තවත් මානව හිමිකම් දිනයක්
තවත් මානව හිමිකම් දිනයකි. කෙසේවුවද ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්රය පිළිබඳ ජනතාව තුළ පවතින මත සංවාදයන්ගෙන් බැහැරව න්‍යාය තුළ පමණක් රැඳී මානව හිමිකම් රැක ගැනීමේ කතාබහ හැමදාමත් ඇසුණු සුපුරුදු සංවාදයකි. ඒ සංවාදයට ඇහුම්කන් දෙමු.
ගතවූ කාලයේ මානව හිමිකම් රකිනවා යැයි වැනි පැවසූ ආයතන තුළ මහ පුටු දේශපාලනීකරණය වූ අයුරුද, එහිලා 17 වන ව්‍යවස්ථාව අහෝසි කර ජනාධිපති බලතල සහිත 18 ව්‍යවස්ථාව සම්මත කරගත් ආකාරයද ජනතාවට සිහිපත් කරති. විශ්ව මානව හිමිකම් ප්රඥප්තියේ දක්වන වගන්ති තුළ තම රාජ්‍යයේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට හැම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයන් බැඳී සිටිති. එහිලා රජය විසින් හෝ රජයේ ආයතන විසින් ජනතාවට සිදුකරන අයථා බලපෑම, හිංසනය, මර්දනයට එරෙහිව සිය අයිතිවාසිකම් රැකගනිමින් රජයේ දෝෂයට එරෙහිව කටයුතු කිරීමට ඇති අවකාශය මානව හිමිකම් තහවුරු කරයි. එනිසාම බලලෝභී පාලකයෝ මානව හිමිකම් ස්ථාපනය වීම කෙරෙහි දක්වන්නේ බලවත් නොසතුටකි. එය රාජ්‍යයේ පැවැත්මට සහ විනිවිදභාවයට කළු පැල්ලමකි.
මානව හිමිකමක් යනු මිනිසෙකු වශයෙන් උපන් නිසා උපතින්ම හිමිවන හිමිකම්ය. මානව හිමිකම් අතරින් තවදුරටත් තෝරා ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් යනුවෙන් දැක්වෙයි. මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවන්නේ රාජ්‍ය නිලධාරියෙකුගේ විධායක සහ පරිපාලන ක්‍රියාවක් තුළය. දේශපාලකයන්ද අර්ධ රාජ්‍ය ආයතනයන්ද මෙයට අයත් වෙයි.
මානව හිමිකම් ක්ෂේත්රය සම්බන්ධයෙන් ජනතාව තුළ රාජ්‍ය පාර්ශ්වය විසින් නිර්මාණය කර ඇත්තේද නොසතුටකි. එකක් ජනතාව තුළ ව්‍යාප්ත කළ නොමනා අසත්‍ය අභූත ප්රකාශයන්ය. අනෙක රට සංවර්ධනයට මානව හිමිකම් බාධාවක් බවට තවත් ප්රචාරයකි. රටේ අපරාධ වැඩි වන්නේ මානව හිමිකම් නිසා යැයි තවත් කතාවකි. ඒ අතර මානව හිමිකම් තුන්වන ලෝකයේ සංවර්ධනය වන රටකට නොගැළපෙන්නේ යැයි නිර්මාණය කළ පුවතකි.
නමුත් වත්මන් රජය විසින් ගතවූ ආණ්ඩුවට වඩා වඩා අර්ථවත් ආකාරයෙන් මානව හිමිකම් සහ මානව ගරුත්වය වෙනුවෙන් සෘජුවම හෝ වක්‍රව බලපෑම් කළ හැකි අණපනත්, නීති රෙගුලාසි සම්පාදනයට ගත් පියවර ජනතාවගේ ඇගයුමට පත්ව තිබේ. එහෙත් එතැනින් එය නතර නොවිය යුතුය. මන්ද මානව හිමිකම් ක්ෂේත්රය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම හෝ සේවය ලබා ගැනීමේදී ජනතාවට කඩිනම් කාර්යක්ෂම සහ සෑහීමකට පත්විය හැකි තීන්දුවක් ලබාගැනීම අවශ්‍යතාව මූලික අරමුණ වන හෙයිනි.
අනෙක තීන්දුවක් ලබාගැනීම පමණක් නොව එය වගඋත්තරකාර රාජ්‍ය අංශය විසින් ප්‍රායෝගිකව යථාර්ථයක් බවට අත්විඳීමට සලස්වන තැන දක්වා කොමිසම විසින් නිකුත් කළ නිර්දේශය බලාත්මක නොවන්නේ නම් එයින් මානව හිමිකම් සපථ වී යැයි පිළිගත නොහැකි බවටද ජනතාව මැසිවිලි නගති.
මෙහි ඉහතින් තීන්දුව ලෙස දැක්වුවද කොමිසම හරහා විමර්ශනය කර ලැබෙන විනිශ්චය තීන්දුවක් නොව නිර්දේශයකි. එහෙත් කොමිසමේ නිර්දේශ බලාත්මක නොකරන අවස්ථා සහ එය බලාත්මක කිරීමට ශක්තිමත් ප්‍රතිපාදන ඇතත්, ඒවා ක්‍රියාත්මක කිරීමේදී පවතින අකාර්යක්ෂමතාව හෝ නොසලකා හැරීම නිසා ඇතැමුන් පවසන්නේ මානව හිමිකම් කොමිසමත් මගේ මානව හිමිකම් උල්ලංඝනය කළා යනුවෙන් අවලාදයකි.
අනෙක් අතට යමෙකු මානව හිමිකම් කොමිසම හරහා කෙටි කාලයකින් තමන්ගේ විසඳුම අපේක්ෂා කරයි. මානව හිමිකම් අර්බුදයක් මතුවන්නේ රජයේ පරිපාලන හෝ විධායක ක්‍රියාවක් සම්බන්ධයෙන් නිසා එකී අංශ හරහා කඩිනමින් වාර්තා ගෙන්වාගත හැකි බව නීතිවේදීහු පවසති. නමුත් ඉල්ලා ඇති වාර්තා ලැබී නැති බව පවසමින් කොමිසමේ කාලය කා දැමීමට ඇතැම් රාජ්‍ය ආයතන කටයුතු කරන බවට ජනතාව පෙන්වා දෙන්නේ නම් එය කොමිසමේ විශ්වසනීයත්වය පිළිබඳ යම් සැකයකි. කොමිසම පවසන්නේ අපි සිහිකැඳවීම් කළා, තවමත් වාර්තා ලැබී නැතැයි පුවතක් නම් මානව හිමිකම් පනතේ ප්‍රතිපාදන යටතේ එවැනි අවස්ථාවලදී ගත හැකි නෛතික පියවර ගැනීමට තවදුරටත් පමා විය යුතුද යන පැනය ජනතාවට ඇත.
අනෙක් අතට ප්‍රාදේශීය කාර්යාලවලින් ඉටුවන මෙහෙය පිළිබඳ ජනතා විශ්වාසය තහවුරු කිරීම කොමිසමේ කාලීන අවශ්‍යතාවකි. බොහෝවිට කොමිසම් සභා පනත අනුව අධ්‍යාපනික වැඩසටහන් යැයි දැක්වුවද ඒවා ඉලක්ක ප්‍රදේශ හෝ ජනතාව කෙරෙහි වඩා සමීප කරවිය හැකි යාන්ත්‍රණයක් කොමිසමට නැතැයි සමාජ විද්වත්හු අවධාරණය කරති. අදටත් කොමිසම එක් තැනක සුපිරි ආයතනයක් ලෙස පවතින විට ගැමියා තවත් මුල්ලකට වී අපට නීතියෙන්වත් පිළිසරණක් නැතැයි හෝ එය ලබාගන්නේ කොතැනින්දැයි, කාගෙන්දැයි යන පැනයටවත් පිළිතුර නොදන්නා බව ක්ෂේත්‍ර අත්දැකීම් ඇති මානව හිමිකම් ක්‍රියාධරයෝ පෙන්වා දෙති. එසේනම් කොමිසමට තම අධ්‍යාපනය පුහුණුව දැනුවත් කිරීම් වැඩසටහන් කළා යැයි සතුටු විය හැකිදැයි යන පැනය සමාජ විද්වත්හු අවධාරණය කරති.
මානව හිමිකම් කොමිසමේ විෂය පථය පුළුල් බව රහසක් නොවේ. එහෙත් එය ජනතාව අතරට ගලාගෙන යාමේදී ජනතාව තුළ පවතින ආකල්ප මොනවාද යන්න කොමිසම විමසිය යුතුය. රටේ වෙනත් කොමිසම් මෙන්ම අපේ අතට පැමිණිල්ලක් ලැබුණොත් විභාග කරනවා යැයි පවසා ඇඟ බේරාගැනීමට මානව හිමිකම් කොමිසමට අයිතියක් නැතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.
රජයේ වෙනත් ආයතන කොමිසම් වලට වැලඳුණු බාලගිරි දෝෂයම මෙම කොමිසමේ ලිපිගොනුවලටද වැලඳි ඇතැයි පෙත්සම්කරුවෝ චෝදනා කරති. අපට ලැබෙන පැමිණිලි වැඩියි. ඒත් අවුරුදු ගණනාවක ලිපිගොනු තිබුණත් නිලධාරීන් ප්‍රමාණවත් නැතැයි පවසනවා නම් එයින් සනාථ වන්නේද පුද්ගලයාගේ ජීවත්වීමේ අයිතිය ගැන කතා කරන ආයතනයේ අයිතිවාසිකම්ද රාජ්‍ය විසින් උල්ලංඝනය වී ඇති කතාවකි. නැතහොත් ඒ ආයතනය යාවත්කාලීන නොකිරීම නිසා රාජ්‍ය පාර්ශ්වය විසින් නැවත හිතාමතා රටවැසියාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින පුවතකි. එසේනම් ඒ පිළිතුර ලබාගැනීමට ජනතාව තවදුරටත් නිකරුණේ කාලයත්, ශ්‍රමයත්, මුදලත් වියදම් කළ යුතුද යන පැනය ජනතාවට ඇත.
අනෙක් අතට කොමිසමට ලැබෙන ජනතා පැමිණිලි වැඩි නම් එයින් ගම්‍ය වන එක් කරුණක් වන්නේ ජනතාව කොමිසමක් පිළිබඳ දන්නා බවට ඉඟියකි. එසේම අනෙක් අතට විධායක සහ පරිපාලනය විසින් සිදුකරන උල්ලංඝනයන්ගේ වර්ධනයක්ද නිතැතින්ම සිදුවන බවට තවත් කතාවකි. එහෙත් කොමිසමට වැඩි වශයෙන් පැමිණිලි යොමුවන්නේ කොමිසම විසින් ජනතාව දැනුවත් කළ නිසාද, නැතහොත් ජනතාව විසින් අතන මෙතන අසා දැනගත් ආරංචි අනුව යොමුකරන පැමිණිලි නිසාදැයි කොමිසම අවධාරණය කළයුතු කරුණකි. මන්ද බොහෝ පැමිණිලි තම විෂය පථයට අදාළ නොවන නිසා එවැනි දේ ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව කොමිසම ප්‍රකාශ කරන හෙයිනි.
එනිසා කෙමිසම ප්‍රජා මට්ටම දක්වා තම යාන්ත්‍රණය මෙහෙයවීමේ ක්‍රමවේදයක් සම්පාදනය කිරීම කාලීන අවශ්‍යතාවකි. එහිලා ප්‍රජා මට්ටමේ ක්‍රියාත්මක වන මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ සහයෝගය කොමිසමට ලබාගත හැකිය. එහෙත් එවැනි ක්‍රියාධරයන් පවසන්නේ කොමිසම එවැනි සංවිධාන සමග එකතුවීම කෙරෙහි පවතින නොකැමැත්ත ගතවූ කාලයේ විද්‍යමාන වූ බවට ප්‍රබල චෝදනාවකි. එහෙත් ග්‍රාමීය මට්ටමේ සංවිධාන, ප්‍රජා නායකයන් සහ කණ්ඩායම් නොමැතිව සුපිරි සීමා මායිම් තුළ රැඳී මානව හිමිකම් නමැති සංකල්පය ප්‍රවර්ධනය කළ හැකිද යන්න නැවත සිතිය යුතු කරුණකි. ප්‍රජාව සවිබලකරණය යනු ප්‍රජා සම්පාදක ක්‍රියාවක් නම් එහිදී පුද්ගලයාගේ අයිතිවාසිකම් හිමිකම් රැක නොදී ඔවුන් සවිබලගැන්විය නොහැක. එම වගකීමට සමානුරූපීව කොමිසමටද තම ප්‍රතිපත්ති, දැක්ම සහ ප්රවේශයන් වෙනස් කළ යුතුය. එදා පනතින් ස්ථාපන කළ කොමිසම වසර 20කට පසුත් තවමත් එතැනමදැයි ජනතාව අසන පැනයේ සත්‍ය අසත්‍යතාව කොමිසමේ වගකිවයුත්තන් මෙනෙහි කළයුතු කරුණකි. මානව හිමිකම් යනු පැයකින් දෙකකින් හෝ දිනකින් දෙකකින් දේශනයක් පවත්වා අපිත් යමක් කළා යැයි ඇඟ ගලවා ගත හැකි සෙප්පඩ විජ්ජාවක් නොවන බව රජයද සිතිය යුතුය. මහජන මුදලින් නඩත්තු වන හැම කොමිසමක්ම විල්ලුද ඇතිරූ එක්ටැම්ගේ ඉහළ මාලයෙන් බිමට බැස ගමේගොඩේ ගින්නෙන් දැවෙන කර්කෂ පොළවට පා තැබිය යුතු බව පමණක් පෙන්වා දිය යුතුය.
එසේ නොවන්නේ නම් මහින්දලා කළ පරිදි 17 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමත් 18 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් දෙකම එදා මෙන්ම අදටත්, හෙටටත් හොඳයි යනුවෙන් හිත හදා ගැනීමට ජනතාව යොමුවන බව පමණක් කිව යුතුය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතාකරන ඇත්තන් තිබෙන ව්‍යවස්ථාව තුළට ගොස් පවතින ප්‍රතිපාදන ඇසුරෙන් තමන් රාජකාරියට වගවී තිබෙන්නේදැයි නැවත ඇස් පිස දමා බැලිය යුතු කාලය එළඹ ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

