තවත් වසර 2කින් සර්ප දෂ්ටනයට අපේ රටේම ප්‍රතිවිෂ ඖෂධ
ලාංකේය සමාජයේ ජන ජීවිතය තුළ පැනනගින ඉතාම වැදගත් මෙන්ම සාකච්ඡා කළ යුතු ගැටලුවක් වශයෙන් සර්ප දෂ්ටනය සහ එම විෂ ශරීරගත වීම නිසා දෛනිකව මියයන ප්‍රමාණය හඳුනාගත හැකිය. ප්‍රජා සෞඛ්‍ය තුළ නිශ්චිත දත්ත නොමැතිකම සහ ඒ සඳහා ජනතාවගේ නිවැරදි අවබෝධයක් නොමැතිකම නිසා රටට සෞඛ්‍ය අංශයෙන් මෙන්ම ආර්ථික අංශයෙන්ද විශාල පාඩුවක් වාර්ෂිකව සිදු වේ. වර්ෂයකට මෙවැනි සර්ප දෂ්ටන සඳහා ප්‍රතිවිෂ ඖෂධ ගෙන්වීම සඳහා රජය දරන වියදම මිලියන 600කි. මෙවැනි පුළුල් පරාසයක් පුරා පැතිර ඇති මේ ගැටලුව පිළිබඳ නිවැරදි දත්ත විනිශ්චයකින් අනතුරුව බොහෝ කරුණු කාරණා හෙළි කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සමත් විය.
මේ පිළිබඳ නිශ්චිත දත්ත රෝහල්වල පවා වාර්තා වූයේ ඉතා අඩු වශයෙනි. එනිසා මෙම පරීක්ෂණය ආරම්භ කිරීමට ප්‍රථම රෝහල් දත්ත රැස්කර එය හොඳින් සකස් කර මූලික වශයෙන් විශ්ලේෂණය කරනු ලැබීය. අනතුරුව ගෘහ ඒකක වශයෙන් සමස්ත ජනගහනයෙන් 01%ක් පමණ ප්‍රමාණයක් ආවරණය වන පරිදි මේ සඳහා අවශ්‍ය පර්යේෂණ නියැදිය සකස් කළ අතර, ඉන්පසු ක්‍රමානුකූලව මෙම පරීක්ෂණය සිදු කෙරිණි. මෙය ප්‍රධාන වශයෙන් ලංකාව කලාප තුනක් යටතේ ගෙන පළාත් 09ම ආවරණය වන පරිදි පරීක්ෂණය සිදු කෙරිණි. ඒවා වියළි කලාපය, තෙත් කලාපය සහ අන්තර් මධ්‍යයන කලාපය ලෙස නම් කෙරිණි.
මේ පර්යේෂණය තුළින් සර්ප දෂ්ටන පැතිරීම සහ එහි සෞඛ්‍ය අංශය සම්බන්ධයෙන් ප්‍රජාවට තිබෙන වැදගත්කම පිළිබඳ මූලික අවධානයක් දැක්වීය. මෙය 2000 වර්ෂයේ මූලික වශයෙන් ආරම්භ කළ අතර, ඒ කාල පරිච්ජේදය තුළ සර්ප දෂ්ටනයෙන් සිදු වූ මරණ සම්බන්ධ දත්ත පමණක් ලිඛිතව වාර්තාගතව තිබිණි. ඒ අනුව රෝහල් දත්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරන දත්ත අනුව පරීක්ෂා කිරීමේදී වර්ෂයක් තුළ මේ සම්බන්ධ සිදුවීම් වාර්තා වී තිබුණේ 40,000ක් පමණ ප්‍රමාණයක් පමණකි. මරණ සංඛාව වාර්තා වී තිබුණේ 200ක් පමණය. නමුත් ඒ දත්ත මගින් පමණක් මෙම පර්යේෂණය සිදු කිරීම ප්‍රමාණවත් නොවන නිසාවෙන් ප්‍රජාමූල පරීක්ෂණයක් ලෙසින් මෙය ආරම්භ කෙරිණි. එහිදී අනාවරණය වූ කාරණයක් නම් මේ සර්ප දෂ්ටනය නිසා සිදුවන මරණ සංඛ්‍යාව රෝහල්ගතව තිබූ දත්තවලට වඩා දෙගුණයකට වඩා වැඩි අගයක් ගන්නා බවයි. විශේෂයෙන්ම මේ ලක්ෂණ ග්‍රාමීය ප්‍රදේශවලින් බහුලව වාර්තා වූ දෙයක් විය.
ලංකාවේ වියළි කලාපය තුළ සර්ප දෂ්ටනය වැඩි අගයක් ගනියි. එහි අනතුරුදායක බවින්ද වැඩිය. රෝගී වීම, ඒ පිළිබඳ ඇති අවදානම් සහගත බව අපි නොයෙක් වර අසා ඇත්තෙමු. නමුත් මෙම පර්යේෂණයේදී අනාවරණය වූයේ, සර්ප දෂ්ටන වැඩියෙන්ම තිබෙන්නේ තෙත් කලාපයේ සහ අන්තර් මධ්‍යයන කලාපයේ වුවත්, සර්ප දෂ්ටන විෂවීම් වැඩියෙන්ම තිබෙන්නේ වියළි කලාපය තුළ බවයි.
මෙම පරීක්ෂණය තුළින් ලබාගත් සංකීර්ණ තොරතුරු ඔස්සේ සර්ප දෂ්ටන අවදානම පිළිබඳ සිතියම්ගත කිරීමක්ද සිදුකෙරිණි. මේ සිතියම්ගත කිරීම තුළින් සර්ප දෂ්ට කිරීමේ අවධානම වැඩි වශයෙන් වාර්තා වන්නේ කිනම් ප්රදේශවලද, සර්ප දෂ්ටනයේ විෂ වීම් වැඩි වශයෙන් සිදුවන්නේ කුමන ප්‍රදේශයේද යන්න පැහැදිලිව අධ්‍යයනය කිරීමේ හැකියාව තිබේ. මෙය සෞඛ්‍ය ක්ෂේත්රයේ පහසුකම් සැපයීමේදී විශේෂයෙන් ඉතා වැදගත් කාරණයක් බව පර්යේෂක කණ්ඩායම පවසයි.
වියළි කාලාපයේ ප්‍රදේශ අතරිනුත් සර්ප දෂ්ටන අවදානම බහුල වශයෙන් නැගෙනහිර, උතුරුමැද, සබරගමු පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන්න ප්රදේශවලයි. මේ කලාප වල කෘෂිකර්මාන්තය බහුල වශයෙන් සිදු වීමත් මේවායේ ජනගහනය අඩු වූවත් වනගහණය වැඩි වීම එයට ප්‍රධාන හේතුවයි. සර්ප දෂ්ටනය සම්බන්ධ බලපාන්නා වූ සාධක විමසීමේදී සාධක රැසක් හදුනාගැනීමට පිළිවන. විශේෂයෙන් ජනගහණය වැඩි වීමට සාපේක්ෂව සර්ප දෂ්ටනය සිදුවීම අඩු මට්ටමක පවතියි. විශේෂයෙන්ම මුහුදු මට්ටම ආශ්‍රිතවද සර්ප දෂ්ටනය සහ විෂ වීම් අඩු අගයක් ගනු ලබයි. එමෙන්ම කෘෂිකාර්මික ප්‍රදේශවල ජනගහණය 10෴ට වඩා වැඩිනම් ඉතා සීග්‍රෙයන් සර්ප දෂ්ටන මෙන්ම විෂවීම් හී ඉහළ අගයක් ගනු ලබයි.
එමෙන්ම සර්ප දෂ්ටනයෙන් පසු සෞඛ්‍ය සේවා ලබාගැනීම පිළිබඳවද මේ පර්යේෂණය මගින් අවධානයට ලක්කෙරිණි. මෙහිදී විශේෂයෙන් මරණ සිදුවන්නේ ප්‍රමාණවත් සෞඛ්‍ය සේවාවක් නොලැබීමෙන්ද යන්න පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
කලාපයේ අනෙක් රටවලට වඩා ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳ හොද අවබෝධයක් ජනතාවට ඇති අතර, ඒ අනුව සර්ප දෂ්ටනයට ලක් වූ පුද්ගලයන්ගෙන් 98%ක්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු වෙති. නමුත් රජයේ බටහිර වෛද්‍ය ක්‍රමය සඳහා යොමු වන්නේ 55෴ක් වැනි ප්රමාණයකි. මෙයින් 45%ක් වැනි ප්‍රමාණයක් යොමු වන්නේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහාය. ලංකාවේ මේ සර්ප දෂ්ටනය පිළිබඳ බටහිර ක්‍රමයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට සාපේක්ෂව දේශීය ක්‍රමය තුළ පාරම්පරික හා දේශීය වශයෙන් ලියාපදිංචි වූ වෛද්‍යවරු වැඩි ප්‍රමාණයක් සිටිති.
සර්ප දෂ්ටනද රැසක් තිබේ. නමුත් මෙහිදී අවධානය දැක්විය යුත්තේ සර්ප විෂවීම් පිළිබඳවය. මේ විෂවීම් පිළිබඳ සලකා බැලීමේදී ඔවුන්ගෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබති. ඒ අනුව මේ පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී සර්ප විෂ වීම තමන් ජීවත් වන ප්‍රදේශයේ බහුලව සිදුවන දෙයක් නම්, ජනතාව බහුල වශයෙන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි. නමුත් මෙවැනි දේ සම්බන්ධව මෙම පර්යේෂණයට ප්‍රථම නිවැරදි අනාවරණයක් නොතිබුණු හෙයින් ඇතැම් විට වැරදි නිගමනවලට පවා එළඹ තිබේ.
ග්‍රාමීය ජනතාව තුළ වුවත් සෞඛ්‍යය පිළිබඳ ඇති අවබෝධය යහපත්ය. ඔවුන් සර්ප දෂ්ට කිරීම් සම්බන්ධයෙන් බටහිර වෛද්‍ය ක්‍රම පවා අනුගමනය කර තිබේ.
රජයේ රෝහල්වල ප්‍රතිවිෂ තිබෙන හෙයින් සර්ප දෂ්ටනයකින් පසු විෂවීමේ ලක්ෂණ ඇතැයි කෙනෙකුට සිතුනහොත් ඔහු හෝ ඇය රජයේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා යොමු වීම ඉතා වැදගත්ය.
එමෙන්ම සර්ප දෂ්ටන නිසා ලංකාවට සිදුවන ආර්ථික බලපෑම විශ්ලේෂණය කිරීමද ඉතා වැදගත් කාරණයක්. මීට පෙර ඒ පිළිබඳ ක්රමානුකූල විමර්ශනයක් සිදුකර නොතිබිනි. සෞඛ්‍ය ක්ෂේත්රය අනුව මෙහි වියදම රුපියල් බිලියන 1.4ක් වේ. මෙයින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් බිලියනයක මුදලක් වියදම් කර තිබෙන අතර ඉතිරිය ජනතාව විසින් වියදම් කොට තිබේ.
අපේ රටේ සර්ප විශේෂ 98ක් වැනි සංඛ්‍යාවක් සිටියද එයින් විෂකුරු වන්නේ සර්පයන් 06 දෙනෙකු පමණි. නාගයා, තිත් පොළඟා, මල් කරවලයා සහ තෙල් කරවලා, කුණකටුවා, වැලි පොළඟා සහ පළා පොළඟා ආදී ලෙස ඔවුන් නම් කළ හැකිය. නමුත් මේ අවසානයේ සඳහන් කළ සර්පයන් තිදෙනාද එතරම් විෂ සහිත නොවේ. නාගයන්, කරවලුන් සහ පොළඟුන් වැනි විෂ සහිත සර්පයන් වැඩිපුර සිටින්නේ වියළි කලාපය තුළය. තෙල් කරවලුන් වියළි කලාපයේ පමණක් දැකගත හැකි සර්ප විශේෂයක්
මෙවැනි සර්පයන් දෂ්ට කළ පසු කළහැකි ඉක්මන් ප්‍රතිකාරය වන්නේ රෝගීයාට ප්‍රතිවිෂ ලබාදීමයි. මේ ප්‍රතිවිෂ මූලික වශයෙන් මෙරටට ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි. ප්රතිවිෂවල ඇති අහිතකර කාරණවක් වන්නේමේවායෙහි අතුරු විපාක තිබීමයි. මේවා ඉතා උග්‍ර අතට පත්විය හැකි අතර, ඇතැම් අවස්ථාවල මරණය පවා සිදුවීමේ ඉඩකඩක් පවතියි.
මේ නිසාම ප්‍රතිවිෂ භාවිත කිරීමට ජනතාව බිය වෙති. එහෙයින් ඊට විසඳුම් සෙවිය යුතුය. එයට එක් විසඳුමක් ලෙස අපේ රට තුළ මේ සඳහා ප්‍රතිවිෂක් නිපදවිය යුතු අතර, එහිදී විශේෂයෙන් අප සැලකිලිමත් විය යුත්තේ ප්‍රතිවිෂ නිසා ඇති වන අතුරු විපත් පිළිබඳවය. ඒ ගැනද මෙම පර්යේෂණය මගින් විමර්ශනයක් සිදු කෙරිණි. ඒ සදහා සර්ප විෂ ශරීරගත වූ රෝගීන් 1000ක සාම්පලයක් යොදා ගැනුණි. ඔවුන්ට සර්ප විෂ සඳහා ඖෂධයක් වන ඇන්ඩ්රලීන් ඖෂධය ඉතා සුළු ප්‍රමාණයක් ප්‍රතිවිෂ ශරීරගත කිරීමට ප්‍රථමයෙන් එන්නත් කිරීමක් සිදු විය. එලෙස එන්නත් කිරීම මගින් ශරීරගතව තිබූ විෂෙන් 50෴ක ප්‍රමාණයක් අඩු කිරීමට හැකියාව ලැබිණි. මෙය වෛද්‍ය ක්ෂේත්රයේ විශාල ජයග්‍රහණයක් විය. මෙම පරීක්ෂණයෙන් පසුව ප්රතිවිෂවලින් ඇතිවන අතුරු විපත් පිළිබඳ සමාජයේ ඇති බිය යම් තාක් හෝ අඩු කරගැනීමට කදිම සාක්ෂියක් වේ. එය වෛද්‍ය පාඨමාලා සඳහාද මේ වනවිට අන්තර්ගත කර තිබෙන අතර, මෙය වෛද්‍ය ක්ෂේත්රයේ සිදු වූ ඉතා වැදගත් පරීක්ෂණයක් මෙන්ම ජාත්‍යන්තර කීර්තිය දිනාගත් පර්යේෂණාත්මක සොයාගැනීමකි.
අපේ රටේ නොයෙක් කාලවල මෙන්ම දීර්ඝ කාලයක් තුළ සිට පැවැත එන නොයෙක් ගැටලුකාරී දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් පර්යේෂණ සහ ගවේෂණාත්මක කටයුතු සඳහා විශාල වශයෙන් රජය අනුග්‍රහය සපයයි. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සම්පාදනයන් අවශ්‍ය ප්‍රමාණයට ලබාදීම අප අගය කළ යුතු දෙයකි. එනිසා සර්ප දෂ්ටන හා එහි ගැටලුවක්ව පවතින ප්‍රතිවිෂ නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ කටයුතු මේ වනවිටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් ආරම්භ කර තිබීම ඉතා ප්රගතිශීලී දෙයකි. මේ වනවිටත් එකී පර්යේෂණ කටයුතු සාර්ථකව සිදු කරගෙන යනු ලබයි. එහි ප්‍රගතියක් වශයෙන් තවත් වසර දෙකක පමණ කාලයකින් අපේ රටේ සිදුවන සර්ප දෂ්ටනයන් සඳහා අපේ රටේම ප්‍රතිවිෂ ඖෂධ නිෂ්පාදනය කිරීම හැකි වේ. මෙහි ඇති ගුණාත්මකභාවය වන්නේ වෙනත් රටවලින් ආනයනය කරනු ලබන ප්රතිවිෂවලින් ඇතිවන ආකාරයේ අතුරු විපත් හටගැනීමේ සම්භාවිතාව අඩු වීමයි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනක ද සිල්වා (ජාතික පර්යේෂණ සභාවේ සභාපති) වෛද්‍ය පීඨය කැලණිය විශ්වවිද්‍යාලය
'සර්පයන් දෂ්ට කිරීම සහ ඒවා විෂ වීම අපේ රටේ පවතින බරපතළ ප්‍රජා සෞඛ්‍ය ගැටලුවක්. නමුත් රෝහල්වලින් එන නිල දත්ත සහ ඒවා වාර්තා වීම අතර යම් අඩුපාඩුවක් තිබෙන බව අපි මේ පර්යේෂණය ආරම්භ කිරීමට ප්‍රථම දැන සිටියා.
අපේ රටේ වර්ෂයකදී සර්ප දෂ්ට කිරීම් 80,000ක් පමණ වාර්තා වෙනවා. ඒ දෂ්ඨ කරන ප්‍රමාණයෙන් 30,000ක් පමණ පිරිසකට විෂ ශරීරගත වීමක් සිදු වෙනවා. මරණ 450ක් පමණ සිදු වෙනවා. නමුත් මෙය රටට විශාල ආර්ථික වියදමක්. මෙවැනි විෂවීම් සුවපත් කිරීම සඳහා අපේ රටේ වාර්ෂිකව රුපියල් බිලියන 1.4ක් වැය කරනවා. එයින් බිලියනයක්ම වියදම් කරන්නේ රජයයි. සර්පයන් දෂ්ට කර විෂ වීම නිසා ප්‍රතිවිෂ ඖෂධ සඳහා මිලියන 600ක් රජයට වැය කරන්නට සිදුවෙනවා. සමාන්‍ය ජනතාවට මිලියන 400ක පමණ වියදමක් දැරීමට සිදුවෙනවා. මෙපමණ වියදමක් මහජනතාවට දැරීමට සිදුවන්නේ ඔවුන්ගේ ප්‍රවාහනය, රැකියා සඳහා යෑමට නොහැකි වීම මෙන්ම අනෙකුත් අතරමැදි වියදම් සඳහායි.'
ආචාර්ය අනුරාධනී කස්තුරිරත්න වෛද්‍ය පීඨය කැලණිය විශ්වවිද්‍යාලය
'ලංකාවේ වියළි කලාපයේ මේ සර්ප දෂ්ඨනය වැඩියි මෙන්ම එහි අනතුරුදායක බවත් වැඩියි. රෝගී වීම, ඒ පිළිබඳ ඇති අවදානම් සහගත බවත් වැඩියි. ලංකාව ප්‍රධාන වශයෙන් තෙත් කලාපය, අන්තර් මධ්‍යයන කලාපය සහ වියළි කලාපය යනාදී වශයෙන් බෙදා දක්වනවා. නමුත් වැඩිම ජනගහනයක් එකතු වෙලා සිටින්නේ ලංකාවේ අන්තර් මධ්‍යයන කලාපයේයි. මෙම පර්යේෂණයෙන් ලබාගත් දත්ත අනුව අපට අනාවරණය කිරීමට හැකි වූවා සර්ප දෂ්ඨන වැඩියෙන්ම තිබෙන්නේ තෙත් කලාපයේ සහ අන්තර් මධ්‍යයන කලාපයේ වුවත්, සර්ප දෂ්ඨන විෂවීම් වැඩියෙන්ම තිබෙන්නේ වියළි කලාපය තුළ බව.
වියළි කලාපය තුළ කෘෂිකාර්මික කටයුතු සිදුකරමින් පරිසරය සමග සම්බන්ධතා දක්වන බොහෝ පිරිසක් සිටිනවා. මෙවැනි පෙදෙස්වල බොහෝ අය ස්ථිර රැකියාවල නියුතු වූවන් නොවෙයි. එමෙන්ම මෙම දෂ්ඨනයන්ට ගොදුරු වන්නේ සාමාන්‍යයෙන් තරුණ වයසේ සිටින අය. මොවුන් ආර්ථිකයට සක්‍රීයව මුහුණදෙන අය නිසා මෙය ආර්ථිකයටත් ඉතා ප්‍රබල බලපෑමක් එල්ල කරනවා. මෙවැනි ගැටලු පිළිබඳ රටේ දළ වශයෙන් දැනුමක් තිබුණත් මෙවැනි පර්යේෂණාත්මකව මෙය ඔප්පු කිරීම වෛද්‍ය විද්‍යාත්මකව හා ප්‍රජා විද්‍යාත්මකව ඉතාම වැදගත් දෙයක්. මේ අයුරින් කරන විද්‍යාත්මක හෙළිදරව් තුළින් එය ප්‍රතිපත්ති සකස් කිරීම කෙරෙහිද යොදාගැනීමේ හැකියාව උදාවෙනවා. '
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




