රැපියල් 10,000 කට නොවැඩි දඩයක් හෝ/ සහ වසර 2කට නොවැඩි සිරදඬුවම් ලැබෙන අහිතකර පොලිතින් තහනම
මෙරට ජනජීවිතය මුළුමනින්ම ආක්‍රමණයට කිරීමට සමත් වූ පොලිතින් මගින් මිනිසාගේ සෞඛ්‍යටත්, පරිසරයට සිදුවන හානියත් අතිවිශාලය. නමුත් ලාංකේය සමාජය තුළ මිනිසාගේ සෑම ව්‍යවහාරික අවශ්‍යතාවක් සඳහාම පොලිතින් භාවිත කිරීම සුලබ දෙයකි. අප නිවසින් හෝ කාර්යාලයෙක් බැහැර කරන අපද්‍රව්‍ය පිරික්සීමේදී ඒ බව මොනවට පැහැදිලි වේ. එකී තත්ත්වය උඝ්ර වීමත් සමග රජය විසින් ගැසට් පත්‍රයක් මගින් ජනජීවිතයට අහිතකර වූ පොලිතින් තහනම් කිරීමට කටයුතු කෙළේය. ඒ සඳහා දිරාපත් වන නැතහොත් ජෛව හායනයට ලක්වන පොලිතින් වෙළෙඳ පොළට පැමිණේ. එය 2018 වර්ෂයේ ජනවාරි මස පළමු වැනිදා සිට නීතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ. පසුගියදා මධ්‍යම පරිසර අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවේදී, එම තහනම ඉදිරියේදී සමාජය තුළ බලාත්මක කරන ආකාරය පිළිබඳ පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව ලබන මස පළමු වැනිදා සිට පරිසරයට අහිතකර වූ ඝනකමින් මයික්‍රෝන 20 හෝ ඊට අඩු ෂොපින් බෑග්, ලන්ච් ෂීට් සහ ග්‍රොසරි බෑග් සහ පොලියෙස්ටරින් ආහාර ඇසුරුම් පෙට්ටි තහනම ක්‍රියාත්මක කෙරේ. ඉකුත් සැප්තැම්බර් මස මේ තහනම ගෙන ආවද, ඒ කාලය තුළ දිරාපත් නොවන කුඩා පරිමාණ පොලිතින් නිෂ්පාදකයන් ගබඩාකර තිබෙන පොලිතින් සියල්ල අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් පරිදි මාස කිහිපයක කාලයක් ඒ සඳහා ලබාදී තිබිණි. නමුත් දැන් එම කාලය අවසන්ය. මේ මස සිට නීතිවිරෝධී පොලිතින් නිෂ්පාදන හා කර්මාන්ත ශාලා පරීක්ෂාවට ලක්කිරීමට නියමිතය. ලබන ජනවාරි පළමු වැනිදා සිට නීතිවිරෝධී පොලිතින් තොග වෙළෙන්දන්ද අත්අඩංගුවට ගැනීමට අපේක්ෂා කෙරේ. මේ නිසා පොලීසියට රටේ මහජනතාව ලෙස අපද සහයෝගය දිය යුතු අතර, වෙනත් විකල්පීය ක්‍රම සඳහා කර්මාන්ත හිමියන් මෙන්ම ජනතාවද යොමුකළ යුතුය. එළැඹෙන්නේ උත්සව කාලයයි. උත්සව කාලය තුළද කිසිදු පොලිතින් සැරසිල්ලක් ප්‍රදර්ශනය කිරීමට කිසිවෙකුටත් අවස්ථාව හිමි නොවේ. අප මැතිවරණ ප්රචාරක කටයුතුවලටද ඉතා බහුල වශයෙන් පොලිතින් යොදා ගනියි. මේ හේතුවෙන් පරිසරයට අහිතකර පොලිතින් ටොන් ගණනක් ලංකාව තුළ ඒකරාශී වේ. මේ නිසා සිදුවන පාරිසරික හානිය කියා නිමකළ නොහැකිය. නමුත් මෙවර පළාත් පාලන මැතිවරණයේදී හෝ ඉදිරියට පැවැත්වීමට නියමිත මැතිවරණ කිසිවක මෙවැනි ක්‍රියා සිදුනොවන්නේ කොඩිවැල් දැමීම, වෙනත් සැරසිලි කිරීම හා පොලිතින් දහනය ආදී දේ තහනම් කර ඇති නිසාවෙනි. මේ නිසා අඩුම වශයෙන් අවමංගල්‍ය උත්සවයකදී පවා සැරසිලි සඳහා පොලිතින් යොදා ගැනීමේ හැකියාවක් නොමැත. එනිසා මෙවර පරිසර හිතකාමී මැතිවරණ පවත්වන්නට ලැබීම අප සැමට සුවිශේෂී දෙයකි. එය තවත් ව්‍යාප්ත කරමින් ලබන ජූලි මස සිට ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ආනයනය කිරීමත් තහනම් කරන්නට යෙදුණේ දේශීය ව්‍යවසායකයන්ට ඒ සඳහා අවස්ථාව ලබාදෙමිනි. පරිසරයට අහිතකර පොලිතින් බෑග් තහනම් කළද, කසල රදවන බැගය සහ රෙදිපිළි බහාලන බෑග් එම තතහනමෙන් ඉවත් කර තිබෙනවා. තවද ක්ෂේත්රයේ අවශ්‍යතාවය මත ලැමිනේටින් කර්මාන්තයට සහ ඖෂධ ඇසුරුම් සකස් කිරීමේදී පමණක් මයික්‍රොන විස්සට වඩා අඩු පොලිතින් නිෂ්පාදනය කිරීමට අවසර තිබෙනවා.
කෙසේ නමුත් මේ අයුරින් අප සුලබව භාවිත කළ පොලිතින් සියල්ල තහනම් කළා හා සමානව ඊට විකල්ප ද්‍රව්‍යන් හඳුන්වා දීම අනිවාර්යයෙන් කළ යුත්තකි. එවැනි තත්ත්වයක් තුළ පරිසර හිතකාමී කර්මාන්ත දේශීය වශයෙන් දිරිගැන්වීමට අනිවාර්යයෙන්ම ක්‍රියාකළ යුතුයි. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සමග කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයද එක්ව කටයුතු කරනු ලබයි. මෙවැනි නිෂ්පාදනයන් පිළිබඳ නොයෙක් අවස්ථාවලදී මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කළද, සමස්ත ජනතාවටම ඒ පිළිබඳ අවබෝධයක් නොමැති වීම තවත් ගැටලුවකි. පොලිතින් තහනම පිළිබඳ දීප ව්‍යාප්තව සමීක්ෂණයක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදුකර ඇති අතර, ජනතාව මෙම පොලිතින් තහනම පිළිබඳ කිනම් ආකාරයේ ප්‍රතිචාරයක් දක්වනවාද යන්න හඳුනාගත හැකිය. 
මෙම සමීක්ෂණය සඳහා රාජ්‍ය, පෞද්ගලික, ව්‍යාපාරික, පාසල්, විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණු ආදී වශයෙන් රැකියාවේ ස්වභාවය අනුව පුද්ගලයන් 2500ක් තෝරාගෙන ඇත. මේ අනුව රටේ සමස්ත ජනගහනයෙන් මේ වනවිට පොලිතින් තහනම පිළිබඳ වැඩි පිරිසක් දැනුවත්ව සිටි අතර, එය ප්‍රමාණයෙන් 95෴ක් පමණ වෙයි. පොලිතින් තහනම ජනතාවට හිතකර දෙයක් බවට 92෴ක් පමණ පිරිසක් ප්‍රකාශ කර තිබේ. නමුත් පොලිතින් තහනමත් සමග වෙළෙඳ පොළේ පවතින ආදේශක භාණ්ඩ ප්‍රමාණවත් නොවන බව පරීක්ෂණයට භාජනය කළ පිරිසෙන් 88෴ක් දෙනා ප්‍රකාශ කර ඇති අතර, මෙවැනි නිෂ්පාදන ප්‍රමාණවත් නොවීමට හේතු ලෙස ඔවුන් බොහෝ දෙනෙක් ඉදිරිපත් කරන්නේ ආදේශක වෙළෙඳ පොළෙහි හිඟකම, ආදේශක සඳහා නිෂ්පාදකයන් අඩු වීම, ආදේශක නිෂ්පාදනයන් හෝ අමුද්‍රව්‍ය සඳහා රජය විසින් බදු මුදල් පැනවීම සහ මිලෙන් අධික බවයි. මෙවැනි හේතු නිසා මිනිසුන්ට ඉතා ඉක්මනින් ආදේශක භාණ්ඩ සඳහා යොමුවීම යම් තරමකින් අපහසු දෙයකි. අනාගත අභිවෘද්ධිය සඳහා මෙන්ම සිදුවන පරිසර විනාශය අවම කිරීම සඳහාත් මෙවැනි දේවලට අපහසුවෙන් හෝ යොමුවීමට සිදුවේ. ඒ නිසා දේශීය මට්ටමින් ජෛව හායනය ලක්වන නිෂ්පාදන සඳහා වෙළෙඳ පොළ තුළ පුළුල් කර යුතුය. ඇතැම් විට මේ නිෂ්පාදන සඳහා අවශ්‍ය ස්වාභාවික අමුද්‍රව්‍ය වුවද, ආනයනය කරන දේවල් විය හැකිය. නමුත් දේශීය වශයෙන් එවැනි අමුද්‍රව්‍ය පවා එක්කිරීමේ ක්‍රමයක් සකස් කළ යුතුයි. ජෛව හායනය නිෂ්පාදන සඳහා ලංකාව තුළ රාජ්‍ය හෝ පෞද්ගලික මට්ටමින් යම් යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. එමෙන්ම ලබන වසරේ සිට මෙවැනි ජෛව හායනයට ලක්වන නිෂ්පාදන ද්‍රව්‍යයන් හඳුනා ගැනීමේ අවබෝධයක් පූර්ණ වශයෙන් සමාජයට ලබාදිය යුතුය. සියලු දෙනාට හිතකර පරිසරයක් ගොඩනැගීම සඳහා මෙන්ම සෞඛ්‍ය ගැටලු අවම කරගැනීම සඳහා අපි ජෛව හායනයට ලක්වන පොලිතින් භාවිතය සඳහා පෙළ ගැසෙමු.
මහාචාර්ය ලාල් ධර්මසිරි සභාපති, මධ්‍යම පරිසර අධිකාරිය
සැප්තැම්බර් පළමු වැනිදා පටන් ක්‍රියාත්මක වූ පොලිතින් සීමාකිරීමේ නීතිය දැන් අපි ක්‍රියාත්මක කරමින් යනවා. ඒවගේම අනෙකුත් පාර්ශ්වයන් සමග සාකච්ඡා කර අපි තීරණය කළා මේ පොලිතින් සම්බන්ධ වැටලීම් නැතහොත් නීතිවිරෝධි ආකාරයට පොලිතින් නිෂ්පාදනය කරන ක්‍රියාවලිය වැටලීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට. මේ මාසයේ සිට අපි පොලිතින් නිෂ්පාදන හා කර්මාන්ත ශාලා පරීක්ෂාවට ලක්කර ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා.
මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචිව තිබෙන්නේ පොලිතින් නිෂ්පාදන කර්මාන්ත සීමිත ප්‍රමාණයක්. පොලිතින් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරන පරිදි නීතිවිරෝධී නිෂ්පාදන ආයතන බොහෝමයක් තිබෙන බව අපට සඳහන් වෙලා තිබෙනවා. මෙවැනි අනවසරයෙන් සිදුකරන කුඩා පරිමාණ පොලිතින් නිෂ්පාදන ආයතනයන් පිළිබඳ තොරතුරු වෙතොත් මධ්‍යම පරිසර අධිකාරියට එම තොරතුරු දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අපි ලබන වර්ෂයේ (2018) ජනවාරි මාසයේ සිට තහනමට ලක්කර ඇති පොලිතින් තොග වෙළෙඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට නියමිතයි. ඉන් පසුව සිල්ලර වෙළෙඳ සැල් සහ අනෙකුත් වෙළෙඳ සැල් පරීක්ෂාවට ලක්කිරීමට අපේක්ෂා කරනවා. පොලීසියේ සහයෝගය මේ සම්බන්ධව ලබාගැනීමට අපේක්ෂා කරන අතර, සෑම පොලීසියකටම පළාත් මට්ටමින් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියෙකු ඒ සම්බන්ධ සම්බන්ධීකරණ කටයුතු කරන්න පත්කර තිබෙනවා. පොලිතින් නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කිරීම පමණක් නොවේ කොඩිවැල් දැමීම, වෙනත් සැරසිලි සිදුකිරීම, පොලිතින් දහනය කිරීමත් පාලනය කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. මේ වැටලීම් මගින් ජනවාරි මාසයේ සිට වෙළෙඳ පොළේ තිබෙන පොලිතින් අඩු කිරීමට හැකිවෙනවා. ඒ වෙනුවට ආදේශක විකල්ප යොදාගැනීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම ලබන වසරේ ජූලි මාසයේ පළමු වැනිදා පටන් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ආනයනය කිරීමත් සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. අපි අපේක්ෂා කරනවා ලංකාවේ භාවිත කරන ප්ලාස්ටික් පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කරලා ලංකාවට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ප්‍රමාණය ලබාගැනීමට. දේශීය වශයෙන් මේ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය නගාසිටුවීමටත් අපි කටයුතු කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම පාරිසරික පනත යටතේ සියලුම ආකාරයේ පොලිතින්, පොලිතින් නිෂ්පාදන හෝ ප්‍රසාරිත පොලිස්ටයරින් නිෂ්පාදන දේශපාලන, සාමාජීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙන යම් උත්සවයක් හෝ අවස්ථාවලදී සැරසිලි සඳහා තහනම් වෙනවා. විශේෂයෙන්ම දේශපාලන රැස්වීම්වලට පොලිතින් භාවිතයෙන් සිදුකරන සැරසිලි තහනම් කරලා තියෙනවා. ඒ වගේම මැතිවරණ කොමසාරිස්තුමාත් මේ පිළිබඳ අවධාරණය කරලා තියෙනවා. මේ කාර්යයේදී විශාල සහායක් අපට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලැබෙනවා. අපි දන්නවා මැතිවරණ සමයේදී නිරන්තරයෙන් කොඩිවැල් සහ සැරසිලි සඳහා පොලිතින් භාවිත වන බව. මේ කොඩිවැල් දැමීම මගින් පරිසර ගැටලු පමණක් නොවෙයි, මේවා නිසා එක් එක් පාර්ශ්වයන් අතරද ගැටුම් ඇති වෙනවා. කෙසේ නමුත් මේ නිතීය තදින්ම ක්‍රියාත්මක කිරීමට අපි අපේක්ෂා කරනවා. මේ සඳහා විකල්ප වශයෙන් කඩදාසි, රෙදි හෝ වෙනත් ස්වාභාවික පරිසරයෙන් ලබාගත හැකි දෑ අවශ්‍ය නම් යොදා ගනිමින් මේ සැරසිලි කරන්න පුළුවන්. අවමංගල්‍ය අවස්ථාවකදී වුවත් සැරසිලි සඳහා පොලිතින් භාවිත කරන්න බැහැ. දැනට තිබෙන නෛතික තත්ත්වය යටතේ මේ සම්බන්ධ වරදකරුවන්ට රුපියල් 10,000කට නොවැඩි දඩයක් හෝ /සහ වසර දෙකකට නොවැඩි සිරදඬුවමකට යටත් වීමට සිදුවෙනවා.
මනෝජ් පෙරේරා සහකාර පොලිස් අධිකාරී
මේ පරිසර නීතිය විශේෂ නීතියක්. අපරාධ නීතිය බලාත්මක කරමින් නීතිය හා සාමය ආරක්ෂා කිරීම තමයි පොලීසියේ ප්‍රධාන කාර්යභාරය. මෙම විශේෂ නීතිවල පොලීසියට සහාභාගි විය හැකි ආකාරය පිළිබඳ වෙනම දක්වා තිබෙනවා. පරිසර පනතේ 24 වැනි වගන්තිය යටතේ පොලීසියට තිබෙන්නේ පරිසර අධිකාරියේ ක්‍රියාවට ආරක්ෂාව සහ සහාය ලබාදීමයි. ඒ ක්‍රියාවලිය විශේෂඥ ක්‍රියාවලියක්. මේ නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා විට විශේෂඥ දැනුම සහ උපකරණ අනිවාර්යයෙන් තිබිය යුතුයි. පොලිතින්වල මයික්‍රෝන මැනගැනීම සඳහා උපකරණයක් අවශ්‍යයි. නමුත් තවම අප සතුව ඒ උපකරණ නැහැ. නමුත් මේ පනතේ 06 වැනි වගන්තිය යටතේ අධ්යක්ෂ ජනරාල්වරයාට බලතල තිබෙනවා පොලීසියට මේ බලය පවරන්න. දිවයිනේ පොලිස් ස්ථාන සෑම එකක්ම පාහේ ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 275කට මේ පිළිබඳ විශේෂඥ පුහුණුවක් ලබාදුන්නා. මේ තුළින් අපරාධ දඬුවමකට යටත් කරනවාට වඩා මහජන සහභාගිත්වය තුළින් මේ නීතිය බලාත්මක කිරීමයි අපේක්ෂා කරන්නෙ. මේ පිළිබඳ නඩු පැවරීමට නම් නිශ්චිත පුද්ගලයෙකු හඳුනාගත යුතුයි. නැතිනම් නඩු පැවරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා එවැනි නීතිවිරෝධී ක්‍රියා සිදුකරන අවස්ථාවේදී අත්අඩංගුවට ගත යුතුයි. පොලිතින් සම්බන්ධ සැරසිලි ඉවත් කිරීමේ බලය පැහැදිලිව මැතිවරණ කොමසාරිස්වරයා පොලීසියට පවරා දී තිබෙනවා.
අමිල් ප්‍රියන්ත ග්‍රීන් ලංකා, ඉකෝ සයන්ස් තාක්ෂණික පෞද්ගලික සමාගම
මෙම පොලිතින් තහනමත් සමග ආදේශක අවශ්‍ය ප්‍රමාණවලින් අපට ලබාදීමට හැකිද, මධ්‍යම පරිසර අධිකාරිය අනුමත කරන ප්‍රමිතියට ලබාදෙන්න පුළුවන්ද, පැවැති මිලට යම් වශයෙන් ලාභ මිලකට පාරිභෝගිකයාට ලබාදිය හැකිද යන්න පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනවා. නමුත් අපට මේ ඉල්ලන දේ ඒ ප්‍රමිතියෙන් ලබාදෙන්න පුළුවන්.
වැඩකරන දිනයක %ලන්ච් ෂීට්^ බිලියන 15ක ප්‍රමාණයක් භාවිත කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සමීක්ෂණවලින් වාර්තා වෙනවා. අපට මේ තහනමත් සමග සැප්තැම්බර් පළමු වැනිදා සිට ලබන ජනවාරි මස පළමු වැනිදා දක්වා මාස 04ක් මේ ආදේශක හඳුන්වා දීම සඳහා කාලයක් හිමිවුණා. මේ නිසා තහනම් වූ නිෂ්පාදන හිමියන්ට මෙන්ම අලුතින්ම වුවත් මේ සඳහා ප්‍රවේශ වීමේ හැකියාව තිබෙනවා. මමත් මේ ක්ෂේත්රයට අලුතින් පැමිණි අයෙක්. මට මාස 04ක් වැනි කෙටි කාලයකින් මේ කර්මාන්තයට අවතීර්ණ වෙන්න හැකිවුණා.
ජෛව හායනික නිෂ්පාදන ගෙන එනවා නම් වෙනත් රටවලින් ගෙන්වන්න වෙනවා. නමුත් මෙවැනි නිෂ්පාදන ආරම්භ කරන්න අපේ රටේ විශාල නිෂ්පාදකයන් පිරිසක් අප වටා එක්වෙලා තිබෙනවා. අපේ නිෂ්පාදනයන් ඒ ඒ ප්‍රමිති, තත්ත්ව සහතිකවලට ගැළපෙන ලෙස වෙළෙඳ පොළට එක්කර තිබෙනවා. අපි මේ සියලු නිෂ්පාදන සෞඛ්‍ය ආරක්ෂිතව ඇසුරුම් කර තිබෙනවා. මෙවැනි නිෂ්පාදන ද්‍රව්‍යන් නිෂ්පාදනය කරන්නේ ස්වාභාවික ද්‍රව්‍යවලින් නිසා වෙළෙඳ පොළේ යම් වැඩි වීමක් තිබෙනවා. නමුත් මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කළොත් අඩු මුදලකට පාරිභෝගිකයාට ලබාදීමේ හැකියාව තිබෙනවා. අපි මේ අමුද්‍රව්‍ය සියල්ල ගෙන්නේ විදේශ රටවලින්. මේ සඳහා ගන්නා බඩඉරිඟු, මඤ්ඤොක්කා වැනි පිටි ලංකාවෙත් හදා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මම අපේක්ෂා කරනවා මෙවැනි නිෂ්පාදන ශාලාවක් ප්‍රථම වතාවට ගම්පහ විවෘත කරන්න. මේ දියත් කරන ව්‍යාපෘතිය රාජ්‍ය මැදිහත්වීමක් සහිතව ව්‍යාප්ත කර ලංකාවේ ජෛව හානියට ලක්වන අමුද්‍රව්‍ය නිෂ්පාදනය කර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා අපි අවශ්‍ය සහාය ලබා දෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





