අපේ රටේ කැළි කසළ ප්රශ්නය මේ වනවිට දැවැන්ත ගැටලුවක් බවට පත්ව තිබේ. කෙටියෙන්ම කිවහොත් කැළි කසළ ප්‍රශ්නයට තවමත් ස්ථිරසාර විසඳුමක් ලැබී නැත. අප රටේ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා කදිම විසඳුමක් ඉදිරිපත් කිරීමට ඇමරිකානු සමාගමක් වන ග්‍රීන් කී ආයතනය ඉදිරිපත්ව ඇත.
මෙකී ව්‍යාපෘතිය හරිතාකරණ සංකල්පය යටතේ ප්‍රථමයෙන්ම ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස දකුණු පළාත තුල ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සැලසුම් කොට තිබේ. දකුණ හරිතකරණයට හා කුණු කසල ප්‍රතිචක්‍රිකරණයට යන තෙමාව යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.
ඇමෙරිකානු ග්‍රීන් කී ආයතනය, නගරසභා සඳහා නව්‍ය නිෂ්පාදන පහසුකම් සහ ව්‍යාපාරික හරිත තාක්ෂණ ක්‍රමවේදයන් සපයන රාජ්‍ය නියෝජිත ආයතන සහ අනෙකුත් ආයතන සමග එක්ව ව්‍යාපාරික කටයුතු වල නියැළෙන ආයතනයකි.
ග්‍රීන් කී ආයතනයේ නියෝජිතයන් පසුගියදා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා හමුවී මෙකී ව්‍යාපෘතිය ගැන දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබීය. එමෙන්ම දකුණු පළාතේ පවතින නගර සභා, පළාත් පාලන ආයතන සතු අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන නිරීක්ෂණය කිරීමේ නිරීක්ෂණ චාරිකාවටද මෙකී ආයතනයේ නියෝජිතයන් එක්වූහ.
ග්‍රීන් කී ආයතනය සහ ඊට අනුබද්ධිත වෘත්තිකයන් විසින් මෙකී ව්‍යාපෘතිය යටතේ ඉහළම තාක්ෂණ පහසුකම් භාවිත කරමින් පොදු ස්ථානයන්හී එක්රැස්වන කුණු කසළ වටිනා පාරිභෝගික භාණ්ඩ බවට පරිවර්තනය කිරීමට සැලසුම් කොට තිබේ. සංයුක්ත දැව, ගොඩනැගිලි අමුද්‍රව්‍ය කෘත්‍රිම ඉන්ධන හා විද්‍යුත් ශක්තිය නිපදවීමට මෙම ව්‍යාපෘතිය යටතේ සැලසුම් කොට ඇත.
මෙම ක්‍රියාවලිය ආරම්භ වනුයේ නාගරික ප්‍රතිසාධන සහ ප්‍රතිචක්‍රීකරණ පහසුකම් යටතේ ඝන අපද්‍රව්‍ය ලැබීමත් සමගය. ප්රතිචක්රීයකරණයේදී පළමුව ලෝහ වර්ග සහ වීදුරු ඉවත් කරනු ලබන අතර එය වෙනත් ආදායම් ප්‍රභවයක් ලෙස හඳුනා ගැනේ.
ඉන්පසු ප්ලාස්ටික්, කඩදාසි, කාඩ්බෝර්ඩ්, දැව සහ අනෙකුත් කාබනික අමුද්‍රව්‍ය සියල්ල වියළා ක්‍රියාවලිය සඳහා සූදානම් කරනු ලැබේ. ප්ලාස්ටික් කුඩා ගුලි ලෙස සකස් කරනු ලබන අතර, දැව, කඩදාසි සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය කුඩා තීරුවලට කැපීම හෝ සෙ.මී. 1 සිට සෙ.මී.2 දක්වා කුඩා කැබලි වලට කොටස් කිරීම සිදුකරනු ලබයි.
පසුව පද්ධතියට ඇතුළත් කිරීම සඳහා එම ප්ලාස්ටික් ගුලි සහ තන්තුමය කාබනික අමුද්‍රව්‍ය නිසි ලෙස මැනීමත් මිශ්‍ර කිරීමත් සිදුකරයි. ඉන්පසුව අදාළ මිශ්‍රණය නිවාස සහ ගොඩනැගිලි සැකිලි සකස් කිරීම, ආවරණ කණු, දුම්රිය මාර්ග බැමි, මගී පාලම් සහ නැව් තටාක සඳහා දැව හෝ බර ඉසිලීමේ ගුණයෙන් යුත් බාල්ක ආදී අවශ්‍ය විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් දැව බවට පරිවර්තනය කරනු ලැබේ.
පිටතට නෙරන ලද කෙලවර අනුව අවසාන නිමැවුම ඕනෑම ප්‍රමාණයකින්, දිග පළලින් හෝ හැඩයකින් සමන්විත වනු ඇත. අවසන් නිෂ්පාදිතය ඝනත්වය සහ බර අතින් ඉතා ශක්තිමත් දැව වලට බොහෝසෙයින් සමාන අතර, ඒවා කැපීම, හැඩ කිරීම, විදීම සහ ඇණ සවි කිරීම ආදී කාර්යයන්ද දැව වලට සිදුකරන අයුරින්ම සිදුකළ හැකිය.
අමතර එකතුකිරීම් හෝ රසායනික ඇලවුම් ද්‍රව්‍ය හෝ යොදාගැනීම අවශ්‍ය නොවේ. සියලුම රසායනික අමුද්‍රව්‍ය ප්ලාස්ටික් මගින් සංක්ෂිප්ත කරන බැවින් අවසාන නිෂ්පාදිතය ආසන්න වශයෙන් වසර 150ක් දක්වා දිරාපත් නොවී, ජරාවට පත් නොවී සහ කෘමීන්ගෙන් හානි නොවී පවතිනු ඇත.
පරිගණක පුරෝකථනයන්ට අනුව සෑම ටොන් 1000ක දෛනික ක්‍රියාවලියකින්ම ආසන්න වශයෙන් ස්ථිර රැකියා 796ක් සහ වක්‍ර රැකියා 500කට අධික ප්‍රමාණයක් නිර්මාණය වනු ඇත. යන්ත්‍රෝපකරණ සහ පද්ධතිය ස්ථාපනය කරනු ලබන පළමු මාස 12-18 තුළ ඍජු රැකියා 287 ක් සහ වක්‍ර රැකියා 214 ක් දේශීය වශයෙන් නිර්මාණය වනු ඇත.
මෙම ව්‍යාපෘතියෙන් දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 1000 ක් පරිභෝජනය කිරීමේ පහසුකම ඇත. එමෙන්ම වර්තමානයේ අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා මුදල් ගෙවිය යුතු වුවත්, ග්‍රීන් කී ආයතනය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමග දකුණු පළාතේ ස්ථාපිත නගර සභා 04ට සහ ප්‍රාදේශීය සභා 47 ට අයත් සියලුම අපද්‍රව්‍ය එම ආයතන වලට මුදල් ගෙවා ලබාගැනීම සිදුකරන බැවින් එම ආයතන වලට අමතර ආදායමක්ද ඉපැයීමේ හැකියාවක් පවතී.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන මෙකී ව්‍යාපෘතිය සඳහා දකුණු පළාත් ප්‍රධාන ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතාගේ ආශිර්වාදයද හිමිව තිබේ. දකුණු පළාතේ මෙකී අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අජිත් රාජපක්ෂ මහතා විසින් සිදුකරේ.