Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
'ඇපල් ෆාම්' ප්‍රදේශය නමින් හැඳින්වෙන මෙම අනවසර වගාබිම්, අද වනවිට අක්කර සිය ගණනක් පුරා විහිද ඇත්තේ පිදුරුතලාගල වනාන්තරයේ අධි පරිසර සංවේදී කලාපයකය. එනම්, උසින් අඩි 8292 ක් වූ (මීටර 2427) පිදුරුතලාගල කන්දේ අඩි 5000කට (මීටර් 1400) පමණ ඉහළ වළාකුළු වනාන්තර ආශ්‍රිතව මෙම වගාබිම් පවත්වාගෙන යනු දක්නට ලැබේ.'කුරුඳු ඔය මූකලාන' ලෙසද හඳුන්වනු ලබන මෙම ප්‍රදේශය, නුවරඑළිය දිසාවේ හල්ග්රන් ඔය වන සංරක්ෂණ අඩවියට අයත් කුරුඳු ඔයෙහි ඉහළ ජල පෝෂක ප්‍ර‘දේශයද වේ.
කුරුඳුඔය දිය ඇල්ල |
ශ්‍රී ලංකාවේ දෙවැනි උසම දිය ඇල්ල වන කුරුඳු ඔය ඇල්ලේ මූලාශ්‍රය වන මෙම ජල උල්පත වික්ටෝරියා, රන්දෙණිගල හා රන්ටැඹේ අභය භූමිය මධ්‍යයෙන් ගලාවිත් මහවැලි ගඟ හරස් කර ඉදිකරන ලද රන්දෙනිගල ජලාශයට වැටේ.එසේම, වලපනේ ප්‍ර‘දේශයේ පාරම්පරික කුඹුරු ගොවිතැන් සඳහා මෙන්ම ප්‍ර‘දේශවාසීන්ගේ පානීය ජල අවශ්‍යතාව සඳහාද යොදාගන්නා ප්‍රධානතම ජල ප්‍රවාහය මෙම කුරුඳු ඔයයි.ජල සම්පත් මණ්ඩලය විසින් මෙම ප්‍ර‘දේශය ජල පෝෂක ප්‍ර‘දේශයක් ලෙසට හඳුනාගනු ලැබ ඇති අතර, දේශගුණික රක්ෂිත ප්‍රදේශයක් ලෙසද සිතියම්ගත කර ඇත.
වගා බිම් තුළ බහුලව දක්නට ලැබෙන්නේ ගෝවා සහ අර්තාපල් වගාවන්ය |
නීති විරෝධී ලෙස සිදු කරගෙන යනු ලබන ඉහත කී වගා බිම් තුළ බහුලව දක්නට ලැබෙන්නේ ගෝවා සහ අර්තාපල් වගාවන්ය.මෙම වගා භූමි බෑවුම අංශක 12 සිට 60 දක්වා පරාසයක පිහිටා තිබෙන අතර, වැඩි ප්‍රමාණයක් බෑවුම අංශක 60 ට ආසන්නව පිහිටා තිබෙනු දක්නට ලැබේ.2006 අංක 01 දරන (1456/35) ගැසට් පත්‍රය මගින් අධික බෑවුම් සහිත ප්‍ර‘දේශවල වගා කටයුතු සිදුකළ නොහැකි බවට දක්වා තිබේ. එසේම 2009.01.05 වැනි දින එවකට සිටි කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද නියෝගයට අනුවද අංශක 60 ට වැඩි බෑවුම්වල වගා කටයුතු සිදු කිරීම නීතිවිරෝධීය.ඒ අනුව, ඉහත ඉඩම්වල වගා කටයුතු සිදු කරගෙන යාම නිත්‍යනුකූල නොවන බව අවිවාදයෙන් සඳහන් කළ හැකිය.
පාංශු ඛාදනය දැඩි ලෙස සිදුව ඇති අයුරු |
මෙම වගාකරුවන් කිසිදු විටෙක පාංශු සංරක්ෂණ ක්‍රම භාවිත නොකරන අතර, ඇතැම් ස්ථානවල අනවසර මැණික් ගැරීම්ද සිදු කරනු ලබයි. මෙසේ දැඩි ආනතියක් සහිත භූමිවල වගා කටයුතු සිදු කිරීමෙන් හා මැණික් ගැරීම හේතුවෙන් පාංශු ඛාදනය දැඩි ලෙස සිදුව ඇති අයුරුද දක්නට ලැබේ. මේ හේතුවෙන් කුරුඳු ඔයේ ඉහළ ජල පෝෂක ප්‍ර‘දේශයේ රොන් මඩ තැන්පත්ව ඇති අතර, ජල මාර්ගද අවහිරව ඇත. විශේෂයෙන් ඒ ආශ්‍රිතව ඇති ජලජ පැළෑටිවලට මෙන්ම ජලජ ජීවීන්ටද හානිවනු වැළැක්විය නොහැකිය.
මෙම වගා ආශ්‍රිතව සිදුවන දරුණුතම ක්‍රියාව නම්, අධි සාන්ද්‍රණය සහිත කෘමිනාශක ඒ සඳහා භාවිත කිරීමයි |
මෙම වගා ආශ්‍රිතව සිදුවන දරුණුතම ක්‍රියාව නම්, අධි සාන්ද්‍රණය සහිත කෘමිනාශක ඒ සඳහා භාවිත කිරීමයි. මෙහිදී වගාකරුවන් විසින් කෘමිනාශක, වල් නාශක, දිලීර නාශක මෙන්ම රසායනික පොහොරද ප්‍රමාණය ඉක්මවා අධිකව භාවිත කරනු ලැබේ. මෙම රසායනික ද්‍රව්‍ය සේවකයන් විසින් වගා බිම් වෙත ඉසිනු ලබන්නේ කිසිදු ආරක්ෂිත උපක්‍රමයක් භාවිත නොකරමිනි. එයිනිදු නොනැවතී ඉතිරි වන සියලු රසායනික අපද්‍රව්‍ය ඔවුන් විසින් බැහැර කරනු ලබන්නේ, කුරුඳු ඔයේ ආරම්භක ස්ථානයේ පිහිටි ජල මූලාශ්‍ර ආශ්‍රිතවය. මෙහි ඇති භයානක මෙන්ම ඛේදනීය තත්ත්වයද වචනයෙන් විස්තර කළ යුතු නොවේ.
වගාබිම් ආශ්රිත අක්කර සිය ගණන් ආවරණය වන පරිදි ඔවුන් විසින් ඉතා ශක්තිමත් නයිලෝන් දැල් භාවිත කර තිබේ |
වලපනේ ප්‍රදේශයේ බීමට ජලය ලබාගන්නා ප්‍රධාන මූලාශ්‍රය මෙම කුරුඳු ඔය බව ඉහතින් දැක්වූයෙමු. එසේම, පිදුරුතලාගල රක්ෂිතය තම නිජබිම කරගත් සතාසීපාවාද තම පිපාසය සංසිඳවාගන්නේ මෙමගිනි. එලෙස ජල අවශ්‍යතා සඳහා කුරුඳු ඔය ජල පෝෂක වෙත පැමිණෙන වන සතුන්ගෙන් සිය වගාබිම් ආරක්ෂා කරගැනීමටද මෙම වගාකරුවන් දැඩි උපක්‍රම අනුගමනය කර තිබේ. වගාබිම් ආශ්රිත අක්කර සිය ගණන් ආවරණය වන පරිදි ඔවුන් විසින් ඉතා ශක්තිමත් නයිලෝන් දැල් භාවිත කර තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් උසින් අඩි 30කට වඩා වැඩි ඒවාය. පිපාසය සංසිඳවාගැනීමට කුරුඳු ඔය වෙත පැමිණෙන වන සතුන්ට ජලය පෙනි පෙනී මියැදෙන්නට සිදුවන්නේ එලෙස සවිකර ඇති දැල් ආවරණවල ගැටීමෙනි.
|
විශාල ශාකයන්ද අධික විෂ සහිත වස දමා මරා දමයි |
ශ්‍රී ලංකාවට ආවේණික කඳුකර වලස් වඳුරන් (Bear Monkeys), ගෝනුන්, මුවන් මෙන්ම පක්ෂීන්ද එලෙස මියයන සතුන් අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන බව පැවසේ. මරණයට පත්වන එවැනි සතුන් අවසානයේ වගාකරුවන්ගේ දඩමස් ජාවාරමේ කොටස් බවට පත් වේ.අනවසර වගා කටයුතු, මැණික් ගැරීම්වලට අමතරව පිදුරුතලාගල රක්ෂිතය තුළ දඩමස් ජාවාරමද සිදුවන්නේ එලෙසය.එමගින්ද සෑහීමකට පත් නොවන මෙම වගාකරුවෝ එළිපෙහෙළි කරන ලද වගාබිම්වල ඉතිරිව ඇති විශාල ශාකයන්ද අධික විෂ සහිත වස දමා මරා දමති. අනතුරුව ඒවා කපා මුදලට විකුණනු ලබන අතර, ඉතිරි ඒවා ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා භාවිත කරති.
විදුලිබල මණ්ඩලය මගින් විදුලි බලය ලබාදීමට පසුගිය සමයේ බලධාරීන් විසින් කටයුතු කර ඇත්තේ කෙසේද |
පිදුරුතලාගල රක්ෂිතයේ ඇපල් ෆාම් නමින් මේ දක්වා සිදු කරමින් පවතින අනවසර වගා කටයුතු සම්බන්ධයෙන් කරුණු ගෙනහැර පෑමේදී, බලධාරීන්ගෙන් ඇසිය යුතු වඩා වැදගත් කරුණක් ඇත. එනම්, මෙම නීතිවිරෝධී වගාබිම් සඳහා විදුලිබල මණ්ඩලය මගින් විදුලි බලය ලබාදීමට පසුගිය සමයේ බලධාරීන් විසින් කටයුතු කර ඇත්තේ කෙසේද යන්නයි. පිදුරුතලාගල රක්ෂිතයේ ට්‍රාන්ස්ෆෝමර සවිකර විවෘත කිරීමේ සමරු ඵලකද සිටුවා බලධාරීන් විසින් වගාකරුවන් වෙත විදුලි බලය ලබා දී ඇති අයුරු දක්නට ලැබෙයි.
විදුලි සැර වැදී මියයන සතුන්ද දඩමස් ලෙස අලෙවි කරනු බව පැවසේ |
වගාබිම් ආශ්රිත කටයුතු සඳහා විදුලි බලය යොදාගන්නා අතරම ප්‍රධාන විදුලි බල පද්ධතිය හරහා අනවසර විදුලි රැහැන් යොදා වන සතුන්ගෙන් වගා ආරක්ෂා කරගැනීමේ උපක්‍රමද අනුගමනය කර තිබේ.'අන්ත්‍රාවයි' යනුවෙන් දැක්වෙන දැන්වීම් පුවරු ඒවායේ රඳවා ඇති අතර, විදුලි සැර වැදී මියයන සතුන්ද දඩමස් ලෙස අලෙවි කරනු බව පැවසේ.මෙම අනවසර වගා හේතුවෙන් සිදුව ඇති තවත් අහිතකර ප්‍රතිඵලයක් නම්, පිදුරුතලාගල රක්ෂිතය පුරා ශීඝ්‍ර‘යෙන් ආක්‍රමණශීලී ශාක පැතිර යාමයි. වනාන්තර ගිනි තැබීම හේතුවෙන් මිහිදුම් ශාක (Mist Flower), පොඩිසිඥ්ඥො මරං, කටු කළුබෝවිටියා ආදී විවිධ ආක්‍රමණශීලී ශාක මේ වනවිටත් වනාන්තරය වසා පැතිරෙමින් පවතිනු දක්නට ලැබෙයි. ෙමම ආක්‍රමණශීලී ශාක නිසා ප්‍රදේශයේ ශාක විවිධත්වයට බරපතළ තර්ජනයක් එල්ලවී තිබේ.
විවිධ ආක්‍රමණශීලී ශාක මේ වනවිටත් වනාන්තරය වසා පැතිරෙමින් පවතිනු දක්නට ලැබෙයි |
මෙහිදී නිරීක්ෂණය වන තවත් වැදගත් කරුණක් නම්, රක්ෂිතය තුළ විශාල භූමි ප්‍ර‘දේශයක් අත්පත් කරගෙන ඇති මහා පරිමාණ වගාකරුවන් බාහිර පුද්ගලයන් වෙත විශාල මුදලකට එම භූමි බදුදීමයි. එසේම මෙම වගාබිම් ආසන්නයට හෝ ඇතුළු වීමට කිසිදු පුද්ගලයෙකුට ඉඩ ප්‍රස්තාවක් නොදෙන්නේද මෙම වගාකරුවන් විසින්මය. යම් ලෙසකින් එලෙස බාහිර පුද්ගලයෙකු ඇතුළු වී යැයි දැනගන්නට ලැබුණහොත් ඔවුන් වඩා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවද පැවසේ. ඒ අනුව, සාමාන්‍ය වැසියෙකු එම ප්‍ර‘දේශයට ඇතුළුවන්නේ නම් රහසිගතව ඇතුළු විය යුතුය.
රටේ ජනාධිපතිවරයා පරිසර අමාත්‍යවරයාව සිටින මෙවැනි කාලවකවානුවකදීද අධි පරිසර සංවේදී කලාපයක් තුළ නීතිවිරෝධීව ආධිපත්‍යය පතුරුවන්නට තරම් මෙම එළවළු වගාකරුවන් නිර්භයව හැසිරෙන්නේ කෙසේද? |
රටේ ජනාධිපතිවරයා පරිසර අමාත්‍යවරයාව සිටින මෙවැනි කාලවකවානුවකදීද අධි පරිසර සංවේදී කලාපයක් තුළ නීතිවිරෝධීව ආධිපත්‍යය පතුරුවන්නට තරම් මෙම එළවළු වගාකරුවන් නිර්භයව හැසිරෙන්නේ කෙසේද? මෙම වගාකරුවන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් නොදන්නවා යැයිද කිව නොහැකිය. මෙහිදී විශේෂයෙන්, වැඩි අවධානයක් යොමුකළ යුත්තේ නීතිය ඉදිරියේ පෙනී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ අකර්මන්‍යතාව කෙරෙහිය. ඒ අනුව විධිමත්ව නෛතික ක්‍රියාමාර්ග ගැනීම දැන්වත් කඩිනමින් සිදුවිය යුතුය.
කුරුඳුඔය ජලමූලාශ්ර ආසන්නයේ බැහැර කර ඇති රසායනික අපද්‍රව්‍ය |
එසේම වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත්, මේ වනතෙක් පාරිසරික සංරක්ෂණ කලාප සඳහා වූ ගැසට් පත්‍රිකා නිකුත් නොකිරීම කෙරෙහිද පරිසරවේදීන් මෙන්ම පරිසර නීතිඥවරුද දැඩි කණස්සල්ලෙන් පසුවෙති.බොහෝ පරිසරවේදීන් මැසිවිලි නඟන්නේ සංරක්ෂණය වියයුතු පරිසර කලාප සම්බන්ධයෙන් අදාළ ගැසට් පත්‍රිකා ලේඛන බොහෝමයක් මේ වනවිටත් සැකසී අවසන් අදියරේ තිබුණද, ඒවා පරිසර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වීමේ දැඩි ප්‍රමාදයක් දක්නට ලැබෙන බවයි.ඒ අනුව මෙම සියලු කාරණා කෙරෙහි පරිසර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුවිය යුතු නොවේද? සියල්ල තම පරිභෝජනය සඳහා පමණකැයි සිතන ආත්මාර්ථකාමී මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් හෝ නවතා දැමීමට හැකිවනු ඇතැයි අපේ විශ්වාසයයි.
කෘතිම පොහොර මල්ලක් |
රක්ෂිතයේ ගිනි තබා ඇති ප්‍රදේශයක් |
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd