Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
අගමැතිතුමා කියනවනම් මම යන්නම්
සඳුදා පස්වරුවේ අරලියහ මන්දිරයේදී පැවති ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට පස්වරු පහ පමණ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලෝම පැමිණි අතර, අගමැති රනිල් පැමිණි පසුව එය ආරම්භ විය. මෙහිදී මන්ත්‍රී ආශු මාරසිංහ නැඟිට රතන හිමි බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වූ රැස්වීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරන්නට විය.
''රතන හාමුදුරුවෝ එතැනදි කියල තියෙනවා යුඑන්පී එක පැරදුණ පක්ෂයක් කියලා. අපි පැරදිලා නැහැ. රතන හාමුදුරුවන්ට පාර්ලිමේන්තු යන්න ලැබුණෙත් යුඑන්පීය නිසා. ඒ නිසා ඒ කියපු දේ වැරදියි.''
එය අසා සිටි සරත් ෆොන්සේකා සහ රාජිත අමාත්‍යවරු පවසන්නට වූයේ
''යුඑන්පී පක්ෂය පැරදිලා නැහැ... ජනාධිපතිතුමා බලයට ගේන්න පුළුවන් උනෙත් යුඑන්පී එක නිසා... මේ ගැන අපි හිතන්න ඕන... ප්‍රශ්න ඇතිවෙන්නෙ නැති විදිහට වැඩකරගන්න මේ වෙලාවේ..''
ඔවුන් එසේ කියනවිට ගයන්ත කරුණාතිලක, අජිත් පී පෙරේරා අමාත්‍යවරුන් ආණ්ඩුවේ හොඳ සහ නරක කියන්නට වූ අතර, එවිට නැගී සිටි රතන හිමියෝ,
''අගමැතිතුමා කියනව නම් මම මන්ත්‍රී ධුරයෙන් අස්වෙන්න ලැස්තියි'' කීහ.
එවිට අගමැතිවරයා පැවසුවේ
''අපි ජාතික ආණ්ඩුවක් හැදුවෙ මොකටද කියල කවුරුත් මතක තියාගන්න එක හොඳයි... කවුරුත් පරිස්සමින් වැඩ කරන්න..''
මෙම රැස්වීමට අමාත්‍ය පාඨලී චම්පිකද සහභාගි වී සිටි අතර, මෙහිදී ඔහු වචනයක් හෝ කතා නොකිරීමද විශේෂත්වයක් විය.
රණවිරුවන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියෝ පුස්තකාල සේවා මණ්ඩලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ පසුගිය අඟහරුවාදය.
එහිදී මාධ්‍යවේදීන් විවිධ ප්‍රශ්න උන්වහන්සේට යොමු කළ අතර, ඇතැම්විට උන්වහන්සේ ලබාදුන් පිළිතුරු පරස්පර විය.
රතන හිමියන් වෙත යොමුකරන ඇතැම් ප්‍රශ්නවලට උන්වහන්සේගේ නීතීඥයා යැයි කියාගන්නා අයෙක් පැන පැන උත්තර දෙන්නට විය.
මාධ්‍යවේදීන් - ඔබතුමාගෙන් නෙවෙයි ඇහුවෙ හාමුදුරුවන්ගෙන්
පුද්ගලයා - නෑ මම තමයි හාමුදුරුවන්ගේ නීතිඥයා
මාධ්‍ය හමුවෙන් පසුව එම පුද්ගලයා පිටතට කැඳවාගෙන ගොස් රතන හිමියෝ පැවසුවේ
''මම ඔයාට හැමදාම කියල තියෙනවනේ ඉවසන්න කියලා. පොඩ්ඩක් ඉවසලා ඉන්න තිබුණනේ... නැත්නම් මේ වැඩේ තිබ්බ එකේ වැඩක් වෙන්නෙ නැහැ. ඔයා කෑ ගැහුවොත් ටීවී එකේ යන්නෙ අපිට ඕන දේ නෙවෙයි''
රතන හිමියෝ එසේ පැවසුවද මාධ්‍යවේදීන් තේ පානය කරමින් සිටි ස්ථානයට පැමිණ එම පුද්ගලයා ''කවුරු මොනවා කිව්වත් මගේ නිවුස් එක තමයි අද යන්නේ'' යැයි උදම් අනමින් පැවසුවේය.
චීන යන්න පොරකනවා
රජයට හිතවත් වෘත්තීය සමිති කිහිපයක් සඳහා චීනයේ සංචාරය කිරීමට අවස්ථාව ලැබී ඇති අතර, ඒ සඳහා දසදෙනෙකුට අවස්ථාව ලබාදීමට හැකි බව සංවිධායකයෝ දන්වා තිබුණි.
මෙම චීන සංචාරයට වෘත්තීය සමිති නායකයන් තෝරා ගැනීමේදී හෙද, තැපැල්, දුම්රිය සේවාවන්ට සම්බන්ධ පුද්ගලයෙක් තමන්ගේ ක්ෂේත්රයේම දසදෙනක් මේ සඳහා නම්කර තිබීම හේතුවෙන් මත ගැටුමක් ඇතිවී තිබේ. මේ හේතුවෙන් ජාතික වෘත්තීය සමිති සන්ධානයේ සමිති අතර බරපතළ මත ගැටුමක් මේ වන විට පවතී.
තෝරාගත් පිරිස අතර විශ්‍රාමිකයකු පවා සිටින අතර, මේ සඳහා බස් සම්බන්ධ වෘත්තීය සමිති නායකයෙක් සිය විරෝධය පළකර තිබේ. කෙසේවෙතත් මෙම දසදෙනා තේරූ හෙද වෘත්තීය සමිති නායකයාට සියලු ක්ෂේත්‍ර මේ වන විට චෝදනා කරන අතර, ඔහු පවසන්නේ මෙම සංචාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයකින් ප්‍රතිපාදන ලැබුණු බවත්, සාධාරණව තේරීම් කළ බවත්ය.
අප්පෝ මට මෙතන සුදුසු නැහැ
මෙවර ආර්ථික කළමනාකාර කැබිනට් අනුකාරක සභාව අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සරත් අමුණුගම ඇතුළු සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කාරකසභා කාමරයකදීය. එමෙන්ම උසස් නිලතල පිළිබඳ කාරක සභාවද ඊට යාබද කාරක සභා කාමරයේ පැවැත්විණ. උසස් නිලතල කාරක සභාවේ සාමාජික බිමල් රත්නායක මහතාද එයට සහභාගී වීම සඳහා තරමක් ප්‍රමාද වී පැමිණි අතර, කාමර අංකය වැරදී ඔහු ඇතුළු වූයේ ආර්ථික කළමනාකරණ අනුකාරක සභාව පැවැත්වෙන කාමරයටයි.
අගමැතිවරයා එහි හිඳිනු දුටු බිමල් මන්ත්‍රීවරයා විමසුවේ
''අද අගමැතිතුමත් උසස් නිලතල කාරක සභාවට ආවද?''
''නැහැ නැහැ.. මේක ආර්ථික කමිටුව''
''ආ එහෙමද ? එහෙනම් මම ඉක්මනට යන්නම්... මට මෙතන ගැළපෙන්නේ නැහැ'' යැයි පවසමින් මන්ත්‍රීවරයා ඉතා ඉක්මනින් පිටතට පැමිණුනි.
ප්‍රදර්ශනයට තියන්නම් එයා හොඳයි
ජාත්‍යන්තර වෙසක් දිනය සැමරීම වෙනුවෙන් මේ දිනවල රජය මෙන්න විවිධ ක්ෂේත්‍ර ලහි ලහියේ සූදානම් වෙයි. මේ අතර ත්‍රිපිටකය පටිගත කර සංයුක්ත තැටිගත කිරීමේ කටයුත්ත පසුගිය අඟහරුවාදා ටාජ් සමුද්‍ර හෝටලයේදී ආරම්භ කෙරිණි.
ත්රිපිටයකය හඬකැවීමේ මෙහෙයුම් කමිටුව මෙදින රැස්කරවූයේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.
ත්රිපිටකට හඬ මුසුකිරීමේ වැඩසටහන ජාත්‍යන්තරයට ගෙන යායුතු බැවින් ඒ සඳහා සුදුසුම පුද්ගලයකු එහි සභාපති ලෙස පත් කරගත යුතු බව කමිටුවේ ලේකම් පූජ්‍ය අම්බුළුගල සුමංගල හිමියෝ සභාවට පැවසීය.
එහිදී අයෙක් පැවසුවේ ''විදේශ ඇමති මංගල සමරවීර මහත්තයා මේ කමිටුවට පත් කර ගත්තොත් හොඳයි නේද? තනාපති සම්බන්ධතාවයත් තියෙන නිසා මේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් වෙයි''
මහාබෝධි සමාගමේ අධ්යක්ෂ බානගල උපතිස්ස හිමියෝද මෙම කතාව අසාගෙන සිටි අතර, උන්වහසේ එයට එකඟ වූයේ නැත.
''වැඩක් භාරදුන්නම ඒක කරන්න පුළුවන් අයත් ඉන්නවා, බැරි අයත් ඉන්නවා... මංගල සමරවීර මහත්තයට මේ සභාපතිකම දුන්නොත් ඔටුන්නක් ඔළුවට දැම්මා වගේ ඉදිවී... හැබැයි අපේ වැඩේ වෙන්නෙ නැහැ''
''මට කියන්න කවද්ද මංගල සමරවීර ඇමතිතුමා බුද්ධාගම වෙනුවෙන් මේ වගේ වැඩක් කරල තියෙන්නේ කියලා''
ආණ්ඩු පෙරළනව වගේ වැඩවලට නම් එතුමා හොඳයි... එහෙම නැතිව මේ වගේ වැඩවලට නම් ගැළපෙන්නෙ නැහැ''
උපතිස්ස හිමියෝ කියාගෙන යන්නට විය.
එමෙන්න විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වමින් නැවතත් උන්වහන්සේ සභාවට කියා සිටියේ,
''මේ වගේ වැඩවලට හරියන්නෙ විජේදාස ඇමතිතුමා වගේ අය... ඔබතුමාලට මේ වැඩේ කරගන්නම ඕන නම් ඒ විදිහට වැඩේ කරමු''
උපතිස්ස හිමියෝ එසේ කියන විට විජේදාස ඇමතිවරයාද මඳ සිනහ පළ කළේය.
ධර්මසිරිට ලුණු ඇඹුල් ඇතිව කියල දීලා
වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායකට එරෙහිව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය ගෙන ආ විශ්වාසභංගය අඟහරුවාද (07 දා) විවාදයට ගැනීමට නියමිතව තිබුණද, එය කල්දැමීමට තීරණය කළ බව වයඹ මහ ඇමති ධර්මසිරි දසනායක සභාවට දැනුම් දුනි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ඉල්ලීමකට අනුව එය කල්දමන බවත්, ඔහු විදෙස් සංචාරය නිමවා ආපසු එය විවාදයට ගන්නා බවත් මහ ඇමතිවරයා සභාවට දැනුම් දුනි.
විශ්වාසභංග යෝජනාව ගෙන එන බව ඔවුන් ප්‍රකාශකර සති කිහිපයකි. මේ පිළිබඳ ජනාධිපතිවරයා නොදැන සිටි බව පිළිගැනීමට නොහැකිය. කෙසේවෙතත් ඒ වන විට ඉන්දුනීසියාවේ සංචාරයක නිරතව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අඟහරුවාදා උදෑසන වයඹ මහ ඇමති ධර්මසිරිව ඉන්දුනීසියාවේ සිට දුරකථනයෙන් සම්බන්ධ කරගෙන තිබුණි.
එහිදී ජනාධිපතිවරයා වයඹ මහ ඇමතිට විශ්වාසභංගය ගෙන ඒම සම්බන්ධයෙන් කන පිරෙන්න කියා දී තිබුණි.
ආණ්ඩුකාරවරයා කියන්නේ ජනාධිපතිව නියෝජනය කරන්න පළාත් මට්ටමින් ඉන්න නියෝජිතයා. ආණ්ඩුකාරවරයාට විශ්වාසභංගයක් ගේනවා කියන්නේ මට ගෙනාව වගේ. ඔබතුමාලගේ පක්ෂයේ සභාපතිට එරෙහිව විශ්වාසභංගයක් ගේන්නද හදන්නේ. පිස්සු වැඩ නොකර ඉන්නවා.
දුරකථනයෙන් මේ සියල්ල අසා සිටි වයඹ මහ ඇමති &හොඳයි සර්* කියා දුරකථනය විසන්ධි කළ අතර,
''ජනාධිපතිතුමා මට දැන් කෝල් කරලා ඇහුවා විශ්වාසභංග යෝජනාව කල්දාන්න පුළුවන්ද කියලා. ඒ නිසා එතුමා ලංකාවට එනකම් අපි ඒක කල් දානවා''
යැයි රැස්ව සිටි පිරිසට කියන්නට විය.
සභා රැස්වීම් න්යායපත්රයට ඇතුළත් නොකර හදිසි අත්‍යවශ්‍ය යෝජනාවක් ලෙස පළාත් සභා මාසික රැස්වීමේදී එම යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබුණද පළාත් සභාවේ විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය මෙම විශ්වාසභංගය පිළිබඳ කිසිදු කලබලයක් නොදැක්වීම සැමට කුතුහලයක් විය.
''විශ්වාසභංගය ගැන කවුරුත් කිසිම කලබලයක් කරන්න එපා. කවුරුත් ඒ ගැන මොකුත් කියන්නත් එපා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ සිද්ධවෙයි* යනුවෙන් අගමැතිවරයා කලින්ම උපදෙස් දී තිබුණි.
අවශ්‍ය දේ අවශ්‍ය අවස්ථාවේදීම සිදුවුණ නිසා එදින සභාවේදී විපක්ෂ මන්ත්‍රීන් සතුටින් සිටිනු දැකගත හැකි විය.
ගම්මන්පිල සිරිකොතේ ඔත්තු බලන්න ඇවිත්?
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප්‍රධාන කාර්යාලය මේ දක්වා පිහිටා තිබුණේ පිටකෝට්ටේ පාගොඩ පාරේය. සිය හිතවතෙකු විසින් ලබාදී තිබුණු එම නිවස නැවත වරක් ඉල්ලා තිබීම නිසා වෙනත් ස්ථානයකට යෑමට ගම්මන්පිලට සිදුවිය. වෙනත් තැනක් සොයමින් සිටියදී හිතවතෙකුට අයත් දෙමහල් නිවසක් නොමිලේම ලැබුණි. එම නිවස පිහිටා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානයට ආසන්නවය.
පක්ෂ කාර්යාලයකට ඔබින ආකාරයෙන් මේ දිනවල එහි අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පවතී. පසුගිය සතිය පුරාම පාහේ ගම්මන්පිල සහ ඔහුගේ කාර්යමණ්ඩලය වෙහෙසුණේ පාගොඩ පාරේ කාර්යාලයේ තිබුණු උපකරණ නව කාර්යාල පරිශ්‍රයට ගෙන ඒම සඳහාය. විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ලේ සිට සිරිකොත අසල පිටකෝට්ටේ හන්දියේ පිහිටි ස්ථානයකට මීට ටික කලකට පෙර ගෙන ආ අතර, එකල එම පක්ෂයෙන් විමසූ පැනයක් දැන් ගම්මපිල මන්ත්‍රීවරයා මුණගැහෙන විවිධ පුද්ගලයන් විමසයි.
පසුගියදා මාධ්‍යවේදීන් පිරිසකට ගම්මන්පිල මන්ත්‍රීවරයා හමු වූ අවස්ථාවේදී විමසා සිටියේ ''මන්ත්‍රීතුමා පක්ෂයේ කාර්යාලය සිරිකොත කිට්ටුවටම ගෙනාව නේද'' කියාය. එහිදී ගම්මන්පිල මහතා ,“සිරිකොත පැත්තට ඇවිත් ඔත්තු බලනවා කියන එක සාමාන්‍යයෙන් කොච්චර අමාරු වැඩක්ද මල්ලි. දැන් වහල උඩට නැගලා ඔත්තු බලන්න පුළුවන්. ඒකට තමයි කාර්යාලය මාරු කළේ'' යනුවෙන් කියා සිටියේය.
ඇමතිතුමාගේ ෂොට් නම් මාරයි ආ
පල්ලම එස් බී ක්‍රීඩාංගණයේදී පැවති එල්ලේ තරගාවලිය අරම්භ කිරීමට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර සහභාගී වුණි.
ආරම්භය සනිටුහන් කිරීමෙන් අනතුරුව තරුණයන් අමාත්‍යවරයා වෙත බල කර සිටියේ පන්දු කිහිපයකට පහර එල්ල කරන ලෙසයි. අඛණ්ඩ බල කිරීමට ප්‍රතිචාර දක්වමින් පිටියට පැමිණ රංගේ බණ්ඩාර අමාත්‍යවරයා එල්ල කළ පළමු පහරෙන් පන්දුව නැවතුණේ ක්‍රීඩා පිටිය කෙළවරද පසුකර මීටර් ගණනාවක් එපිටින් වූ පොල්වත්තකය. එහි සිට ඇමතිවරයාගේ ක්‍රීඩා විලාසය බලා සිටි සේවකයන් විසින් එම පන්දුව අහුලා විසිකරන ලදී. ඉන් අනතුරුව අමාත්‍යවරයා අතින් එල්ල වූ දෙවැනි පහරින් පන්දුව දෙපළුවී ගිය අතර, එය බොහෝ දෙනෙකු මවිතයට පත් වූ කාරණයක්ද විය.
''පොලීසියේ හිටපු කාලෙත් මතක් වෙන්න ඇති නේද ඇමතිතුමා. ඇමතිතුමාගෙ ෂොට්නම් මාරයි ආ......'' යනුවෙන් සිසුවෙක් කියූ විට,
''මමත් හොඳ ගමේ කොල්ලෙක්..... පාසල් සිසුවාගේ කරට අතදමාගනිමින් ඇමතිවරයාද පිළිතුරු දුන්නේය.'' ඉන් අනතුරුව සියල්ලන්ගෙන්ම නැගුණේ අත්පොලසන් නාදයකි... සියල්ලගේ සිනහව මැද එල්ලේ තරගාවලිය ආරම්භ විය.
විමල්ගෙ උපන්දිනයේ කේක් ගෙඩිය නිරෝෂන්ගෙන්
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට පසුගිය 07 වැනිදා විශේෂ දිනයක් විය.ඒ මහතාගේ 47 වැනි උපන්දිනය යෙදී තිබුණේ එදිනටය.මැගසින් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි වීරවංශ මහතාට උපන්දිනය සැමරීමට අවස්ථාව ලැබුණේ ඒමහතා නොසිතු අයුරිනි.විමල් වීරවංශ මහතා පුදුම කරවීමට මෙම උපන්දින සැමරුම සංවිධානය කර තිබුණේ ජාතික නිදහස් පෙරමුණේ සහෝදර මන්ත්‍රීවරුන් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිස විසිනි.එදින පාර්ලිමේන්තු දිනයක් වීම නිසා මෙම සැමරුම පහසු විය.
කතිකාකරගත් පරිදි පාර්ල්මේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මෙම කටයුත්තේ මූලිකත්වය ගත්තේය.වීරකුමාර ඇතුළු පිරිස මුලින්ම සිදුකලේ පාර්ලිමේන්තුව තුළ උපන් දින උත්සවයක් පැවැත්විය හැකිදැයි සොයා බැලීමය.එහි නීතිමය තත්ත්වය පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු වූ අතර, ඒ සඳහා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයාගෙන් සහ මහලේකම්වරයාගෙන් විමසීමක් කෙරිණි. එහිදී ඔවුන් සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එවැනි සැමරුමක් සිදුකිරීමට බාධාවක් නැති බවයි.
ඒ අනුව වීරවංශ පවුලේ සාමාජිකයන් සහ මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් සහභාගි කරගත් උපන් දින සැමරුමක් පැවැත්වීමට මන්ත්‍රී පිරිස කටයුතු ඉක්මන් කළ අතර, ඊළඟට අවධානය යොමු වූයේ කේක් ගෙඩිය පිළිබඳවය.මෙහිදී කේක් ගෙඩිය නිර්මාණය කිරීමේ වගකීම නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා විසින් බාරගත්තේය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව තුළට ආහාර රැගෙන ඒමක් සිදුනොවන බැවින් ඒ සඳහා කුමක් කරන්නේදැයි පිරිස සාකච්ඡා කරන්නට වූහ. පාර්ලිමේන්තුවට පිසින ලද ආහාර පිටතින් රැගෙන එන අතර, බේකරි කෑම වර්ග පාර්ලිමේන්තුව තුළම සකස් කරයි.
මේ හේතුවෙන් කේක්ගෙඩිය පාර්ලිමේන්තුවේ බේකරියෙන් සකස් කිරීමට හැකියාවක් තිබේදැයි පිරිස සොයා බලන්නට තීරණය කළහ.මීට ටික කලකට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ රැයක් ගතකරමින් පැවැත්වූ උද්ඝෝෂණයේදී රාත්‍රී ආහාර පිටතින් ඇණවුම් කර ගෙනා ආකාරය මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.තවත් අදහසක් වූයේ පාර්ලිමේන්තුව තුළදී කේක්ගෙඩිය සකස් කළ හැකිනම් ඒ සඳහා මුදල් සහ අවශ්‍ය මෝස්තරය ලබාදීමට සූදානම් බවයි.
එසේ නොහැකිවුවහොත් පිටතින් කේක් ගෙඩියක් සකස් කරගෙනඒමට පිරිස කතිකා කරගත්හ.මුලින්ම පාර්ලිමේන්තුවේ බේකරියෙන් කේක් ගෙඩිය සකස් කරගැනීමට හැකිදැයි වීරකුමාර පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගෙන් විමසනු ලැබිණි.ඔහු සඳහන් කළේ එය බේකරියේ අධ්යක්ෂවරයාගෙන් විමසන ලෙසයි.
එම නිලධාරියාගේ අදහස වූයේ මන්ත්‍රීවරුන් 225 දෙනාම මෙවැනි උත්සව සඳහා කේක් ඉල්ලා සිටියහොත් එය ගැටලුකාරී විය හැකි බවයි.එබැවින් පාර්ලිමේන්තුව තුළ එම කේක් ගෙඩිය නිර්මාණය කළ නොහැකි බව බේකරි අධ්යක්ෂවරයා පවසන්නට විය. ඉන් අනතුරුව මන්ත්‍රී පිරිස පිටතින් කේක් ගෙඩිය ගෙනඒම සඳහා වේත්රධාරියාගේ සහ පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ අවසරය ඉල්ලා සිටි අවස්ථාවේ ඊට අවසරය ලැබිණි.
සුපුරුදු පරිදි පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීම සඳහා විමල් වීරවංශ පසුගිය 07 වැනිදා මැගසින් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණියේය.ඉන්පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඔහු මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරය වෙත කැඳවාගෙන යනු ලැබිණි. ඒ වනවිටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,ශෂි වීරවංශ, විමල්ගේ දියණිය හා පුතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් එම අවස්ථාවට පැමිණ සිටියහ.
මෙහිදී උපන්දින කේක් ගෙඩිය කපා පළමු කෑල්ල මහින්ද රාජපක්ෂට කැවීමට විමල් උත්සාහ කිරිමේදී මහින්ද රාජපක්ෂ මහතා කීවේ බිරිඳට සහ දරුවන්ට පළමු කෑල්ල කවන ලෙසයි.අනතුරුව පැමිණ සිටි සියලු දෙනාට විමල් කේක් කවන්නට විය. විමල්ගේ 47 වැනි උපන් දිනය සැමරුවේ ඔය ආකාරයටය.
ළමයින්ගේ ආරක්ෂක පුටුව වෙනස් වෙයිද?
දින සීයේ ආණ්ඩුව කාලයේ වෙනස්වුණු ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටි ජාතික ආයතනයක සභාපති පුටුවේ වෙනස්කමක් නුදුරේදී සිදුවීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙයි. එම තනතුර බාරගැනීමට මේ වනවිට පුද්ගලයන් කිහිපදෙනෙකුට ආරාධනා ලැබී ඇති බවත්, ඒ අතර මෙරට කාන්තාවන්, ළමයින් හා සමාජ සම්බන්ධතා ආදී ක්ෂේත්‍ර රැසක් වෙනුවෙන් ක්‍රියාකළ සමාජ විද්‍යාඥවරියක් සිටින බවත් දැනගන්නට ලැබුණි. කෙසේවෙතත් නුදුරේදීම මේ පුටු වෙනස ඇතිවීමට නියමිතයි.
දිනේෂ් ගෙනියන්න සභාගැබට ආවේ කැළෑ පොලීසියක්ද?
මේ සතියේ පාර්ලිමේන්තුවේ වැඩි අවධානයක් යොමු වූයේ අටවැනිදා පැවැති සභාවාරය පිළිබඳවය. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට ජාතික නිදහස් පෙරමුණට අවකාශයක් නැති බවට කථානායක කරු ජයසූරිය මහතාගේ තීරණය දැනුම්දීමත්,එම අවස්ථාවේදී විමල් වීරවංශ මහතාට අදහස් පළ කිරීමට අවස්ථාව ලබාදෙන්නැයි කියා සිදුකළ බාධාකිරීමත් නිසා මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක පාර්ලිමේන්තු තහනමක් නියම විය.
ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වීමට කලින් යොදාගෙන තිබුණද, දිනේෂ් ගුණවර්ධන මහතාගේ සිදුවීමට එදින පාර්ලිමේන්තු කාලයෙන් පැය හතරක් පමණ වැයවූ අතර, අවස්ථා තුනකදී පාර්ලිමේන්තුව කල්තැබීමට කථානායකවරයාට සිදුවිය. දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීම සඳහා අවසානයේ පැවැති ඡන්ද විමසීමේදී එම යොජනාවට පක්ෂව ඡන්ද 85ක්ද, විපක්ෂව ඡන්ද 22ක්ද ලැබිණි.
අටවැනිදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අනුව කථානායක කරු ජයසූරිය මහතා විසින් ජාතික නිදහස් පෙරමුණට අදාළ තීන්දුව දැනුම්දීමත් සමග විමල් වීරවංශ මහතාගේ බාධාකිරීම් ආරම්භ විය.මන්ත්‍රීවරයා දිගින් දිගටම ඉල්ලා සිටියේ එම තීරණය සම්බන්ධව තමන්ට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.එහෙත් කරු ජයසූරිය මහතා දැඩි ස්ථාවරයක සිටිමින් එම සෑම අවස්ථාවකදීම කියා සිටියේ තමන්ගේ තීරණය වෙනස් නොකරන බවයි. එහෙත් විමල්ගේ හඬ නැගීම නතර නොවීය.ඔහුගේ සහායට දිනේෂ් ගුණවර්ධන මහතා එකතු වූයේ ඉන් අනතුරුවය.
පළමු කල්තැබීමට හේතු වූයේ විමල්,දිනේෂ් සමග පද්ම උදය ශාන්ත යන මන්ත්‍රීවරුන් කථානායක අසුන අසලටම විත් විමල්ට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබාදෙන්නැයි ඉල්ලීම නිසාය. මේඅතර විපක්ෂයෙන් 'පතෝලයා, පතෝලයා' වැනි වාග් ප්‍රහාරයක් ඇසුණු අතර, සභාවට නොගැළපෙන වචනද ඇසෙන්නට විය.
ඒ සමගම ආණ්ඩුපක්ෂයෙන්ද 'පතෝලයා පතෝලයා' යනුවෙන්කෑගසන්නට වූ අතර,'විපක්ෂෙට බයද?' යනුවෙනුත් ඒ අතර ඇසුණි.
එම අවස්ථාවේදී කථානායක කරු ජයසූරිය කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන වැඩකරන ලෙසයි.මෙවැනි හැසීරීම් ලැජ්ජාසහගත බවත්,ලැජ්ජා නැතිකම නිසා එසේ හැසිරෙන බවත් කථානායකවරයා දැඩි ස්වරයෙන් කියා සිටියේය.ඊට නොදෙවෙනි අයුරින් විමල් සහ දිනේෂ්ද කියන්නට වූයේ 'කථානායක ලැජ්ජයි ලැජ්ජයි' යනුවෙනි. එම අවස්ථාව වනවිට විදුර වික්‍රමනායක,මහින්ද යාපා,කෙහෙළිය රඹුක්වැල්ල,බන්දුල ගුණවර්ධන යන මන්ත්‍රීවරුද නැගී සිටියහ.කෙසේ වෙතත් කථානායකවරයා සභාව විනාඩි 10කට කල්තබා අසුනින් නැගිට ගිය අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරු සභාව තුළම රැඳී සිටියහ.
මෙම අවස්ථාවේ දිනේෂ්,විමල් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වටවී කතාකරන්නටවූ අතර ආණ්ඩු පක්ෂයේ මුජිබර් රහුමාන්,හර්ෂද සිල්වා,ආශු මාරසිංහ ඇතුළු කිහිපදෙනෙකු අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සිටන ස්ථානයට ගොස් සිනාසෙමින් කතාකරන්නට වූහ.ඒකාබද්ධ පිරිසෙන් ඉවත් වූ දිනේෂ් කෙළින්ම පැමිණියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිටින අසුන ඉදිරියටය.ඔහුගේ සහායට බන්දුල ගුණවර්ධනද පැමිණියේය.
මේ අවස්ථාවේදී මුජිබර් රහුමාන් තමන්ගේ ජංගම දුරකථනය සිඩ්නි ජයසේකර මන්ත්‍රීවරයාට දී දිනේෂ් රනිල් කතාබස් කරන ආකාරය ඡායාරූප ගතකරන්නැයි පැවසීය. අනෙක් පසින් එජාප-ජවිපෙ මන්ත්‍රීවරුන් කතා කරන ආකාරය සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා දුරකථනයෙන් ඡායාරූප ගතකළේය.විනාඩි දහයකට සභාව කල්තැබුවද මේ වනවිට පැයභාගයක් පමණ ගතවී තිබිණි.
අනතුරුව කථානායකවරයා පැමිණ මන්ත්‍රීවරුන්ට අසුන් ගන්නැයි දැන්වූ අතර, යළිත් වරක් දිනේෂ්,විමල් තමන්ගේ ගෝරනාඩුව කියන්නට විය.මෙහිදී දිනේෂ් කීවේ මෙය ප්රජාතන්ත්රවාදය පිළිබඳ ප්‍රශ්නයක් බවයි.එම අවස්ථාවේදී කරු ජයසූරිය අතීතය මතක් කරමින් කියා සිටියේ තමන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නැගී සිට අදහස් දැක්වීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් දිනේෂ් ගුණවර්ධන ඉඩ ලබානොදුන් බවයි.
අනතුරුව ස්ථාවර නියෝග 74/1යටතේ තීරණයක් ගෙන කථානායකවරයා දිනේෂ්ට කියා සිටියේ වහාම පාර්ලිමේන්තුවෙන් ඉවත්වන ලෙසයි.අනතුරුව දෙවැනි වරට තාවකාලිකව සභාව කල්තබා කථානායකවරයා අසුනින් නැගිට ගියේය.
යළිත් වරක් පෙරපරිදිම මන්ත්‍රීවරු පිල් තුනකට බෙදී කතාකරන්නට වූහ.වරෙක දිනේෂ් අසලට ගිය විජිත් විජිතමුණි සොයිසා,මහින්ද අමරවීර, සුසිල් ප්‍රේම්ජයන්ත් වැනි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සුහදව සිනාසෙමින් කතාකරන්නට වූහ.දිනේෂ්ද ආණ්ඩු පක්ෂය දෙසට පැමිණ අගමැතිවරයා ඇතුළු ඇමතිවරුන් සමග සුහදව කතා කරන්නට වූහ.මේ අවස්ථාව වනවිට බොහෝ මන්ත්‍රීවරුන්ගේ ජංගම දුරකථනවලින් ඡායාරූප ගන්නා ආකාරය දකින්නට ලැබිණි.
ඒ වනවිටත් දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙන් ඉවත් නොවුණු බැවින් ඊළඟ වර සභාව ආරම්භ කරන අවස්ථාවේ කථානායක කරු ජයසූරියට එය ඇල්ලුවේ නැත.ඔහු කීවේ දිනේෂ් ඉවත් නොවන්නේනම් ඔහු ඉවත් කිරීම සඳහා වේත්‍රධාරී නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට දැනුම්දෙන බවයි. එසේ කියා නැවත වරක් සභාව කල්තැබිණි.මෙම අවස්ථාව වනවිට වේත්‍රධාරී නිලධාරීන් දිනේෂ් අසලට ගොස් ඉවත්වන්නැයි කියා සිටි අතර, විමල් ඇතුළු පිරිස එකහඬින්ම කීවේ එසේ ගෙනයෑමට ඉඩ නොදෙන බවයි.
මින් අනතුරුව පොලිස් නිලධාරීන් එකා දෙන්නා සභාවට පැමිණෙන්නට වූහ.පොලිස් නිලධාරීන් 21 දෙනෙකු පමණ සභාවට පැමිණ පේළියට සිටගත් අතර දිනේෂ්වටකරගනිමින් ප්‍රසන්න රණතුංග,කෙහෙළිය,මහින්ද යාපා,වීරකුමාර ඇතුළු පිරිස එම ස්ථානයේ රැඳී සිටියහ.එම අවස්ථාවේ විමල් කීවේ පොලිස් නිලධාරීන්ගේ අංක තහඩු නොමැති බැවින් මේනම් කැළෑ පොලීසියක් බවයි.පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ දැඩි විරෝධය පළවිය.මෙම අවස්ථාව වනවිට ගීතා කුමාරසිංහ,ශ්‍රියාණි විජේවික්‍රම යන මන්ත්රීවරියෝද පැමිණ දිනේෂ්ගේ දෙපසින් සිටගත්හ.
මෙම සිද්ධිය ගැන ඊළඟ දිනයේදී මාධ්‍යවල පළවන අකාරය ගැනද ඔවුහු කතාකරන්නට වූහ.මේ අතර එක්වරම විමල් පිටුපසට හැරී අතින් කටවසාගෙන “කතානායක පඹයා'' යැයි මහහඬින් කියන්නට විය. අනතුරුව වේත්රධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට යම් සංඥාවක් ලැබී ඔවුහු එම ස්ථානයෙන් ඉවත් වූහ. ඡන්ද විමසීම පැවැතියේ ඉන්අනතුරුවය.එහිදී මන්ත්‍රීවරුන්ගේ නම් ප්රකාශකළවිට ඔවුහු යෝජනාවට පක්ෂද නැද්ද යන්න කීහ.
සුපුරුදු පරිදි පැමිණ සිටි මන්ත්‍රීවරුන් පක්ෂයි, විපක්ෂයි,වැළකී සිටිනවා යනාදී වශයෙන් තනි වචනයෙන් පිළිතුරු ලබාදුන්නද මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරන සිසිර ජයකොඩි හා ශ්‍රියාණි විජේවික්‍රම තමන්ගේ වාරයේදී කියා සිටියේ පාර්ලිමේන්තුවට පොලීසිය ගෙනඒම ගැන තමන් විරුද්ධවනබවයි.සභාගැබෙහි සිටින මන්ත්‍රීවරයකු ඉවත් කිරීමේ නියෝගය ලැබුණු විට මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට පාර්ලිමේන්තු පොලීසිය සභාගැබට පැමිණෙන්නේ ඔවුන්ගේ අංක තහඩු සහ බඳපටි ඉවත්කරගෙනය. එය පාර්ලිමේන්තු සම්ප්රදාය වන අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය පොලීසියට කැළෑ පොලීසිය කියා කෑගසන්නට විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd