යකඩ හීනයට පෙම් බැඳි තරුණයන් වෙත
වර්තමානය වනවිට යතුරුපැදියත්, තාරුණ්‍යයත් අතර පවතින්නේ ගසට පොත්ත මෙන් ඉතා සමීප වූ සබඳතාවයකි. යතුරුපැදිය තරුණයන්ගේ වාහනයක් යැයි කිව හැකි තරමටම මේ සබඳතාව දුරගොස් තිබේ. තමන්ටම කියා යතුරුපැදියක් මිලදී ගැනීමට සිහින දකින තරුණයන් ඒ සිහිනය නම් කරන්නේද 'යකඩ හීන' ලෙසය.
එම යකඩ හීන මලකඩ කෑමට නොදී තමන් දුක් මහන්සියෙන් උපයන පළමු වැටුප පවා එය සැබෑකර ගැනීමට යොදවන තරමටම අද තරුණ පරපුර යකඩ හීනවලට ආදරය කරති. එසේ යකඩ සිහින සැබෑ කරගත් ඕනෑම තරුණයෙක් තුළ ඇතිවන්නේ අත්තටු ලැබුණාක් වැනි හැඟීමකි.
ඊට තාරුණ්‍යයට සුපුරුදු පෙරළිකාරී බව, දඩබ්බරකම් මුසුව තිබුණද එම හැඟීම් සම්පූර්ණයෙන්ම අසාධාරණ යැයි කීම සාධාරණ නැත. එසේ වුවත් තරුණ මදයත් සමග යතුරුපැදිය අතට ගත් අහිසංක තරුණ ජීවිත මේ වන විට අකාලයේ මියැදෙමින් තිබීම අපට කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකිය. එම නිසා 'අද' මේ සටහන තබන්නේ යකඩ හීන හා බැඳුණු එම ඛේදවාචකය පිළිබඳවය.
පොලිස් රථවාහන කොට්ඨාසයේ දත්ත වාර්තා අනුව මේ වන විට මෙරට සිදුවන රිය අනතුරුවලින් බහුතරයක්ම සිදුවන්නේ යතුරුපැදි මගිනි. මෙහි ඛේදනීයම තත්ත්වය වී ඇත්තේ මෙසේ සිදුවන යතුරුපැදි අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් මිය ගොස් තිබෙන්නේ වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ පිරිස් වීමයි.
පසුගිය වසරේ (2016) මුල් මස 5 ඇතුළත මෙසේ සිදුව තිබූ රිය අනතුරුවලින් මිය ගිය යතුරුපැදිකරුවන් සංඛ්‍යාව 398කි. 2017 වසරේ ගෙවී ගිය මුල් මාස පහ තුළ සිදුවූ රිය අනතුරුවලින් මියගිය යතුරුපැදිකරුවන් ගණන 407කි. එය පසුගිය වසරේ මුල් මාස 5ට සාපේක්ෂව 2.26%ක වැඩි වීමකි.
කෙසේ නමුත් දිනපතා වාර්තා වන අනතුරු ප්‍රමාණය අනුව මෙම ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බවද පොලීසිය පවසයි.
2016 වසරේ පළමු මාස 5 තුළත්, 2017 වසරේ පළමු මාස 5 තුළත් සිදුවූ මාරක රියඅනතුරු සඳහා වගකිවයුතු වාහන පිළිබඳ සැලකීමේදීද වැඩිම මාරක අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇත්තේ යතුරුපැදි හේතුවෙනි. 2016 වසරේ පළමු මාස 5 තුළ යතුරුපැදි නිසා සිදුව ඇති මාරක රිය අනතුරු සංඛ්‍යාව 494ක් වන අතර, ඉන් පුද්ගලයින් 511 දෙනෙකු මරණයට පත්ව තිබේ.
ඒ ආකාරයෙන්ම 2017 වසරේ මුල් මාස 5 තුළ පමණක් යතුරුපැදි නිසා සිදුව ඇති මාරක රිය අනතුරු සංඛාව 514ක් දක්වා ඉහළ ගොස් ඇත. එය පසුගිය වසරේ ප්‍රමාණයට සාපේක්ෂව 4%ක පමණ වැඩි වීමකි. සිදුව ඇති මරණ සංඛ්‍යාවද 534ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එයද පසුගිය වසරට සාපේක්ෂව 4.5%ක පමණ වැඩි වීමකි.
මෙහි දෙවැනි ස්ථානයට වැඩිම අගයක් දරන්නේ ත්‍රිරෝද රථ බව ඉහත ග්‍රැෆික් සටහන අධ්‍යයනය කරනවිට ඔබට පෙනී යනු ඇත.
මීළඟට මෙසේ 2016 හා 2017 වර්ෂවල මුල් මාස 5 තුළ මිය ගිය අයගේ වයස් සීමාවන් පිළිබඳව සලකා බලමු.
පහත සංඛ්‍යාත්මක දත්තයන් නිරීක්ෂණය කළහොත් අප මෙහිදී සාකච්ඡා කරන ඛේදවාචකය කෙතරම් දරුණුදැයි වැටහෙනු ඇත. මේ වර්ෂ දෙකෙහිම මිය ගොස් ඇති යතුරුපැදිකරුවන් හා පසුපැදිකරුවන්ගෙන් වැඩිම පිරිසක් පසුවන්නේ වයස අවුරුදු 21-25 සහ 26-30 වයස් කාණ්ඩවලටය.
වැඩිදුරටත් දත්ත වාර්තා අධ්‍යයනය කිරීමේදී පෙනී යන තවත් කරුණක් වන්නේ මෙම දෙවර්ෂය ඇතුළතදී යතුරුපැදිකරුවන් වැඩිම සංඛ්‍යාවක් මියගොස් තිබෙන්නේ පස්වරු 4ත් පස්වරු 8ත් අතර කාලය තුළදීය. මාර්ගයන් වල රථවාහන වැඩිපුර ගැවසෙන්නේද මෙම කාලසීමාව තුළය.
එමෙන්ම යතුරුපැදි අනතුරු නිසා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර දෙවැනුවට වයඹ පළාතෙනි.
මෙසේ අකාරුණික වූ යකඩ හීනවලට මහත් ලෙස ඇලුම් කරන තරුණයක් කිහිපදෙනෙක් අප සමග දැක්වූ අදහස්වල සංක්ෂිප්තය මෙසේ ඔබ වෙත ගෙන එමු.
“ගොඩක් කොල්ලන්ට බයික් එකක් ගන්න ආසාව එන්නේ රස්සාවක් කරන කාලෙට. ගොඩක් වෙලාවට බස්වල කෝච්චිවල කට්ට කනකොට තමයි උවමනාව තව වැඩි වෙන්නේ. තවත් කොල්ලන්ට චිත්‍රපටවලින් දැක්කම, අනිත් අය පදිනවා දැක්කම, යාළුවෝ කල්ලි ගැහෙද්දී වගේ බයික් එකක් ගන්න ආසාවක් එනවා.
බයික් එකක් ගන්න ආසාව ආවාම තියෙන උණට ඉන්ටර්නෙට් එකේ බයික් ගැන හොයනවා, ලීසිං කම්පැණිවලට කතා කරලා බලනවා, සේල්වලට ගිහින් බලනවා. ඒවා කරන්නේ අතේ සල්ලි තිබිලා නෙවෙයි. තියෙන ආසාවට. ඒ කාලෙට ජොබ් එකක් කරන කෙනෙක් නම් වෙනදට වඩා මහන්සි වෙනවා සල්ලි හොයන්න. නැත්තන් ගෙදරට පොඩ්ඩක් කෙඳිරිගාලා බලනවා. කොහොමහරි හොඳ එකක් බැරි වුණොත් පාවිච්චි කරපු එකක් හරි ගන්නවා.
බයික් එක ගත්ත අලුත පොඩි හීරීමක් වත් වෙන්න දෙන්නේ නැහැ. වැරදිලා හරි එහෙම වුණොත් හිතට හරි අමාරුයි. බයික් එක ගත්තට පස්සේ ඒක පොඩ්ඩක් ලස්සන කරලා ගන්නවා. ගොඩක් කොල්ලො ආසයි සයිලන්සර් එකේ සද්දෙ වැඩි කරලා ගන්න. බයික් එක Top Speed එක (උපරිම වේගය) බලන්න යන වෙලාවලුත් තියෙනවා. සමහර වෙලාවට තනි රෝදෙන් වැඩ දාන්නත් හිතෙනවා. බයික් එක අතට ගත්තම හෙමින් යන එක නම් හරිම අකමැති වැඩක්''
යකඩ හීනයට සමවැදුණු තරුණ සිතුම්පැතුම් එසේය. මේ ආකාරයෙන් යතුරුපැදි අනතුරු බහුල ලෙස සිදුවීමට හේතු සොයා බලනවිට ඉන් මූලිකම හේතුව බවට පත්වන්නේ අපරික්ෂාකාරී බව හා පාලනය කරගත නොහැකි අධික වේගයයි.
අනෙකුත් හේතූන් පිළිබඳ සැලකීමේදී අපගේ අවධානයට ලක්වූ කරුණක් වූයේ යතුරුපැදිකරුවන් බොහෝ අවස්ථාවල සිය යතුරුපැදියේ පැති කන්නාඩිය භාවිත කරන්නේ ඉතා මඳ වශයෙන් වීමයි. සමහර අවස්ථාවල තරුණ පිරිස් අලංකාරය සඳහා කුඩා වූ පැති කන්නාඩි භාවිත කරයි. තවත් යතුරුපැදිකරුවන් ආරක්ෂාවට යැයි ඉදිරිපස තිරිංග අඩුකිරීම සිදුකරයි.
නමුත් හදිසි අවස්ථාවලදී යතුරුපැදිය නවත්වා ගැනීමට දෙපසම තිරිංග නිසි ලෙස ක්‍රියා කිරීම අත්‍යවශ්‍යය. තවද මාර්ගයේ සංදර්ශන පෙන්වීමට යාම සහ අධික වේගය පාලනය කරගත නොහැකිව වංගු කෙලින් ගැනීමට යාම අනතුරු සිදුකර ගැනීමට හේතු වී තිබේ.
යතුරුපැදියක් අතට ගන්නා ඕනෑම අයෙකු සිතිය යුතු දේ බොහෝය. අනෙකුත් රථ වාහනවලට සාපේක්ෂව යතුරුපැදියක් මහා මාර්ගයේ ධාවනය වීමේදී ඊට පවතින අවදානම ඉහළය. වෙළෙඳ පොළේ අද පවතින ඇතැම් යතුරුපැදිවල වේගයන්ට සාපේක්ෂව ඒවායෙහි තිරිංගවල ක්‍රියාකාරීත්වය පහළ මට්ටමක පවතී.
එමෙන්ම බොහෝ යතුරුපැදි පැයට කිලෝමීටර් 80ක වේගය ඉක්මවා යෑමේදී දෙදරීමකට ලක්වන අතර, එහිදී මාර්ගයේ හෝ යම් ගැස්සීමකට ලක්වුවහොත් හෝ වේගය පාලනය කරගැනීමට නොහැකි වීම නිසා අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ ඉහළය.
අනෙක් කාරණා නම් ධාවනය වන යතුරුපැදිය එක් පසෙකට නැවීමේදී එය වැලි සහිත හෝ තෙත සහිත මාර්ගයක් නම් එය අවදානම් සහගතය. සෑම යතුරුපැදිකරුවෙක්ම සිය යතුරුපැදියේ තිරිංග යෙදීමේදී තබාගත යුතු පරතරය පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතුය.
තවද යතුරුපැදිය අලංකාර කිරීමට වඩා නිසි පරිදි නඩත්තු කිරීම ඉතාමත්ම වැදගත්ය.
'මම හැම දරුවෙක්ගෙන්ම ඉල්ලන්නේ අම්මෙක්ට මේ වගේ දුකක් දැනෙන්න දෙන්න එපා කියලයි'
මෑතකදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තම එකම පුතු අහිමි වූ මවක් ඉතා සංවේදීව 'අද' වෙත අදහස් දැක්වූයේ මේ අයුරිනි.
''මගේ රත්තරං පුතා නැති වෙද්දි එයාගෙ වයස 23 පිරුණා විතරයි. පුංචි කාලෙ ඉඳලම බයික්වලට පුදුමාකාර ආසාවක් තිබුණෙ එයාට. ලොකු මහත් වෙද්දි අපේ නෑදෑ අයගේ, අඳුරන අයගේ බයික් ඉල්ලගෙන පැද්දා. බයිසිකල් ගැන ලොකු දැනුමක් තිබ්බෙ එයාට. ආසාව වැඩිකමට ඉල්ලන නිසාම සාමාන්‍ය පෙළ ඉවර වෙච්ච ගමන්ම පාවිච්චි කරපු බයික් එකක් අරන් දුන්නා.
පුතා ඒ බයික් එක තියාගෙන හිටියෙ හරිම ආදරෙන්. හීරීමක් වත් වෙන්න දුන්නෙ නැහැ. හැමදාම වගේ බයික් එකේ යාලුවො එක්ක හැමතැනම ගියා. රස්සාවක් කරන්න පටන්ගත්තට පස්සෙ තමයි සල්ලි එකතු කරලා ලෝන් එකකුත් දාලා අලුත් බයික් එකක් ගත්තේ. ඒ බයික් එකත් ගොඩක් පරිස්සම් කළා.
ඒත් පුරුද්දක් විදියට එයා ගොඩක් වෙලාවට බයික් එක එලෙව්වේ වේගෙන්. මමයි, තාත්තයි ගොඩක් අවවාද කරල තියෙනවා ඒ ගැන. ඒත් එයා හැමදාම කළේ හිනාවෙලා 'බයවෙන්න එපා අම්මේ' කියපු එක. අනතුර වෙච්ච දවසේ උදේ වැඩට යන්න මට වැඳලා බයික් එකට නැඟපු මගේ පුතා මේ යන්නෙ අන්තිම ගමන කියලා මට නිකමටවත් හිතුණෙ නැහැ. මේ දුක දරාගන්න එක මට ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා මම හැම දරුවෙක්ගෙන්ම ඉල්ලන්නේ අම්මෙක්ට මේ වගේ දුකක් දැනෙන්න දෙන්න එපා කියලයි.''
අතිශයින්ම වැදගත් කරුණ වන්නේ තමාගේ ජීවිතය ගැනත්, තමාගේ දෙමාපියන් හා තමා වෙනුවෙන් ජීවත්වන අය පිළිබඳවත් සිතා රිය පැදවීමයි. නියම ශික්ෂණයෙන් තොරවූ වීරත්වය ඔබව අනිවාර්යෙන්ම වින්දිතයෙකු බවට පත්කරනු ඇත. යම් අතපසු වීමකින් ඔබව ආබාධිතයෙක් බවට පත්වුවහොත් එහි පීඩාව අත්වන්නේ ඔබට පමණක් නොවේ, ඔබේ වටපිටාවේ සිටින සියලු දෙනාටමය.
වර්තමානයේ සෑම තැනකම හතු පිපෙන්නාක් මෙන් දකින්නට ලැබෙන රියදුරු පාසල් වලින් නිසි රියදුරු පුහුණුවක් ලබාදෙන්නේද යන්න පිළිබඳව ඇත්තේද යම් ආකාරයක ප්‍රශ්නාර්ථයකි.
එම නිසා රිය පැදවීම පමණක් නොව ඒ ඒ වාහනවල භාවිතයත්, මාර්ග ශික්ෂණයත්, විධිමත්ව හා නව තාක්ෂණය භාවිත කරමින් ලබාදෙන රියදුරු පුහුණුවක් සහිත රියදුරු පාසලක අවශ්‍යතාවක් මේ රටේ පවතියි. රජයේ වගකිව යුතු අංශයන්ගේ අවධානය ඊට යොමු වීම වැදගත්ය. අඩුම තරමේ දැනට පවතින රියදුරු පාසල්වල ප්‍රමිතිය හෝ නියාමනය කිරීමට අදාළ අංශ පියවර ගත යුතුය.
'රියදුරු බලපත්‍රය ලබාදීමේදී මාර්ග ශික්ෂණය ඇති කිරීමේ දැඩි සහ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි'
ආචාර්ය නේරන්ජි විජයවර්ධන - (අපරාධ විද්‍යා අධ්‍යයනාංශය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
''විශේෂයෙන් තරුණ පිරිස් වින්දිතයන් බවට පත්වන්නට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඔවුන්ගේ ජීවන විලාසිතාව, දෛනික ක්‍රියාකාරකම් සහ ඔවුන් සමාජය තුළින් නිරන්තරයෙන් අත්දකින දේවල්. මෝටර්සයිකලයක හිමිකාරයෙක් වීම කියන දේ අද තරුණ දරුවෙක්ගේ ජීවන විලාසිතාවක් වෙලා තිබෙනවා වගේම ජීවිතේ ඔවුන් දකින එක් හීනයක් බවටත් එය පත්වෙලා තියෙනවා.
පසුගිය කාලයේ ග්‍රාමීය සමාජය ඇසුරු කරගෙන අපි කරපු සමීක්ෂණයකින් හෙළිවුණ දෙයක් තමයි ඒ ප්‍ර‘දේශවල තරුණ ළමයි පාසල් අධ්‍යාපනය අතර මග නවත්වනවා.
රැකියාවක් කරලා මුදල් සොයාගෙන ඒ උපයන මුදල්වලින් ඔවුන් මුලින්ම කරන්නේ යතුරුපැදියක් ගන්න එක. ඔවුන් හිතනවා ඒ තුළින් ඔවුන්ට යම් තත්ත්වයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා. පොදුවේ ගත්තාම තරුණ පිරිස් අතර තමන්ගේ පෞරුෂය විදහා දක්වන්න ඔවුන් හිතනවා යතුරු පැදියක හිමිකාරයෙක් වෙන්න.
අනිත් කාරණය තමයි කැපී පෙනීමේ සහ වීරත්වය පෙන්වීමේ උවමනාව. ඊට උදාහරණයක් තමයි සමහර තරුණ ළමයි බයික් එකේ යද්දි අනතුරට ලක්වුණා කියන්නේ හරිම අභිමානයකින්. බයික් එකේ යද්දි හැප්පුණාම පිළිගැනීමක් ලැබෙනවා කියලයි ඔවුන් හිතන්නේ.
ඇතැම් අවස්ථාවල අපි දකිනවා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවල ඇතැම් ප්‍රකාශන මගින් යතුරුපැදි අනතුරුවලින් මිය ගිය තරුණයන්ට වීරත්වයක් ආරෝපණය කරන්න උත්සාහ කරනවා. තවත් කාරණයක් තමයි මේ යතුරුපැදි අලෙවියට ප්‍රචාරණය වන වෙළෙඳ දැන්වීම්වල මූලිකත්වය දීල තියෙන්නේ යතුරුපැදියේ වේගය පිළිබඳ විස්තර කරන්න.
දැන්වීමේ නිරූපණය කරන්නෙත් අධික වේගයෙන් අනාරක්ෂිතව යතුරුපැදිය ධාවනය කරන ආකාරයයි. තරුණ ආකර්ෂණය දිනාගත් චිත්‍රපටවල තිබෙන බහුතරයක් දර්ශන මේ වගේ දේවල්. ඒ නිසා අනුකරණය කිරීම සහ අත්හදා බැලීමේ කුතුහලය තිබෙන තරුණ පිරිස් යතුරුපැදියක් ගත්තාම මේවා අත්හදා බලන්න උත්සාහ කරනවා.
අද වෙනකොට බයික් එකක් ගන්න ලොකු මුදලක් වැය කළයුතු නැහැ. පහසුවෙන් ගන්න පුළුවන්. ඒ වගේම රියදුරු බලපත්‍රය ගන්නත් කලින් සමහර දරුවෝ රිය පදවනවා. මම දකින්නේ මේ රියදුරු බලපත්‍රය ලබාදීමේදී මාර්ග ශික්ෂණය ඇති කිරීමේ දැඩි සහ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි.
තරුණ ළමයි මේ විදියට අනාරක්ෂිතව රිය ධාවනය කිරීම නිසා විපතට පත්වෙන්නේ ඔවුන් පමණක් නොවෙයි. මාර්ගයේ යන අනෙකුත් පිරිස් පවා මේ නිසා වින්දිතභාවයට පත්වෙනවා.
ඒ වගේම අනතුරක් වෙලා සදාකාලික ආබාධයකට ලක්වුණොත් ඒ තරුණ ජීවිතය කෙතරම් නාස්තියකට පත්වෙනවද? පවුලේ අනෙක් පිරිස කොයිතරම් අපහසුතාවකට, දුකකට පත්වෙනවද? මේ දේවල් තරුණ දරුවන් සිතා බැලීම අත්‍යවශ්‍යයයි. ගමනක් යන්න යතුරුපැදියට නැග්ගාම තමන් වෙනුවෙන් කොයිතරම් පිරිසක් බලා සිටිනවාද යන්නත්, තමාට මාර්ගයේ අනිවාර්යෙන්ම අවධානයක් තිබෙන බවත් ඔවුන් අවබෝධ කරගැනීම, සිතා බැලිම වැදගත් වෙනවා.''
'මූලික පුහුණුව ප්‍රමාණවත් නැහැ'
ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා
''අද වෙද්දී හැම රිය අනතුරකටම හේතු වෙලා තියෙන්නේ වාහන බලපත්‍ර ගන්න අයට ලැබෙන මූලික පුහුණුව ප්‍රමාණවත් නොවීම. වාහන පුහුණුවේදී වැදගත් වෙන්න ඕන වාහනය පදවන විදිය විතරක් නොවෙයි. මාර්ග විනය පවා උගන්වන්න අවශ්‍යයයි. ඒත් කිසිම රියදුරු පුහුණු පාසලකින් ඒක ලැබෙනවද කියල හිතල බලන්න ඕන. පුහුණුව දෙන්නෙත් සමහර වෙලාවට පළපුරුදු කෙනෙක් නෙවෙයි.
පිටරටවල්වල නම් රියදුරු බලපත්‍රය ගනිද්දී මේ හැමදෙයක්ම හරි විදියට උගන්වන රියදුරු පාසල් තියෙනවා. බලපත්‍ර ගන්න හැම කෙනෙක්ම ඒ පාසලට ඇතුල් වීම අනිවාර්යයි. ඒවායේදී Simulators පාවිච්චි කරලා වාහනයක් හැප්පෙද්දී ඒ දැනෙන පීඩනය පවා නිරූපණය කරනවා.
රටේ වගකිව යුතු බලධාරීන් මේ වගේ රියදුරු පාසලක් පිහිටුවලා ඒ වගේ විධිමත් අනිවාර්ය පුහුණුවක් දෙනවා නම් මං හිතන්නේ අපිට පුළුවන් වෙනවා මේ අකාලේ ජීවිත අහිමි වන අහිංසක කොල්ලො ටික බේරගන්න. බයික් එකක් තියෙන තරුණ කොල්ලෙක් හිතට ගන්න ඕන දෙයක් තමයි පාරේ හැමවිටම අවදානමක් තිබෙනවා කියලා.
බයික් එක හයියෙන් ගියාට ඒක හරි විදියට නවත්ත ගන්න දැනුමක් නැහැ. හදිස්සියේ නවත්වන්න ගහන්න ඕන ඉස්සරහ තිරිංගද පිටිපස්ස තිරිංගද කියල දන්නෙ නැහැ. පාරේ යද්දි පැති කන්නාඩියෙන් බලන්නෙ නැහැ.
ඒ වගේ වැරදි ගොඩක් අපේ කොල්ලො කරනවා. වේගෙන් යන්න ඕනම නම් මහ පාරේ නැතුව කටුකුරුන්දට වගේ ගිහින් ඇතිතරම් වේගෙන් ගියාට කමක් නැහැ. ඒකත් හරි අවබෝධයක්, පුහුණුවක් ඇතුව. එහෙම නැතුව වීරකම පෙන්වන්න අවදානමක් ගැනීම මෝඩ වැඩක්''
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

