොටසක් තමයි මිලදී ගන්නේ. ඒ මිල ස්ථාවර කර ගැනීම සඳහායි. ගියපාරත්, ඊට කලින් වතාවෙත් මිනිස්සුන්ට පෝලිම්වල ඉන්න වුණා. ඒකට යෝජනාවක් ආවෙ නැද්ද කැබිනට් එකේදි.
වී මිලදී ගැනීමේදී සාමාන්‍ය පුරවැසියන්ගේ අනිකුත් කටයුතු වලට රජය විදයම් කරන මුදල් සම්පුර්ණයෙන් වියදම් කළොත් රටේ සමතුලිතතාවයක් ඇතිකරගන්න බැහැ. ඒ නිසා යම් ප්‍රමාණයකින් තමයි වී මිලදී ගන්නේ''
රුවන්ට රණවිරුවන්ගේ ප්‍රසාදය
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජය වර්ධනයන්ගේ සංකල්පයක් අනුව සංවිධානය කළ උදිත් නාරයන් සංගීත ප්‍රසංගය පසුගිය ශනිදාවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවන් අන්දමින් පැවැත්විණ.
ගාලු මුවදොර පිටිය වැසී යන තරමේ ජනකායක් මේ සඳහා සහභාගී වී සිටි අතර, මෙම ප්‍රසංගයේ ඉදිරිපෙළ අසුන් රණබිමේ සටන් වැද ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් වෙන්කර තීබීම කාගේත් කතාබහට ලක්විය.
රණවිරුවන් 10,000ක් සඳහා ප්‍රසංගයේ ඉදිරිපෙළ අසුන් වෙන්කර තිබූ අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 60ක ටිකට්පත් ඔවුන්ට නොමිලේ ලබාදී තිබුණි. ප්‍රසංගයට පැමිණි මැති ඇමතිවරුන් මෙන්ම සියලුදෙනාගේම විශේෂ අවධානයට ලක්වූයේ ඇමති රුවන්ගේ මෙම ක්‍රියාව පිළිබඳවයි.
එමෙන්ම ප්‍රසංගය අවසන් වනතුරුම රුවන් විජයවර්ධන එහි රැඳී සිටි අතර, ප්‍රසංගය අවසානයේදී රණවිරුවෝ ඇමතිවරයාට විශේෂ ස්තූතියක් පුදකර සිටියේ මෙය ස්වර්ණමය අවස්ථාවක් බව පවසමිනි. එමෙන්ම පසුගිය අඟහරුවාදා දිනයේදී ඇමති රුවන් රණවිරුන් වෙනුවෙන් තවත් කටයුත්තකට මුලපිරුවේය.
ඒ පෞද්ගලික අංශය සමග එක්ව රණවිරුන්ගේ නිවාස සාදා දීමේ ව්‍යාපෘතියක් සඳහාය. ඒ සඳහාද බොහෝ ආයතන ඉදිරිපත් වීම නිසාවෙන් එය ඉතා ඉක්මනින් ආරම්භ කීරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සියල්ලන්ට පැවසීය.
විමල්ගේ පොත් ලෑස්තියි
මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඩ්ගතව සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මේ දිනවල පොත් කිහිපයක් රචනා කිරීමේ කටයුත්තකට අත ගසා තිබේ. 'රටට උවමනා වම' නමින් පිටු 200කට වැඩි කෘතියක් දැනටමත් රචනාකර අවසන්ය. වම, නව ලිබරල්වාදය, ජාතිකවාදය සම්බන්ධ කරගත් දාර්ශනික ප්‍රවේශයක් එමගින් කතා කරයි. සාහිත්‍යශූරී ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ පෙරවදනක් සහිතව අකුරු අමුණා, පිටු සැලසුම්කර අවසන්කර ඇති මෙම කෘතිය ඉදිරි දින කිහිපයේදී මුද්‍රණයට යොමු කිරීමට නියමිතය. ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයෙකු පසුගිය සඳුදා මැගසින් බන්ධනාගාරයට ගියේ විමල් වීරවංශ මුණගැසී කෘතියේ අවසානය පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
දැනට අකුරු අමුණා ඇති කෘතියේ පිටපතක් රැගෙන බන්ධනාගාරයට ගිය නියෝජිතයාගෙන් කෘතිය ඉල්ලාගත් විමල් එය පෙරළා බලා තවත් ඇතුළත් කළයුතු සහ වෙනස්කම් සිදුකළ යුතු තැන් කිහිපයක් පෙන්වීය.
''පොතේ තව වෙනස් කරන්න ඕන තැන් තියෙනවා. පිටු සැලසුම් තව ටිකක් වෙනස් කරන්න වෙයි. දැන් තියෙන පිටකවරය තව ටිකක් වෙනස් කරන්න. ඇතුළෙ පිටුවලට තව පින්තූර ටිකක් එකතු වුණොත් හොඳයි. මං එළියට ආපු ගමන් එළිදැක්වීමේ වැඩේ කරන්න සූදානම් වෙන්න. අනිත් පොත් දෙකේ වැඩ ටිකත් ඉක්මනට ඉවර කරගන්න බලමු'' යනුවෙන් විමල් කියා සිටියේය.
විමල් වීරවංශ විසින් 'යදමින් බැඳි අක්ෂර' නමින් තවත් කෘතියක පිටු 413ක් ලියා අවසන්කර තිබේ. සිරගෙදර ජීවිතයේ ලත් අත්දැකීම් ඇසුරු කරගෙන එම කෘතිය ඔහු රචනා කර තිබේ. ඊට අමතරව විමල් වීරවංශ විසින් ලියන ලද පුවත්පත් තීරු ලිපි එකතුකර තවත් කෘතියක් සකස් කිරීමද අරඹා තිබෙන අතර, එම කෘතීන් එළිදැක්වීම සඳහා ජාතික නිදහස් පෙරමුණ විශේෂ අවධානයක් යොමුකර තිබේ.
මේ අතර %විරුවන්ගේ විත්ති වාචිකය^ එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණේ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදීය. යුද අපරාධ සිදුකළ බවට චෝදනා ලබා ඇති රණවිරුන්ගේ නිර්දෝෂීභාවය ජිනීවා මානව හිමිකම් සැසියේදී ඔප්පු කිරීම සඳහා එම වාර්තාව සකස්කර ඇත්තේ ජාතික සංවිධාන සම්මේලනය විසිනි.
එහි කතුවරයා ලෙස කටයුතු කළේ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපති කාර්යාල නියෝජිතයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙහිදී ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුපසට වන්නට වාඩි වී සිටියහ.
උත්සවය ආරම්භ වී මඳ වේලාවක් යනවිට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂාන් ප්‍රේමරත්න එම ස්ථානයෙන් ඉවත්ව ගියහ. ජාතික නිදහස් පෙරමුණේ මතය නියෝජනය කරන ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කර තිබුණු මෙම උත්සවයේදී එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පසු පෙළ ආසන පිරිනැමීමෙන් සිත්තැවුලට පත්ව ඉවත්ව ගිය බවට උත්සව සභාවේ කසුකුසුවක් පැතිර ගියේය.
ඒකාබද්දේ පොඩ්ඩෝ දෙපැත්තක් ගැන බියෙන්
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මෙහෙයුම් කාර්යාලයට ඒකාබද්ධ විපක්ෂය සමග සිටින පළාත් පාලන ප්‍රධානීන් පිරිසක් පසුගිය සති අන්තයේ කැඳවා තිබුණි. බැසිල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, කුමාර වෙල්ගම ඇතුළු කණ්ඩායමක්ද මෙම අවස්ථාවට පැමිණ සිටියේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමටය. පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන ආසන මට්ටමින් හා ගම් මට්ටමින් සංවිධාන කටයුතු සිදුකරන ආකාරය මෙහිදී අවධානයට ලක්විය. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල මෙහිදී අදහස් දක්වමින්,
''සමහරු දෙපැත්තටම කකුල් තියාගෙන ඉන්නවා. ඊළඟ මැතිවරණයට අපි වෙනම තරග කරනවා නම් දැන් ඉඳලම අපේ අපේක්ෂක කණ්ඩායම හදලා ජනතාව අතරට ගෙනියන්න ඕන. මේ විදියට දෙපැත්තේ අඩිය තියාගෙන ඉන්න අය හින්දා ප්‍රශ්න මතුවෙන්න පුළුවන්'' යැයි කීවේය.
ගම්පහ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුනිල් ගුණවර්ධන අදහස් දක්වමින්,
''ඔව් ඒක ඇත්ත. අපි මහින්ද මහත්තයා පරාද වුණු දවසේ ඉඳලම එක එක කරදර විඳින ගමන් මහින්ද මහත්තයා වෙනුවෙන් වැඩ කළා. හැබැයි අද මෛත්‍රීපාල එක්ක ඉන්න සමහරුන්ට දිනන්න බැරි නිසා ආපහු මහින්ද මහත්තයාගේ පැත්තට එන්න පටන් අරන් තියෙනවා. එහෙම වුණාම මෙච්චර කාලයක් අපි කරපු කැපකිරීම්වලට මොකද වෙන්නේ?'' යැයි දැඩි ස්වරයෙන් කියා සිටියේය.
මෙහිදි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අදහස් පලකරමින්
''නෑ නෑ එහෙම වෙන්නෙ නැහැ. මම පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ වැඩ ටික ඉස්සරහට බලනවා. එහෙම දෙපැත්තේ කකුල් දෙක තියාගෙන ඉන්න අයට චාන්ස් එකක් දෙන්නෙම නෑ. ඔයාලා ඒ ගැන බයවෙන්න එපා'' යැයි පැවසීය. ඉන් අනතුරුව ප්‍රසන්න රණතුංග අදහස් දක්වමින්
''ඔයගොල්ලො තමයි 2005 ඉඳලා අද වෙනකම්ම මහින්ද මහත්තයා එක්ක හිටියේ. ඒ නිසා අපි ඔයාලව ආරක්ෂා කරගෙන තමයි ඉස්සරහට යන්නේ'' යනුවෙන් පවසා සිටියේය.
ජෝන්, බැසිල්, නිමල් රහස් කතා කළේ මොනවාද?
කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්නගේ නැන්දම්මාගේ අවමඟුල පැල්මඬුල්ලේ අමාත්‍යවරයාගේ නිවසේ පැවැත්විණ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂද දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගිය ඉරිදා රාත්‍රියේ එම නිවසට පැමිණියේය. බැසිල් රාජපක්ෂ එහි එන විට ඒකාබද්ධ විපක්ෂයේ රංජිත් සොයිසා, ජානක වක්කුඹුර, පවිත්‍රා වන්නිආරච්චි යන අයද පැමිණ සිටියහ. එම අවස්ථාවේදීම ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද දේහයට ගෞරව දැක්වීම සඳහා පැමිණියේය.
අනතුරුව බැසිල් රාජපක්ෂ, නිමල් සිරිපාල සහ ජෝන් සෙනෙවිරත්න පැය භාගයක් පමණ කාලයක් වෙනමම සාකච්ඡා කළ අතර, ඒ වන විට අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් එම ස්ථානයෙන් ඉවත්ව සිටියහ. සාකච්ඡාවෙන් පසුව තිදෙනා එළියට එනවිට රංජිත්ද සොයිසා මන්ත්‍රීවරයා නිමල් සිරිපාල දෙසට හරෙමින්, ''එහෙනම් හරි නේද සර්?'' යනුවෙන් පැවසීය.
එවිට නිමල් සිරිපාල කිසිවක් නොකියා සිනහවකින් පමණක් පිළිතුරු ලබාදී එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.
රණතුංග සහෝදරයන්ගේ නිමක් නැති අර්බුධ
උඩුගම්පල සද්ධර්මගුප්ත පිරිවෙන් විහාරස්ථානය රණතුංග පවුලේ සාමාජිකයන් ආ ගිය ස්ථානයකි. ඔවුන් දහම් පාසල් ගොස් තිබුණේද මෙම විහාරස්ථානයටය. අර්ජුන රණතුංග ඇමතිවරයා පසුගිය පොහෝදා එම විහාරස්ථානයට ගියේ ආගමික උත්සවයකට සහභාගී වීමටය. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු නායකත්වය සඳහා දිනේෂ් ගුණවර්ධන වෙනුවට ඩලස් අලහප්පෙරුම පත්කිරීම ගැන එහිදී මාධ්‍යවේදියෙකු ඇමතිවරයාගෙන් විමසීය.
''ඩලස් කියන්නේ ලංකාවේ පදිංචියක් නැති කෙනෙක්. ප්‍රසන්නලා වැනි ජනපදනමක් තියෙන අය සිටියදී ඩලස් පත්කරන්න ගියේ ඇයි?'' යනුවෙන් අර්ජුන උත්තර දුන්නේය. මේ අවස්ථාව වනවිට ප්‍රසන්න රණතුංග සිටියේ ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සංචාරයක නියැළෙමිනි. එහිදී මෙල්බන් නුවර සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ප්‍රසන්න හමුවීමට අවස්ථාවක් ලබාගත්තේය. 14 වැනිදා පැවති එම හමුවේදී අර්ජුනගේ ජනපදනමක් ඇති මන්ත්‍රී කතාව ගැන ශ්‍රී ලාංකික පිරිස ප්‍රසන්නගෙන් විමසා සිටියේය. මේ වන විට අර්ජුන කියූ කතාව ප්රසන්නටද ආරංචි වී තිබුණි.
''එක එක අය ඒකාබද්ධ විපක්ෂය කොටවන්න හදනවා. අර්ජුන අයියා මැතිවරණය කාලේ කිව්වෙ මට ජනපදනමක් තියෙනවා කියල නෙවෙයි. මට දෙන ඡන්දෙ අපරාදෙ කියලා. හැබැයි දැන් ඔය කතාව කියන්නේ මට ආදරයට නෙවෙයි. අපිව කොටවන්න බලාගෙන. අපිව කොටවන්න ඒ අය ගාව තියෙන තුරුම්පු මදි. මමත් හොඳට තෙම්පරාදු වුණු කෙනෙක්'' යනුවෙන් ප්‍රසන්න කියාගෙන ගියේය.
අනුරගේ ගුණ සමරුවට මහින්දගේ උනන්දුව
පසුගිය 16 වැනිදා නිට්ටඹුවේ විද්‍යානන්ද පිරිවෙනේ අනුර බණ්ඩාරනායක 09 වන ගුණසමරුව පැවැත්විණි. එහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය. අනුර බණ්ඩාරනායකයන්ගේ උපන් දිනය යෙදෙනුයේ පෙරවාරි 09 වනදාටය. අනුර සමග එකල වසන්ත නම් මිතුරෙකු ළඟින් සිටියේය. අනුර මියගිය පසුව ඔහුගේ උපන් දිනය සහ මියගිය දිනය සමරා සෑම වසරකම වසන්ත නිට්ටඹුවේ විද්‍යානන්ද පිරිවෙනේ විශේෂ පිංකමක් පැවැත්වීය. පෙබරවාරි 09 වැනිදා තිබූ පිංකමට අත්තනගල්ල හිටපු සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාරද සහභාගී විය. මෙම සිද්ධිය පුවත්පත්වල ප්‍රවෘත්තියක් ලෙස පළවූ විට මහින්ද රාජපක්ෂ එය දැක කීවේ,
''බලන්න ඔක්කොම අනුර අමතක කරලා දාලා. මාර්තු 16 එයා නැති වුණේ. එදාට හොඳ පිංකමක් සූදානම් කළා නම් හොඳයි. වටිනපහ සෝමානන්ද හාමුදුරුවනේ මේක පොඩ්ඩක් බලලා කරන්න'' යනුවෙනි.
එවිට වටිනපහ සෝමානන්ද හිමියන් ප්‍රියන්ත, වසන්ත, සරණ ගුණවර්ධන යන අයට කතාකර මේ ගැන සඳහන් කළවිට ඔවුන් එයට එකඟතාවය පළකර තිබුණි. නමුත් ටික දිනක් යන විට වැඩේ බාරගත් අයගේ කාර්යබහුලත්වය නිසා පිංකම අමතකව ගියේය. මහින්ද රාජපක්ෂ යළිත් වරක් වටිනපහ සෝමානන්ද හිමියන්ට කතා කළේය. සෝමානන්ද හිමියන්ට පිංකම මතක් වූයේ එවිටය. ප්‍රියන්ත පුෂ්පකුමාර සහ වසන්ත වැඩේ බාර ගත්තේය. ඒ අනුව මෙම පිංකම සංවිධානය විය.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය 12 වැනිදා පෝය දිනයේ සිටියේ තංගල්ල කාල්ටන් නිවසේය. තංගල්ල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථාන කිහිපයක පැවති ආගමික වැඩසටහන්වලට සහභාගී වීමටද හිටපු ජනාධිපතිවරයා කාලය වෙන් කරගෙන තිබුණි. බැඳුම්කර සිදුවීමට අදාළව දැනට මතුව ඇති තත්ත්වය පිළිබඳව ඒ සෑම අවස්ථාවකදීම අවධානය යොමු කරවීමට මහින්ද රාජපක්ෂ අමතක නොකළේය.
දෙපැත්තේ කඹ ඇදිල්ල
මධ්‍යම රජය සහ පළාත් සභා අතර සීතල යුද්ධයක් ඇති අතර ඇතැම් පළාත් තුළ මෙම තත්ත්වය ඉතා උණුසුම් වී ඇත. ඇතැම් පළාත් යහපාලන ආණ්ඩුවට විරෝධතාවයක් දක්වන අතර, වයඹ පළාත තුළ මෙම තත්ත්වය දරුණුවටම දක්නට ලැබේ. ආණමඩුව කන්නංගර විද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය පසුගියදා පැවැත්වුණු අතර, එහිදීද මෙම තත්ත්වය දක්නට ලැබුණි.
උදෑසන 10ට උත්සවය ආරම්භ වීමට නියමිතව තිබුණත්, එය පැයකින් කල් දැමීමට සංවිධායකයන් තීරණය කර සිටියේ වයඹ පලාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂගේ පැමිණීම තවත් පැයකින් ප්‍රමාද වන බවට හදිසියේ ලැබුණු දුරකථන ඇමතුමකට අනුවයි. ඒ අනුව උත්සවයට පැමිණෙමින් සිටි පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයාට හා ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයාට සංවිධායකයන් දැනුම් දුන්නේ උත්සවයේ සංවිධාන කටයුතු අවසන්ව නොමැති බැවින් තවත් පැයක කාලයක් ප්‍රමාද වී පැමිණෙන ලෙසයි.
පැයක් පමණ ප්‍රමාද වී නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා ආණමඩුව කන්නංගර විද්‍යාලයට පැමිනුණද ඒ වන විට සංවිධායකයන් පැවසුවේ මේ දක්වා පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ නොපැමිණි බැවින් සමරු ඵලකය විවෘත නොකර උත්සව සභාව ආරම්භ කිරීම උචිත බවයි. පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රමාදය උත්සව සභාව කල් දැමීමට හේතුවූ බව පසුව රංගේ බණ්ඩාර ඇමතිවරයාට මෙන්ම ප්‍රියංකර ජයරත්න මන්ත්රීවරයාටද වැටහී ගියේය.
සංවිධායකයන්ගේ මෙම තීරණයට විරෝධය දැක්වූ රංගේ බණ්ඩාර අමාත්‍යවරයා මෙන්ම ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයාද කියා සිටියේ තවත් බොහෝ රාජකාරී ඇති බැවින් පැමිණ සිටින අයගේ ප්‍රධානත්වයෙන් උත්සව සභාව ආරම්භ කළයුතු බවයි. ඒ අනුව උත්සව සභාව ආරම්භ කෙරුණේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර විසින් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුවයි.
අමාත්‍යවරයාගේ කතාව අවසන් වී උත්සව සභාවේ නිමාව සනිටුහන් වෙද්දී වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ එම ස්ථානයට පැමිණියේය. ඒ වන විට උත්සවය සංවිධාන කළ සංවිධායකයන්ද දක්නට නොසිටියෙන් පළාත් අමාත්‍යවරයා ඔවුන් සොයන්නට විය.
වේදිකාවෙන් නැගී සිටි අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, සන්ධ්‍ය රාජක්ෂ මහතා හමුවේ පැවසුවේ ''අපි යන්න කියලා'' යනුවෙනි. ඔවුන්ගේ පිටව යාමෙන් පසුව අවසානයේදී නැවතත් සමරු ඵලකය නිරාවරණය කිරීමේ වැඩපිළිවෙළක්ද දියත් වූවේ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂගේ බලවත් ඉල්ලීම මතය.
එයාට මීමැස්මොරේ හැදිලා
නව ව්‍යවස්ථා සම්පාදනයක් වෙනුවෙන් වූ
අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරයේ පළමු ජනහමුව බදාදා පැවැත්වූයේ කොළඹ පදනම් ආයතනයේදීය.
පුරවැසිබලය විසින් සංවිධානය කර තිබූ මෙම හමුව සඳහා සිවිල් සංවිධාන නියෝජිතයන් මෙන්ම හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක, අමාත්‍ය සරත් ෆොන්සේකා ද සහභාගී වූහ.
බිටෝ ප්‍රනාන්දු සභාව අමතා අවසන් වන අවස්ථාවේ හිටපු ජනපතිනිය උත්සවයට පැමිණි අතර, ජනරංජන විසින් ඇයව පිළිගන්නා බව ප්‍රකාශ කළ විට සභාවෙන් අත්පොළසන් සමග හූ හඬක්ද ඇසෙන්නට විය.
එය නැසුණාක් මෙන් සංවිධායකයෝ කටයුතු කළද දිගින්දිගටම එක් පුද්ගලයෙක් හූ කියන්නට විය. ඒ අවස්ථාවේදී ඔහු සභාවට සුදුසු නැති බව පවසමින් සභාවෙන් ඉවත්වන ලෙස ඔහුට පැවසුවද හෙතෙම සභාවෙන් ඉවත් නොවූයෙන් අවසානයේදී එම පුද්ගලයා ඔසවා සභාවෙන් පිටතට ගෙනයාමට සංවිධායකයන්ට සිදුවිය.
ඉන්පසුව සභාව අමතමින් දඹර අමිල හිමියෝ පැවසුවේ එම පුද්ගලයාට මීමැස්මොරය රෝගය සෑදී ඇති බැවින් ඔසවාගෙන ගිය බවය. පසුව සරත් විජේසූරිය සභාව ඇමතූ අතර, හෙතෙම 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනයේ ඇතැම් වගන්තිද හුවා දක්වමින් සිය කතාව පැවැත්විය. චන්ද්‍රිකා සිනහ වෙමින් එය අසා සිටියාය.
දේශනය අවසන් වූ සැනින් හිටපු ජනපතිනිය එම ස්ථානයෙන් පිටත්ව ගිය අතර, ඒ සමගම සරත් විජේසූරියද ඇය පිටුපසින් හදිසියෙන් මෙන් පිටතට ගියේය.
ෆොන්සේකාගේ පුරුද්ද
මධ්‍යම පළාත් විපක්ෂ නායිකා රේණුකා හේරත්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නුවරඑළියේ වළපනේ පිහිටි ඇගේ නිවසට ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් හෙලිකොප්ටරයකින් ගිය අතර, ඇමතිවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලත, සරත් ෆොන්සේකා, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ ඇතුළු කණ්ඩායමක් ඒ අතර විය.
අවමංගල්‍ය උත්සවයට සහභාගී වී ආපසු ඒමට හෙලිකොප්ටරයට නැගීමට පෙර අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අත වනන්නට විය. නමුත් ඒ අවස්ථාවේදී කිසිවකු ඒ දෙස බලා නොසිටි බැවින් අනිකුත් අමාත්‍යවරුන් සිනහසෙන්නට විය.
ඒ අවස්ථාවේදී අමාත්‍ය සුජීව සේනසිංහ පැවසුවේ, ''ෆොන්සේකා ඇමතිතුමාගේ පුරුද්ද තාමත් තියෙනවා වගේ.
ඉස්සර වැලිකඩ ඉඳලා උසාවි එද්දිත් කවුරුත් හිටියත් නැතත් අත වැනුවනේ''
ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ
ආණ්ඩු පක්ෂ කාර්යාලයේ සේවකයකුගේ පිංකමක් හෝමාගමදී පැවැත්වුණ අතර, ඒ සඳහා බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි, හිටපු නගරාධිපති
බුද්ධධාස ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පිංකමින් පසුව පිරිස එක්වී කතාබහ කරන්නට වූ අතර, ආණ්ඩුව වෙනස් වේවිද යන්න බොහෝදෙනාට ප්‍රශ්නයක් වී තිබුණි.
එයට පිළිතුරු දුන්නේ ගාමිණී තිලකසිරි පළාත් අමාත්‍යවරයායි.
''ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ. අපි මෛත්‍රී ජනාධිපතිතුමා එක්ක ඉන්නවා. මහින්ද මහත්තයට අවශ්‍ය වෙලා තියෙන්නේ ඉක්මණින් ආණ්ඩුව වෙනස් කර ගන්න. ඒ උනත් අපි ඒකට ඉඩදෙන්නේ නැහැ''
පසුව බස්නාහිර පළාත් සභාව පිළිබඳ සියල්ලන්ගේ අවධානය යොමු වූ අතර, ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියගේ ක්‍රියාකලාපය අවුල්සහගත බව එහි සිටි බොහෝදෙනා කියන්නට විය.
මේ තමයි යහපාලනය
විදේශ රැකියා අමාත්‍යාංශය මගින් හඳුන්වාදුන් ශ්‍රමික සුරැකුම වැඩසටහන යටතේ ජංගම වැඩසටහන් කිහිපයක් දුර බැහැර ප්‍රදේශවල පැවතුණේ ඇමතිනී තලතා අතුකෝරාළ හා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර ඇතුළු විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙනි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මෙම ශ්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහනට සුපුරුදු පරිදි අමාත්‍යවරිය හා නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී වූහ.
විෂය භාර ඇමතිනී එක්සත් ජාතික පක්ෂය සහ නියෝජ්‍ය ඇමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වීමත් මෙහි සුවිශේෂත්වයක් විය. නමුදු දෙදෙනා සහයෝගයෙන් වැඩ කරන ආකාරය එතැනට පැමිණ සිටි පක්ෂ දෙකේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ට විශේෂ අත්දැකීමක් විය.
කෙසේවෙතත් වැඩසටහන අවසානයේ යූ.ඇන්.පී. ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් තමන් මුහුණදෙන ගැටලු පිළිබඳ කෙටි සාකච්ඡාවකට පැමිණෙන ලෙස තලතා අතුකෝරාළට ආරධනා කළ අතර, එම ආරාධනය පිළිගත් අමාත්‍යවරිය ශාලා පරිශ්‍රයේ අදාළ සාකච්ඡාව පැවැත්වූයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ශාලාවෙන් පිටතට යැවීමෙන් පසුවයි.
සාකච්ඡාවෙන් පසු ශාලාවෙන් පිටතට පැමිණි අමාත්‍යවරිය ඇතුළු පිරිස දුටුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එළිමහනේ අඹ ගසක් යට නියෝජ්‍ය අමාත්‍යවරයා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් පත්වන ආකාරයයි.
මෙය දුටු අමාත්‍යවරියගේ මුවින් එක්වරම
''යූ.ඇන්.පී ය ඇතුළේ සාකච්ඡා, නිදහස් පක්ෂය එළියේ සාකච්ඡා.'මේක තමයි යහපාලනය'' යනුවෙන් පිටවූ අතර, ඒ සමගම දෙපක්ෂයේම සාමාජිකයන් පක්ෂ භේද පසෙකලා සිනහසෙන්නට විය.
දියවන්නා රාළ විසිනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd