Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
පළමුව විමසිය යුත්තේ පොලිස් සේවය වසර 150ක් ගත කළද එම සේවය කෙරෙහි ජනතාව සෑහීමකට පත්ව සිටින්නේද යන තර්කයකි. ජනතාවගේ පැත්තෙන් හැමදාමත් ඇසෙන්නේ පොලිස් සේවය විනාශ වී ඇති කතාවකි.
එසේනම් පවතින ක්‍රම පිළිබඳ පොලිස්පතිවරයා සෑහීමකට පත්ව සිටින්නේදැයි යන පැනය ජනතාව අසති. සදොස් නම් පොලීසිය වෙනස් කිරීම ජනතාවට කළ නොහැකි නිසා අදාළ ඇමතිවරයා පොලීසිය සම්බන්ධයෙන් සෑහීමකට පත්වන්නේද යන පැනය ජනතාව අසති. පොලිස්පතිවරයා විසින් ඉහළ නිලධාරීන්ගේ දුරකථන සංවාදයන්ට පවා කන් දෙන බවට චෝදනා ඇසෙනවිට පොලීසියත් මහජනතාවත් අතර මෙන්ම නිලධාරීන් සහ පොලීසිය තුළද ගැටුමකි. එවැනි රටක නීතිය සහ සාමය පිළිබඳ කවර කතාද?
ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පොලීසිය සහ කොමිසමේ මැදිහත්වීම දෙආකාරයකි. පොලීසිය වැරදි නම් කොමිසමට යා හැකිය. එහෙත් කොමිසමත් කල් මරනවිට සහ පොලීසියත් වැරදි කරනවිට ජනතාව මෙන්ම පොලිස් සේවය පිළිබඳ ජනතාව තුළ විශ්වාසය ඇති කළ හැකිද? කොමිසමක් තිබිය යුත්තේ පැමිණිලි විභාග කිරීමටද යහපත් පොලිස් සේවයක් ස්ථාපනය කිරීමටද යන ප්රශ්නය ජනතාවට ඇත. ගතවූ කාලය තුළ පවා පොලිස් අපරාධ වර්ධනය වූයේ පොලිස් කොමිසමක් පවතින වාතාවරණයක් තුළ නම් ඒ සම්බන්ධයෙන් කොමිසම අධ්‍යයනය කර තිබේද?
වැඩියෙන්ම පැමිණිලි ලැබෙන්නේ පොලීසිය විසින් ජනතාව නොසලකා හැරීම අකාර්යක්ෂමභාවය යැයි පොලිස් කොමිසමේ වාර්ෂික වාර්තා දක්වයි. එසේනම් ඒ වරද නිවැරදි කරගැනීම වෙනුවෙන් කොමිසම විසින් පොලිස්පතිවරයාට කර ඇති නියෝග මොනවාද? පොලීසිය ඇතුළත මූලික පරීක්ෂණ සහ විමර්ශන පැවැත්වීමේදී යම් පාර්ශ්වයකට සිදුවන හානි නැත්තටම නැතිකිරීම තබා අවම කිරීමට හෝ පොලිස් කොමිසම ගතවූ දශකයකට ආසන්න කාලයක් සිය රාජකාරිය තුළ සෑහීමකට පත්විය හැකි වැඩකොටසක් කර තිබේද? එසේ වී නම් ජනතාවත් පොලීසියත් අතර හැමදාමත් ගැටුම් මතුවිය හැකි දැයි ජනතාව අසති.
කොමිසමට අයත් ප්‍රාදේශීය කාර්යාල ඇතුළු සේවයේ නිරත වන්නේ රාජ්‍ය පරිපාලන සේවය බඳු කාර්යමණ්ඩලයක්දැයි ජනතාව අසති. මානව හිමිකම් නීතිය පිළිබඳ මූලික දැනුම්වත් නොමැති කාර්යමණ්ඩලයකින් පොලිස් සේවය වඩාත් කාර්යක්ෂම කළ හැකිද? එවනි තැනකට ගොඩවූ ජනතාව අසති.
බොහෝවිට ප්‍රාදේශීය කාර්යාලයන්ට ගොඩවන විට ඒවායේ සක්රීයභාවය තුළ පැමිණිලිකරුවන්ට හෝ වින්දිතයන්ට සිදුවන්නේද යම් ඇල්මැරුණු ස්වභාවයකට පත්වීම විනා තමන්ට යුක්තිය ඉටුවූවාදැයි දැනෙන සතුටක් නොවන කතාවකි. මානව හිමිකම් නීතිය, මූලික නීතිය, පොලිස් නීතිය පිළිබඳ අවබෝධය ඇති මිනිසුන් පත්කර නොගැනීම නිසා ඇතැම් කාර්යාල තවත් එක් ආකාරයක ලියන අප්පුලාගේ කන්තෝරු කාමරයක් බවට පත්ව තිබූ යුගයක් පිළිබඳ ජනතාව සිහිපත් කරති.
“දීල යන්ට අපි බලන්නම් හෝ අපි උත්තරයක් එවන්නම් යැයි පැවසීම යුක්තිය ඉටුවීම නොවේ. කොමිසමට ගියත් අපි බය නෑ යනුවෙන් දූෂිත නිලධාරීන් මොර දෙන්නේද මේ අපූරුව මැනවින් දන්නා හෙයිනි.
පොලීසිය මහජන විශ්වාසය රැකගත් ස්ථානයක් බවට පත් කරවීම සඳහා පොලිස් කොමිසම අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය හෝ රාජකාරී වගකීම් පිළිබඳ පොලීසිය සෑහීමකට පත්ව සිටිත්ද? පොලිස් කොමිසම දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට පොලීසියේ ඉහළ නිලධාරීන් කටයුතු කර තිබේද?
ගතවූ දිනවල ඇසුණු අපරාධ අබිරහස් ඝාතන සහ පොලිස් ස්ථානයන්ට එරෙහිව සිදුවූ ජනතා විරෝධයන් අපමණය. ඒ සම්බන්ධයෙන් පොලිස් කොමිසම ගත් පියවර හෝ යෝජනා කළ ක්‍රියාදාමයන් මොනවාද? කතරගම එක් උදාහරණයකි. අසරණයෙක් මරා දමා ඔහුට නිවසක් සාදා දී අර්බුදය අවසන් විය. පොලිස් කොමිසමක් තිබෙන රටක පොලීසිය තුළින් එවැනි නොමනා ආදර්ශ ඇසෙන්නේ නම් කොමිසමක් තිබුණද කොමිසමට කළ හැක්කේ මොන කෙංගෙඩියක්දැයි ජනතාව අසති.
පවතින ප්‍රතිපාදන තුළ කොමිසමට ගත හැකි ක්‍රියාමාර්ග අපමණය. පළමුව එසේ නොකර තවත් මාස හයක් කල් මරමින් පොලීසිය පොලිස් කිරීමට යෝජනා කැඳවීම පමණක් සෑහේද යන ප්රශ්නය අවංක පොලිස් නිලධාරීහු අසති. මහින්ද සමයේ මතුවූ විවිධ අර්බුද සෙවීමට කමිටු 27ක් පත්කළේ යැයි ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. මෛත්‍රී පාලනය තුළද, මම කමිටු පත් කළා කීවද ඒ කමිටු වාර්තාවලට සිදුවූ දෙයක් ගතවූ මැතිවරණ වේදිකාවේදීවත් කියවුණේ නැතැයි ජනතාව චෝදනා කරති.
පොලීසිය දූෂිත බව ජනතාව පවසති. හැම පොලීසියක්ම එසේදැයි ඇසූවිට හැම පොලීසියකම දූෂිත නිලධාරීන් වැඩි යැයි ඔවුහු පවසති. දූෂිතයන් බිහිවන්නේ බලයට පවතින අරගලය හේතුවෙන් බව දූෂණ විරෝධීහු පෙන්වා දෙති. එසේනම් පොලීසිය පිරිසුදු කිරීම සඳහා එහි දූෂිතයන්ට දඬුවම් කිරීමේ ක්‍රමයකට කොමිසම යා යුතුය. ඒ සඳහා මාස ගණන් අවුරුදු ගණන් කාලය කාදැමීම අපරාධයට තවත් අනුබලයකි.
එසේනම් කොමිසම විසින් යහපත් පොලිස් සේවයක් වෙනුවෙන් ජනතාව ඇමතීම මෙන්ම පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ අදහස් යෝජනා වෙනම ලබාගන්නේ නම් මේ අර්බුදයට යෝජනා විකල්ප සහ විසඳුම් එතැනින් ඉදිරිපත් වනු ඇතැයි ජනතාව පවසති. මන්ද මොන නීතිය තිබුණත් අවසානයේ යෝජනා ඉදිරිපත් කරන ජනතාවගේ කන පළන්නේත්, ධර්මචක්රයේ යවන්නේත්, මරා ගඟට විසිකර දමන්නේත්, සිරමැදිරි තුළ එල්ලා මරන්නේත් පොලිස් අත්අඩංගුව තුළ සිටියදීම වන හෙයිනි. එනිසා ජනතා හඬට මේ කිසිවක් වැළැක්විය නොහැකි නිසා පොලීසිවල ඉහළ ඇත්තන් මගින් ඒවා වළක්වා ගැනීමේ ක්‍රමයකට යාමට ජනතාවට සිදුව ඇති බව ඔවුහු තම අත්දැකීම් අනුව කොමිසමට පෙන්වාදිය යුතුය.
වරක් හෝ පොලීසියට ගොඩවූ මිනිසුන්ගෙන් අදහස් ලබාගැනීම එක් ක්රමයකි. පොලිස් අත්අඩංගුවේ දවසක් හෝ ගත කළ මිනිසුන්ගෙන් පොලීසිය ගැන ඇසිය හැකිය. කොටියා කළ වරදට හාවාට වරද භාරගන්නා ලෙස බලහත්කාරයෙන් නියම කළ පොලිස්කාරයන් ගැනද ජනතාවට කරුණු දැක්විය හැකිය.
උසස්වීම් මාරුවීම් දීමේදී බොහෝවිට කඩේ ගිය ඇත්තන්ට පමණක් ඉහළ ඇත්තන්ගේ වරදාන හිමිවන බවට පොලීසිය තුළ කතාබහකි. ඉහළ ඇත්තන් පිනවීමට නම් ඔවුන් කියන කරන දේ කිරීමට ගොස් අදටත් එල්ලුම්ගස් නියම වූ හෝ රැකියා අහිමි වූ පොලිස් පොඩ්ඩන් ගැන කතාබහකි.
ස්වාධීනව කටයුතු කළ හැකි සහ ඉහළ නිලධාරීන්ගේ බලය වෙනුවට නීතියේ බලය තුළ කටයුතු කිරීමට කොමිසම විසින් පොලීසියට කර ඇති මඟපෙන්වීම පිළිබඳ පොලිස් පොඩ්ඩන් අසා නැති තරම්ය. එවැනි මගපෙන්වීම් වෙතොත් ඒවා ඔවුන්ට පෙළඹවීමක් ලෙස ප්‍රසිද්ධ කළයුතු බවද පොලීසිය තුළ කතාබහකි.
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය වන්නේද දීප ව්‍යාප්තව කරන ලද අදහස් යෝජනා ලබාගත් පසු බව ජනතාවට අමතක නැත. එහෙත් මේ සියල්ල ලත් තැනම ලොප් වී රට තුළ පවතින්නේ හැමදාමත් පවතින ඈලියාවට ගිය ආයතන පද්ධතියක් මෙන්ම කළමනාකරණ රටාවක් බව ජනතාව පෙන්වා දෙති. අවසානයේ සිදුව ඇත්තේ වැය කළ මුදලින් රට වටා ගිය හෝ විස්තර එකතු කළ තවත් ලිපිගොනු කීපයක් නම් මෙවැනි විකාරද තවත් විය යුතු දැයි ජනතාව අසති.
වසර තුනක් ගතවීද එක් හොරෙකුවත් අල්ලා ගැනීමට නොහැකි වූ එෆ්සීඅයිඩීය, අල්ලස් කොමිසම, ජනාධිපති බළකාය වැනි ආයතන ලංකාවේ තොරතුරු එකතු කිරීම පිළිබඳ ජනතාවට ඇති කළේ හාස්‍ය මුසු පිළිකුලකි. තවදුරටත් එදා ගැමියන් ගමේ වෙල් එළියේ හෝ කමතේ රඟදැක්වූ පොලිස් කෝලමක් වෙනත් ආකාරයකින් නිර්මාණය වන්නේ නම් පිළිකුල නැතත් හාස්‍ය පමණක් හෝ එතැන රැඳෙනු ඇත.
අනෙක් අතට මේ ඉදිරි මාර්තු සහ ඔක්තෝබර් ජිනීවා සමුළුව ඉලක්ක කර අපිත් යමක් කරනවා යැයි උපුටා දැක්වීමට ගන්නා යම් උත්සාහයක් ලෙස රජයට එරෙහි පාර්ශ්වයන් අවධාරණය කරති. අපේ නීතිය විදේශිකයන් සැනසීම නොව රටේ ජනතාවගේ රැකවරණය වෙනුවෙන් විය යුතු බව කොමිසම හරහා ජනතාව තම යෝජනා තුළ කෙටුම්පත් කළ යුතුය.
එසේම මෙරට 2013/14 සමයේදී පොලිස් වධ හිංසා ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් වාර්තාවක් ඉල්ලා සිටි පුවත ඇසුණේද ගතවූ වසරේය. ජනතාව ඒ සියල්ලද සිත්හි තබාගෙන අදාළ අදහස් යෝජනා විමසීමේ අවස්ථාවන්ට සහභාගි විය යුතු බව නිරීක්ෂකයෝ අවධාරණය කරති. එනිසා පාලකයන්ගේ පොලීසියක් නොව ජනතාවගේ පොලීසියක් වෙනුවෙන් පෙළ සැදී කරුණු ඉදිරිපත් කළ යුතුය. නැතහොත් සිදුවන්නේ පාළු අම්බලමේ වළං බිඳීමක් සහ අම්බලමේ පිනාලා සිත් සේ නටමින් නීතියත්, සාමයත් තමන් අතට පත්කර ගැනීමකි.
එහෙත් කොමිසමට යොමුකරන පැමිණිල්ලක් විමර්ශනය කිරීම හෝ උත්තරවාචක සැපයීම පැත්තෙන් පොලීසිය ඉතා මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරන්නේ යැයි කොමිසමද ගතවූ කාලයේ මැසිවිලි නැගූහ. පළමුව කොමිසම නිවැරදි වෙමින් ඒ වරද නිවැරදි කළ යුතුය. එවිට පොලීසිය ඉබේම හැදෙනු ඇත. එනිසා පොලීසිය සහ මහජන සම්බන්ධතාව සමග කොමිසම සහ ජනතා සම්බන්ධතාවන්ද ප්‍රගුණ විය යුතුය. ඒ වෙනුවෙන් නිලධාරීන් කෙතරම් සමීප විය හැකිද යන ප්රශ්නය ජනතාවට ඇත.
පොලිස් කොමිසම ස්ථාපනය වන්නේ රටේ නීතිය සහ සාමය සුරක්ෂිත කරමින් ජනතාව කෙරෙහි වඩාත් අර්ථවත් සේවයක් කිරීමට නම් කොමිසම එහිලා ජනතාව දිරිගැන්වි යුතුය. වින්දිතයන්ට හෝ අගතියට පත් පාර්ශ්වයන්ට අධිකරණ ක්රියාදාමයකින් තොරව කොමිසම හරහා අලාභය සහ වන්දි අයකර ගැනීමට බලය පැවරෙන ආයතනයක් බවට කොමිසම පත් කළ යුතුය.
ඒ සියල්ල සිදු වූ විට පොලීසියේ මහත්වරු කොන්ද කෙළින් තබා තම කටයුතු කිරීමට නිතැතින්ම යොමු වනු ඇත. පොලිස්කාරයන් නීතියට ඇති බිය නිසා හෝ අපරාධයන්ට සහ අල්ලසටත් දූෂණයටත් ඇති අවස්ථාවන්ගෙන් වළකිනු ඇත. පොලීසිය රැකගත යුත්තේ දේශපාලකයන්ටත් වඩා පොලීසියේ ඇත්තන්ගෙන් බව ජනතාව කොමිසම හමුවේ පෙන්වා දිය යුතුය.
සියල්ල අවසානයේ අගතියට පත් පාර්ශ්වයට ඔබේ අවශ්‍යතාව ඉටු නොවුණා නම් නැවත අපට ලිපියක් එවන්න යැයි පැවසීම වෙනුවට අපේ අවශ්‍යතාව ඉටුවුණා යනුවෙන් අවංකව ස්වේච්ඡාවෙන් ප්‍රශංසා කළ හැකි තැනට කොමිසම පළමුව පත්කර ගත යුතුය. එවිට පොලීසියත් මහජනතාවත් අතර පැවතිය යුතු මනා සම්බන්ධතාවන්ද ඒ ආකාරයෙන්ම පවතින බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.
අවුරුදු 150ක් වයස්ගත පොලීසිය එදා මෙන්ම අදත් වැරදි කරති. හෙටත් ඒ වැරදි එසේම කරනු ඇතැයි ජනතාව උපකල්පනය කරති. සැකකරුවෙකුට පහර නොදී තර්ජනය කරමින් වතුර ටැංකියක හිස ඔබා හෝ ප්‍රකාශයක් ලබා ගැනීම හැර වෙනත් නූතන විමර්ශන ක්‍රමයක් පිළිබඳ ඔවුන්ට දැනුම පුහුණුව නැතැයි අපරාධ විද්‍යාව පිළිබඳ විද්වත්හු පෙන්වා දෙති.
හැම පොලිස් නිලධාරියෙකුටම මානව හිමිකම් පිළිබඳ දැනුම ලබාදිය යුතුය. ඔවුන් විමසන්නේ මානව හිමිකම් රැකීමත්, හොරු ඇල්ලීමත් යන දෙකම එකට බැහැ යනුවෙනි. අපේ පොලීසිය ගැන ජනතා ආකල්පයත් ජනතාව තුළ පොලීසිය කෙරෙහි පවතින ආකල්පයත් එය නම් ගමක නගරයක ඇවිද තොරතුරු රැස් කිරීමෙන් ඵලක් නොමැති යයි ජනතාව පවසන චෝදනා කොමිසම තේරුම් ගත යුතුය.
එසේනම් කොමිසමක් නිර්මාණය වීම තුළ වුවද ගතවූ කාලයේ නිවැරදි වූ වරදක් නැති තරම්යැයි ජනතාව පවසන දේ බැහැර කළ නොහැකිය. එසේ නිවැරදි වී නම් වසරකට පැමිණිලි 6000ට ආසන්න ප්‍රමාණයක් කොමිසමට ලැබෙන්නේද නැතැයි ක්ෂේත්රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. කොමිසම යාවත්කාලීන කර එය ජනතා මෙහෙවරක් නොවනතුරු පොලීසිය ජනතා සේවයක් බවට පත්කළ නොහැකි බව ජනතාව පවසන්නේද එහෙයිනි.
ගමෙන් ගම පළාතෙන් පළාතට යන කොමිසම මෙම කරුණු කෙරෙහි ජනතාවට වැඩි වැඩියෙන් උද්දීපනයක් ලබාදෙන්නේ නම් පොලීසිය සහ ජනතාව අතර පවතින විරසකය පිළිබඳ ජනතාවගෙන් තව තවත් රසබර - හරබර - හැඟුම්බර තොරතුරු ලබාගත හැකිවනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd