අභාවයට පත්වී හෙටට වසර 84ක් සපිරීම නිමිත්තෙනි
ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසුව ඉන්දියානුවන් මහත්මා ගාන්ධිතුමා ජාතියේ පියා ලෙස සලකනු ලැබුවාක් මෙන් ලංකාවට නිදහස ලැබීමෙන් පසු සිංහලයන් විසින් ජාතියේ පියා ලෙස සලකනු ලැබිය යුත්තේ අනගාරික ධර්මපාල තුමාය. ධර්මපාලතුමාට වඩා අසවලා මේ රටට සේවය කළේය.
ජාතියට ආදරය කළේය යැයි කිවයුත්තෙක් නැත.ධර්මපාලතුමා ලංකාවට කළ සේවය එතුමා ඉන්දියාවේ ඉපිද ඉන්දියන්කාරයෙක්ව ඉන්දියාවට කළේ නම් ඒකාන්තයෙන්ම ඉන්දියානු ජාතියේ පියා ලෙස සලකනු ලබනු ඇත. දැනුදු එතුමාගේ නමට ඉන්දියාව සලකන්නේ මහත් ගෞරවයකිනි.
ලාංකිකයන් ලබාගත් නිදහස් මන්දිරයේ අත්තිවාරම දැම්මේ ධර්මපාලතුමාය. මන්දිරයක් තැනීමට වල් කොටා පොළව සකස් කළේ එතුමාය. එතුමා නිදාසිටි සිංහලයන් නඟසිටුවූයේය. කොන්ද නැමී තිබූ සිංහලයන්ගේ කොන්ද කෙළින් කළේය. බියගුලු සිංහලයන් නිර්භීත කළේය.කම්මැලි සිංහලයන් කාර්යශූරයන් කළේය.
ජාත්‍යාලය යනු කුමක්දැයි නොදැන සිටි සිංහලයන්ට ජාත්‍යාලය ඇති කළේය. එසේ කළේ අවවාදයෙන් නොවේ. ගොන් තඩියා, වල්අලියා වැනි තද පරුෂ වචන නමැති රඹුක්තුවෙනි. ඒ වචන මේ කාලයට නම් නොගැළපිය හැකිය. එහෙත් එදා එබඳු වචන අතිශයින්ම අවශ්‍යවිය. යෝග්‍ය විය. බැණ වැදී සැරවැර කොට ජාතියක් ප්‍රබෝධ කළ ලොව මෙතෙක් උපන් එකම නායකයා ධර්මපාලතුමාය.
සිංහලයන්ට ඇති එකම රට ලංකාවයි. බුද්ධාගම සිංහල ජාතියේ ජීව රුධිරයයි. එබැවින් මේ රටේ ආරක්ෂා කරගත යුතුශ්රේෂ්ඨම වස්තු දෙක සිංහල ජාතිය හා බුද්ධාගමයි. මේ බව හොඳින් දැන සිටි සිංහල නායකයා ධර්මපාලතුමාය. ඒ සඳහා අවංක,නිර්භීතව වැඩ කළ එකම නායකයා එතුමාය.
එතුමා මැති ඇමතිකම් පැතුවේ නැත. දේශපාලනය කරට ගත්තේ නැත. නියම සිංහලයෙකු ලෙස ඉපිද නියම සිංහලයෙකු හැටියට අන්තිම හුස්ම හෙලුවේය. නියම බෞද්ධයෙකු හැටියට ඉපිද නියම බෞද්ධයෙකු හැටියට අපවත්විය.
(ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල, පූජ්‍ය පණ්ඩිත ගණේගම සරණංකර නාහිමි පිටු 57-58 – 2013)
ශ්‍රී දේවමින්ත ධම්මපාල හිමි වීමට පෙර
අනගාරික ධර්මපාල තුමා
මාතර හිත්තැටියේ හේවාවිතාරණ ඩිංගිරි අප්පුහාමිගේ පුතු වූද අගනුවර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූද තරුණ දොන් කරෝලිස් හේවාවිතාරණ මහතාගේත්, දොන් අන්ද්‍රියස් ධර්ම ගුණවර්ධන මහතාගේ දියණියක් වූ ශ්‍රීමති මල්ලිකා ධර්ම ගුණවර්ධන මහත්මියගේත් වැඩිමහල් පුතණුවන් වශයෙන් උපත ලත් මේ කුමරුවා එදා පැවති පරිසරය අනුව උප්පැන්න ලියාගත් පල්ලියේ දේවගැතිතුමාගේ අභිමතය පරිදි දොන් ඩේව්ඩ් හේවාවිතාරණ නමින් හඳුන්වන ලද්දේය.
සැදැහැබර මල්ලිකාවන් දිනපතා මල් පහන් පුදා ප්‍රාර්ථනා කළේ බෝසත් ගුණැති පුත් රුවකට මාතාවක් වීමටය. එතුමා 1864 සැප්තැම්බර් මස 17 වැනිදා උපත ලද්දේ අප රටේ වාසනාවටය. ඩේවිඩ් යන නාමය අතහැර ධර්මපාල හේවාවිතාරණ යන නාමයෙන් සිය කටයුතු ඇරඹූ මේ මහාවීර පුරුෂයාට සම කළ හැකි වීරවරයෙක් මේ ධරණිතලයේ බිහි වී නැත.
ඩේව්ඩ් හේවාවිතාරණ හා උපතින් අවුරුදු නවයකට පසුව සිය පියාණන්ගේත්, මයිලණුවන්ගේත් අගනුවර වෙනත් සැදැහැති බෞද්ධ ප්‍රභූන්ගේත් දායකත්වය ඇතිව 1873 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවීමෙන් පසුව එහි අධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ පා සෙවණෙහි සිංහල, පාලි සහිත බුද්ධ ධර්මය හදාරන්නට ඔහුට භාග්‍යය ලැබුණි. එසේවුවත් වයස අවුරුදු පහේදී ඔහුට හා හාපුරා කියා යන්නට සිදුවූයේ කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයටය (අනගාරික ධර්මපාල -ඩේවිඩ් කරුණාරත්න පි14 – 2012)
අනගාරික ධර්මපාලතුමාගේ අද්විතීය වික්‍රමය වනාහී බුද්ධගයාව බෞද්ධයන්ට යළි ලබාදීම සඳහා ගත් ප්රයත්නයයි. 'බුද්ධගයාව බේරාගනිව්' යන පාඨයෙන් සකළ ලෝකවාසී බෞද්ධ ජනතාවගේද නායකයන්ගේද සිත් මෙම ප්රශ්නය දෙසට යොමු කළ මහා බෞද්ධහඬ නැගුණේ අනගාරික ධර්මපාලතුමාගේ සහ එතුමාගේ මූලිකත්වයෙන් 1981 දී බිහි කළ මහාබෝධි සමාගමෙනි.
ඒ වනවිට බුද්ධගයාව අන්‍යාගමිකයන් විසින් සිය ග්‍රහණයට යටත් කරගෙන තිබුණි. දඹදිව (මෙකල ඉන්දියාව ඇතුළු රටවල) බුදු සමය ව්‍යාප්ත කිරීම මෙතුමාගේ ජීවිතයේ අතිශයින්ම සාර්ථක වැදගත් කාර්යයකි. අශෝක රජතුමාගේ කාලයේ සිට ලංකාව ඉන්දියාවට ණයගැතිව සිටියේ බුදු සමය හා බෞද්ධ සංස්කෘතිය මෙහි එවුණු නිසාය.
(මිහිඳු මහරහතන් වහන්සේ සහ සංඝමිත්තා මෙහෙණිය අසෝක රජුගේ ගිහි කල පුතා සහ දියණියයි) ඒ ණය ගෙවා දැමීමට සිංහලයන්ට ඉඩ ලැබුණේ අනගාරික ධර්මපාලතුමාගේ නායකත්වයෙන් ගෙන ගිය සාර්ථක වූ කාර්යයන් නිසාය. සාරානාත්හී පිහිටුවන ලද මුලගන්ධකුටි විහාරය මෙතුමාගේ තවත් වික්‍රමයකි. මෙය දඹදිව බුදුසසුන පිහිටුවාලීමට ගත් උත්සාහය මූර්තිමත් කොට දක්වන්නකි.
ඒ කාලයේදී (19 වන සියවසේ මුල් භාගයේදී) ඉන්දියාව, පාකිස්ථානය සහ නේපාලයද එකම රටක් ලෙසින් පැවතුණි. එරට උපන් කිසිම බෞද්ධ නායකයෙකුට හෝ (ඒ රටවල) දේශපාලනඥ‘යෙකුට කළ නොහැකිව තිබූ සුවිශේෂී ක්‍රියාදාමයක් මගින් අනගාරික ධර්මපාලතුමා ඉටුකළ මෙහෙය මේ රටේ පාසල් දූ දරුවන්ට ඉගැන්වීම වඩා ප්රබලව කළයුතුව ඇත.
අප රටේ ඉතිහාසය පිළිබඳ පොතේද අනගාරික ධර්මපාලතුමා පිළිබඳ ඉතා දීර්ඝ පරිච්ඡේදයක් වෙන් කළයුතුව ඇත.
(සිදුහත් කුමරු උපන් මායාදේවි විහාරය සිරිසමන් විජේතුංග පි.114(2014)
කර්නල් ඕල්කට්තුමා ලංකාවට පැමිණීම සිදුවූයේ පානදුරාවාදය පිළිබඳ තොරතුරු දැනගැනීමෙන් පසුවය. කර්නල් ඕල්කට්තුමා රටවටා යන අවස්ථාවලදී ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් කරන ලද දේශන සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සඳහා මෙරට සිංහල බෞද්ධ තරුණ‘යෙකු කටයුතු කළේය.
ඉතා චතුර ලෙසින් ඉංග්‍රීසියෙන් කතා කළ හැකි ඒ තරුණයා ඒ වනවිට වයස අවුරුදු 16 ක් වූ ඩේවිඩ් හේවාවිතාරණය. සෙන්පති හෙන්රි ඕල්කට්තුමාගේ ලංකාගමනය ලංකාවේ බෞද්ධ පුනර්ජීවනයට පමණක් නොව ඩේවිඩ් හේවාවිතාරණ තරුණයාගේ ජීවිතය ශාසනික ජාතික හා විශ්වසේවයට නිර්වශේෂයෙන් නැඹුරුවීමට හේතුවූ අන්දම දැකිය හැකිය. (අනගාරික ධර්මපාලතුමා අපදානය - කේ.බී. සුගතදාස පි.27 (1986)
අනගාරික ධර්මපාලතුමා බෞද්ධයන්ගේ උදාසීනත්වය ගැන කලකිරුණේය. සෑම වේදිකාවකින්ම ඔවුනට බැන වැදුණි. තමාගේ රට, ජාතිය, ආගම ගැන නොතකා පරසිරිත් වැලඳගෙන වහල් අදහස් ඇතුව ජීවත් වූ සිංහලයන්ට සිය ජාතික ආගමික දායාදයෙහි අගය පහදා දුන්නේය. බුදු සසුනේ පිරිහීම නිසා කම්පා වූ අතර, එය නගාසිටුවීමට නන් අයුරින් කටයුතු කළේය.
ඒවනවිට සිංහලයා මත් වතුරට සහ සූදුවට ඇබ්බැහිවී සිටියේය. මේ පිළිබඳ අනගාරික ධර්මපාලතුමා විශේෂිත රථයක් සකස් කරගෙන ගමින් ගමට ගොස් සිංහල බෞද්ධ ජනයා දැනුවත් කිරීමෙහි සිදුකළ මෙහෙය සදානුස්මරණීය වන්නේය. දිනපොත් ලිවීමේ පුරුද්ද එතුමා දිගටම කරගෙන ගියේය. එය හෙන්රි ඕල්කට්තුමාගේ ලද ආභාසයක් ලෙසින්ද සැලකේ.
සිංහල බෞද්ධයා මුහුණදී ඇති ප්‍රශ්න ගැන මෙන්ම සාරධර්ම නගාසිටුවීම සඳහා අනගාරික ධර්මපාලතුමා සිංහල බෞද්ධයා නමින් සතිපතා පුවත්පතක්ද ආරම්භ කළේය. මහාබෝධි සඟරාවෙන් ලෝක බෞද්ධ ජනතාවටද සන්නිවේදනය කළ අනගාරික ධර්මපාලතුමා ලංකාවට පමණක් නොව ඉන්දියාව ආශ්‍රිතව ලෝක ජනතාවටද ඉමහත් සේවාවක් ඉටු කළේය.
වාර්තා ලිවීම සහ දිනපොත දෛනිකව ලිවීමේ පුරුද්ද අනගාරික ධර්මපාලතුමාට තිබුණු නිසා වෙනත් කිසිදු ජාතික නායකයෙකු සතුව නොමැති ලේඛන සම්භාරයක් සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් ලියවී තිබීම ඉතා වැදගත් වන්නේය.
(අනගාරික ධර්මපාලතුමා සහ සිංහල බෞද්ධ ජන සමාජය සිරිසමන් විජේතුංග පි.21-22 පිලියන්දල තරුණ බෞද්ධ සමිතිය අනුග්‍රහයෙන් පවත්වන ලද දේශනය -2014)
ළදරු වයසේදී ඩේවිඩ් හේවාවිතාරණය. තරුණ වයසේදී ධර්මපාල හේවාවිතාරණය. 31 වැනි වියේදී අනගාරික ධර්මාපාලය. ජීවිතයේ අවසාන වර්ෂ තුනේදී සිරි දේවමිත්ත ධර්මපාල හිමිපාණෝය. චරිතයක පරිණාමය එසේය.
1.අනගාරික ධර්මපාලතුමා අවංක අව්‍යාජ ජනනායකයාමය. 2.සිංහල සංස්කෘතිය රැකගැනීම සඳහා මහා සටනක් කළ වීරවරයාය.
3. අතිදක්ෂ බෞද්ධ ධර්ම දූතයාය.
4. අමද්‍යප සටනේ සෙන්පතියාය.
5. අතිදක්ෂ කථිකයාය.
6. ප්‍රසිද්ධියේ සුද්දන්ට බැන වැදුණු එකම සිංහලයාය.
7. නිර්භීත සිංහලයාය.
8. බුද්ධගයාව අන්‍යාගමිකයන්ගෙන් බේරාගත් පතාක යෝධයාය.
9. ජාතියේ පියාය
10. දහනව වැනි ශතවර්ශ‘යේ විසූ ජාත්‍යන්තර කීර්තිමත් සිංහලයයා.
ඒ මහා වීරපුරුෂයා අපවත්වීමට අවුරුදු 3කට ඉහතදී ශ්‍රී දේවමිත්ත ධර්මපාල නමින් භික්ෂූන් වහන්සේ නමක්වූ උන්වහන්සේ 1933 අප්‍රේල් මස 29 වැනිදා එනම් මීට වසර 84කට ඉහතදී අවසන් හුස්ම හෙළුහ. උන්වහන්සේගේ අවසන් පැතුම වූයේ ශාන්තිනායක බුදුපියාණන් වහන්සේගේ ධර්මය ප්‍රචලිත කිරීම සඳහා විසිපස් (25) වතාවක් යළි ඉපදේවා යන්නය.මේ මහා වීර පුරුෂයාණන් එදා අපවත් වූයේ ඉන්දියාවේය. නැවත උපත ලබන්නද පැතුවේ ඒ රටේය.
සිරිසමන් විජේතුංග