මිනිසත් බවට ළඟම හිතවතාගේ නිලලත් මෙහෙයුම්
- 8 12 2017
- 09:10
- {{hitsCtrl.values.hits}} views
- . .
මෙරට නීතිය සහ සාමය බලාත්මක කිරීම සඳහා පොලීසිය විසින් ඉටුකරනු ලබන කාර්යභාරයට පොලිස් නිල සුනඛයන්ගෙන් හිමිවන්නේ ඉමහත් සහයෝගයකි. නිල සුනඛයන් සහ නිලධාරීන් නිසි ලෙස පුහුණු කරමින් එම ක්‍රියාන්විතයට උරදෙන මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසය සම්බන්ධයෙන් 'අද' විසින් ගෙන එන මෙම විශේෂාංගය පාඨක ඔබට අලුත් අත්දැකීමක් ගෙන එනු ඇතැයි සිතමු. මේ පිළිබඳව කතාබහ කිරීමට අප හා එක්වූයේ පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතාය.
ආරම්භය වැල්ලවත්තෙන්
1948 වසරේ පොලිස් නිල සුනඛ අංශය ආරම්භ කරන්නේ එවකට වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා වුණු එංගලන්ත ජාතික පොලිස් පරීක්ෂක ෂොක්මන් මහතාගේ මූලිකත්වයෙන්. සුනඛයන් මෙහෙයවන්නන් විදිහට පුහුණුව ලබලා මුලින්ම රාජකාරි කළේ එවකට පොලිස් කොස්තාපල්වරුන් වුණු ආම්ස්ට්‍රෝං, වනිගනායගම් සහ බර්ට්‍රස් (පසුකාලීනව පොලිස් නිල සුනඛ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී ධුරයට පත්විය) කියන නිලධාරීන් තුන්දෙනා. නිල සුනඛයන් විදියට ලංකාවෙන්ම මිලදී ගත්ත ඇල්ටේෂන් වර්ගයට අයත් 'රෙක්ස්' සහ 'ෂීබා' කියන සුනඛයන් දෙදෙනාව පුහුණුව ලබාදීලා මුලින්ම අපරාධ පරීක්ෂණ රාජකාරි සඳහා යොදා ගත්තා. පසුකාලීනව 1949දී මහනුවර පොලිස් ස්ථානයට අනුයුක්ත ඒකකයක් විදියට මහනුවර පොලිස් ස්ථානයට මෙය ගෙන ආවා. 1960 වසර වෙද්දි මේ ඒකකය තව තවත් ව්‍යාප්ත වෙලා විශාල දියුණුවක් ලැබුවා.
ඇමරිකාව, එංගලන්තය, ස්වීඩනය, ඔස්ට්‍රියාව සහ ජර්මනිය කියන රටවල් පොලිස් නිල සුනඛ කොට්ඨාසය දියුණු කරන්න විශාල සහයෝගයක් ලබාදීලා තියෙනවා. 1972 වසරේදී ජර්මනියේ සහයෝගය මත මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා නිල සුනඛයන් සහ නිලධාරීන් පුහුණු කිරීම ආරම්භ කළා. එතෙක් කාලයක් නිල සුනඛයන් යොදාගත්තේ අපරාධ පරීක්ෂණ රාජකාරී සඳහා විතරයි. 1982 වසර වෙද්දි ත්‍රස්තවාදී තර්ජන මතුවීමත් එක්ක ඔස්ට්‍රියානු රජයේ සහයෝගය ඇතිව පුපුරන ද්‍රව්‍ය සෙවීමටත් නිල සුනඛයන් පුහුණු කළා. පුහුණුවට අමතරව සුනඛයන් 12ක් ඔස්ට්‍රියාව අපට පරිත්‍යාග කළා. නිල සුනඛ ඒකකයේ ආරම්භක පොලිස් කොස්තාපල්වරයෙක් වුණු බර්ට්‍රස් මහත්මයා 1988 වර්ෂයේදී සහකාර පොලිස් අධිකාරීවරයෙක් විදියට උසස්වීම් ලබලා මෙහි වැඩ බාරගත්තට පස්සේ එතෙක් කාලයක් මහනුවර පොලිස් ස්ථානයේ ඒකකයක් විදියට පවත්වාගෙන ගිය මේ ඒකකය වෙනම කොට්ඨාසයක් බවට පත් කළා.
වර්තමාන තත්ත්වය
අද වෙනකොට ලංකාවේ සෑම පොලිස් කොට්ඨාසයකටම පොලිස් නිල සුනඛ ඒකකයක් ස්ථාපනය කරලා තියෙනවා. මේ සෑම ඒකකයකටම අපරාධ පරීක්ෂණ, මත්ද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුහුණුවලත් නිල සුනඛයන් තුන්දෙනෙක් අනියුක්ත කරලා තියෙනවා. මේ ආකාරයෙන් නිල සුනඛ ඒකක 55ක් රට පුරා තිබෙනවා. ඊට අමතරව වරායට, ගුවන්තොටුපළට, පාර්ලිමේන්තුවට, ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ආරක්ෂාවට, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවටත් වෙනම ඒකක පිහිටුවා තිබෙනවා. දැනට ශ්‍රී ලංකාව පුරාම පොලිස් නිල සුනඛයන් 183 දෙනෙක් රාජකාරියේ නිරතවෙලා සිටිනවා. ඒ වගේම ප්‍රථම වතාවට ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් අපරාධ පරීක්ෂණ කටයුතු සඳහා නිල සුනඛයන් දෙදෙනෙක් සහ නිලධාරීන් දෙදෙනෙක් මේ කොට්ඨාසයේ පුහුණුව ලබමින් සිටිනවා.
පුහුණුව සිදුවන හැටි
රට පුරා තිබෙන සෑම පොලිස් නිල සුනඛ ඒකකයම සිටින සුනඛයන් සහ නිලධාරීන් පුහුණුකිරීම සිදුවෙන්නේ මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසය මගින්. මේ සඳහා අවශ්‍ය සුනඛයන් බොහෝවිට අපි යුරෝපා රටවලින් ආනයනය කරනවා. ඊට අමතරව ශ්‍රී ලංකාව තුළින් මිලදී ගත්ත හෝ පරිත්‍යාග ලෙස ලැබෙන සුනඛයන් මීට යොදා ගන්නවා. පුහුණුවට යොදා ගන්නා සෑම සුනඛයෙක්ම වයස මාස 9 හෝ අවුරුද්ද අතර වෙනවා. ලැජ්ජාශීලි, බිය හෝ දැඩි සැරපරුෂ සුනඛයන් මේ සඳහා සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම සුනඛයාගේ ශාරීරික යෝග්‍යතාවත් හොඳම මට්ටමක තිබිය යුතුයි. මේ නිසා සුදුසු ආකාරයේ සුනඛයන් තෝරාගැනීම එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. ඒ නිසයි බොහෝ අවස්ථාවලදී නිල සුනඛයන් ආනයනය කරන්නේ.
මුලින්ම මේ ආධුනික සුනඛයන්ට මාස 3ක කාලයක් අණ අනුව ක්‍රියාකරන්න මූලික කීකරුකම පුහුණු කරනවා. එතැනින් පස්සේ අපි ඒ ඒ සුනඛයාගේ හැකියාව, වර්ගය සහ හැසිරීම අනුව අපරාධ පරීක්ෂණ, මත්ද්‍රව්‍ය වැටලීම් සහ පුපුරන ද්‍රව්‍ය සෙවීම් කියන රාජකාරීවලට වර්ගීකරණය කරලා තවත් මාස 3ක් ඊට සම්බන්ධ පුහුණුව ලබාදෙනවා. මේ විදියට සම්පූර්ණ මාස 06ක පුහුණුවෙන් පස්සේ පරීක්ෂණයක් මගින් සුදුසු සුනඛයන් රාජකාරි සඳහා යොදවනවා. පරීක්ෂණයෙන් අසමත් වෙන සුනඛයන් නැවත පුහුණුවට ලක් කරනවා. පුහුණු කාලයේදී උදෑසන ව්‍යායාම කරවලා උදේ ආහාරය විදිහට කිරි බෝතලයක් සහ පාන් භාගයක් ලබාදෙනවා. එතැනින් පස්සේ දවසේ පුහුණුවීම් අවසන් කරලා කුකුළු මස් හෝ හරක් මස් කිලෝග්‍රෑම් 01ක්, බත් ග්‍රෑම් 100ක්, එළවළු ග්‍රෑම් 100ක් මිශ්‍ර කරපු ආහාර වේලක් ලබාදෙනවා. එතැනින් පස්සේ ඉතිරි කාලය විවේක දෙනවා. මේ ලබාදෙන සෑම ආහාර වේලකම ගුණාත්මක බව අපි විශේෂයෙන් පරීක්ෂා කරනවා.
ඒ වගේම සුනඛයන් හැසිරවීමට සිටින නිලධාරීන් පවා තෝරාගන්නේ නිර්ණායකයන් ගණනාවක්ම සලකා බලලා. ඔවුන්ට ඉවසීම, කාරුණික බව, මිත්‍රශීලී බව අනිවාර්යෙන්ම තිබිය යුතුයි. කිසිම ආකාරයකින් තමාට ලබාදෙන සුනඛයාට වචනයකින්වත් තරවටු කරන්න බැහැ. එහෙම වුණොත් සුනඛයාත්, ස්වාමියාත් අතර තිබෙන සහසම්බන්ධය බිඳවැටිලා රාජකාරි කිරීම අපහසු වෙනවා. ඒ නිසා දෙදෙනා අතර විශ්වාසය තිබීම ඉතාම වැදගත්. මේ රාජකාරියේ නිරත වන කාලය අතරතුර සුනඛයාට ස්වාමියා අහිමි වීම හෝ ස්වාමියාට සුනඛයා අහිමි වීම ඉතාමත්ම සංවේදී අවස්ථාවන් වෙනවා.
නොදත් කරුණු කිහිපයක්
පොලිස් නිල සුනඛයෙක් රාජකාරි සඳහා යෙදවෙන්නේ සුනඛයාට වයස අවුරුදු 10 සම්පූර්ණ වන තෙක් පමණක් වන අතර, ඉන්පසු සුනඛයාව විශ්‍රාම ගන්වනු ලැබේ. මෙසේ විශ්‍රාම ගැන්වූ සුනඛයන් රජය සතු දේපළක් වන අතර, රජයේ දේපළ සම්බන්ධයෙන් බලපවත්වන ප්‍රතිපත්ති යටතේ එම සුනඛයන් වෙන්දේසි කරනු ලබයි. මෙසේ පොලිස් සේවයෙන් ඉවත්වන නිල සුනඛයන් ඉතාමත් කීකරු වන අතර, ඉතා අඩු මිලකට සතුන්ට ආදරය කරුණාව දක්වන අයට එම සතුන් වෙන්දේසියෙන් ලබාගත හැකිය.
මේ වන විට පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් අපරාධ විමර්ශන කටයුතු, පුපුරන ද්‍රව්‍ය සෙවීම සහ මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරිවලට අමතරව විවිධාකාරයේ ගලවාගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහාද පොලිස් නිල සුනඛයන් පුහුණු කරනු ලබයි.
1956 වසරේදී දින තුනකදී කොළඹ, යාපනය සහ මහනුවර සිදුවූ මිනීමැරුම් තුනක් සාර්ථකව විමර්ශනය කර දක්ෂතා දැක්වූ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් %රෙක්ස්^ නම් නිල සුනඛයා ශ්‍රී ලංකා පොලිස් සේවා ඉතිහාසයේ ප්‍රථම වරට පොලිස් සැරයන් නිලයට උසස් කර ඇත. (මෙය වර්තමානයේ ක්‍රියාත්මක නොවේ)
අපරාධ නඩුවක් විභාගයේදී සාක්ෂි ආඥා පනතේ අනුකූල කරුණු ඉදිරිපත් කිරීම යටතේ පොලිස් නිල සුනඛයාගේ සාක්ෂිය ගරු අධිකරණය විසින් පිළිගනු ලැබේ.
පුපුරන ද්‍රව්‍ය සෙවීමේ මෙහෙයුම් සඳහා යොදාගන්නා නිල සුනඛයන්ගේ ආයු කාලයේ යම් අඩු වීමක් පවතින අතර, පුපුරන ද්‍රව්‍යවල තිබෙන උග්‍ර විෂ කොටස් සුනඛයන් විසින් ආග්‍රහණය කිරීමේදී ඒවා ශරීරගත වීමෙන් පෙණහලු, වකුගඩු සහ අක්මාවේ පිළිකා තත්ත්ව ඇති කිරීම මීට හේතුසාධක ලෙස හඳුනාගෙන තිබේ. මේ සඳහා විසඳුමක් ලෙස දැනට පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් ඉතාමත් මිල අධික වූ කෘත්‍රිම ලෙස සකස්කර ඇති පුපුරන ද්‍රව්‍ය ආනයනය කර නිල සුනඛයන්ගේ පුහුණු කටයුතු සඳහා යොදාගනු ලබයි.
දැනට වැඩිම සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරී ප්‍රමාණයක් සිදුකර තිබෙන්නේ අනුරාධපුර කොට්ඨාසයේ මැදවච්චිය නිල සුනඛ ඒකකයේ පොලිස් සැරයන් කුමාර (31452) විසින් මෙහෙයවන පොලිස් නිල සුනඛ %ක්ලෝරා^ වන අතර 2012 වර්ෂයේ සිට මේ දක්වා සාර්ථක වැටලීම් 440ක් සිදුකර තිබේ.
පානදුර කොට්ඨාසයට අයත් හොරණ පොලිස් නිල සුනඛ ඒකකයේ පොලිස් කොස්තාපල් දුමින්ද (48239) විසින් මෙහෙයවන නිල සුනඛ %ග්‍රේරෝ^ වැඩිම සාර්ථක අපරාධ පරීක්ෂණ රාජකාරී ප්‍රමාණයක් සිදුකළ නිල සුනඛයා ලෙස වාර්තා වන අතර, 2012 වර්ෂයේ සිට 'ග්‍රේරෝ' සාර්ථක මෙහෙයුම් 211ක් සිදුකර තිබේ.
සටහන - නඳුන් ශ්‍යාමාල් /ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.











