'පාසලක් ඇරෙන විට සිරගෙවල් සියයක් වැසේ' යනු ප්‍රකට කියමනකි. එය එසේ වුවද ශ්‍රී ලංකාව තුළ අපට පසුගිය කාලයේ දිගින් දිගටම අසන්නට ලැබුණේ විවිධ හේතූන් මත දිනෙන් දින පාසල් වැසෙන පුවත්ය. එහෙත් ඒ තත්ත්වය වෙනස් කරමින් සිරගෙවල් සියයක් වසන්නට මග පාදන පාසලක් ඉදිකළ පුවතක් 'අද'ට වාර්තා විය.
සිය මූල්‍ය පරිත්‍යාගයෙන් මේ පාසල ඉදිකර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වශයෙන් සේවය කරන රොෂාන් මහානාම මහතා විසිනි. වවුනියාව, වෙහෙරතැන්න ගම්මානයේ ඉදිකළ මෙම ප්‍රාථමික විද්‍යාලය විවෘත කිරීම පෙරේදා (04දා) සිදුවිය.
වවුනියාවේ නැවත පදිංචි ගම්මානයක් වන වෙහෙරතැන්න ගම්මානයේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නව ප්‍රාථමික පාසල් ගොඩනැගිල්ලක අවශ්‍යතාව පැවැති අතර, ඒ පිළිබඳව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා මහතා රොෂාන් මහානාම මහතා වෙත තොරතුරු ලබා දී තිබිණි. එහිදී රොෂාන් මහානාම මහතා මේ සඳහා මුදල් ආධාර ලබා දී තිබූ අතර, අදාළ විද්‍යාලය ඉදිකිරීමේ කටයුතු වන්නි ආරක්ෂක සේනාංකයේ නිලධාරීන් විසින් ඉදිකරන ලදී.
මේ අවස්ථාවට සහභාගි වූ රොෂාන් මහානාම මහතා කියා සිටියේ යුද්ධයෙන් පසු නැවත පදිංචි වූ ජනතාවගේ, දරු දැරියන්ගේ ජීවන තත්ත්වය මෙන්ම අධ්‍යාපන කටයුතු ඉතා ඉක්මනින් දියුණු කළ යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය උපරිම සහාය ලබාදීමට තමන් සූදානම් බවද ඔහු කියා සිටියේය.