දුම්රියේ අතීතය, වර්තමානය හා අනාගතය පදනම් කරගත් දුම්රිය කෞතුකාගාර ලෝකයේ දුම්රිය මූලික කර ගත් උපසංස්කෘතීන් සහිත බොහෝ රටවල පිහිටා තිබේ.
'ජාතික දුම්රිය කෞතුකාගාරය' යැයි ඇඟිල්ල දිගුකර පෙන්වීමට තරම් පරිපූර්ණ දුම්රිය කෞතුකාගාරයක් මෙරට මෙතෙක් ස්ථාපිත වී නොතිබුණද දුම්රිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් වෙනුවෙන්, මෙතෙක් ලොව විවිධ ස්ථානයන්හි ස්ථාපති කර ඇති ලෝක මට්ටමේ ජාතික දුම්රිය කෞතුකාගාර මගින් අපට බොහෝ දේ දැන ඉගෙනගත හැකිය.
මහා බ්‍රිතාන්‍යයේ යෝර්ක්හි ස්ථාපනය කර ඇති ජාතික දුම්රිය කෞතුකාගාරයට දේශාභ්යන්තරවත්, ජාත්‍යන්තරවත් හිමිවන්නේ සුවිශේෂී වටිනාකමකි. දුම්රිය හා බැඳුණු වසර තුන්සියයක ඉතිහාසය සම්බන්ධයෙන් ප්‍රදර්ශන භාණ්ඩ පමණක් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශන වස්තූන් ලෙස තැන්පත් කර තිබේ.
එපමණක් නොව, දුම්රිය පිළිබඳ ලිපි, පෝස්ටර් ආදිය මෙන්ම කලා සාහිත්‍ය මාධ්‍යයන් තුළ දුම්රිය පිළිබඳ වූ නිර්මාණයන් බොහොමයක් මෙහි ඇත. අතීතයේ පටන් භාවිත වූ තාක්ෂණික උපකරණ, දුම්රිය සංඥාවන් ආදී සියල්ල මෙහිදී දැකගත හැකිය.
විෂය පිළිබඳ පුළුල් දැනුමකින් හා අවබෝධයකින් යුතු උපකාරක සේවා සපයන්නන් විසින් මෙහි පැමිණෙන සංචාරකයන් වෙත ලබාදෙනු ලබන දැනුම ශාස්ත්රාලීය අධ්‍යයනයකට සමානය. එසේම, දුම්රිය සේවය තුළ සාර්ථකත්වයට පත්වූ, යෙදවූ මෙන්ම විවිධ කටයුතු වෙනුවෙන් විවිධ මට්ටම් දක්වා පමණක් සිදුකළ පර්යේෂණයන් සම්බන්ධයෙන් පවා තොරතුරු මෙහිදී දැකගත හැකිය.
එපමණක් නොව, යෝර්ක් කෞතුකාගාරය සතුව ඩිජිටල් පුස්තකාලයක්ද ඇති අතර, ඒවායෙහි ඇති පොතපත, ලේඛන මෙන්ම කාලසටහන්, සිතුවම් ආදියද පාඨකයන්ට පහසුවෙන් පරිශීලනය කළ හැකිය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනෝයි ප්‍රාන්ත දුම්රිය කෞතුකාගාරය සාර්ථක හා විධිමත් දුම්රිය කෞතුකාගාරයක් පිළිබඳ ප්‍රතිමූර්ති සාක්ෂියක් සපයයි. වාෂ්ප, ඩීසල්, විද්‍යුත්, භාණ්ඩ ප්‍රවාහන සහ මගී ප්‍රවාහන උපකරණ හා රථ මෙන්ම දුම්රිය මාර්ග, සංඥා, ගොඩනැගිලි හා අනන්‍ය භූගෝලීය ලක්ෂණයන් විදහාපාන දේවල්, රේල් බස්, මෙහෙයුම් උපකරණ ආදී සියල්ල මෙහි විධිමත්ව ස්ථානගත කර ඇත්තේ පරම්පරා ගණනක් පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි පරිදියි.
එසේම, පුස්තකාලයක්, විද්‍යුත් මෙහෙයුම් පද්ධතීන්, අධ්‍යාපන කේන්ද්‍ර, සම්මන්ත්රණ ශාලා, අධ්‍යාපනික හා ප්රදර්ශනික භාණ්ඩ ආදියෙන් මෙය සමන්විත වන අතර, දුම්රිය අත්දැකීම් බොහෝමයක් එහිදී අත්විඳිය හැකිය.
අප දන්නා පරිදි මෙරටද දුම්රිය හා සබැඳුණු ගීත, නාට්‍ය, සිනමා නිර්මාණ පමණක් නොව ජනකතා හා සමාන පෞරාණික කතා, ගීත ආදිය බොහෝමයක් තිබේ. එමෙන්ම මහා බ්‍රිතාන්‍යයේ හා ඇමෙරිකාවේද දුම්රිය සමග සබැඳුණු ජන සාහිත්‍යයක් පවතින බව ඔබ ඇතැම් විට නොදන්නවා විය හැකිය. එම සෑම නිර්මාණයක්ම යෝර්ක් හා ඉලිනෝයි දුම්රිය කෞතුකාගාරවලදී දැකබලා ගත හැකිවීම විශේෂත්වයකි.
එසේම ලෝකප්‍රකට මෙම කෞතුකාගාර දෙකේදීම කමිස, හිස්වැසුම්, ඔරලෝසු වැනි සමරු, මතක සටහන්, පොතපත මිලදී ගැනීමේ අවස්ථාවද පවතී. තවත් සඳහන් කළ යුතු කරුණක් වන්නේ, මෙම කෞතුකාගාර වැඩිහිටියන්ට පමණක් නොව දරුවන්ට පවා ඉතාම ආකර්ෂණීය ස්ථානයන්ය.
ඡායාරූප ලබාගැනීම වෙනුවෙන්ම සෑදුණු ස්ථාන, දුම්රිය කෞතුකාගාර මිතුරු සමාජ, සමාජ හා සංවිධාන මෙන්ම කෞතුකාගාරය වෙනුවෙන් කෞතුක භාණ්ඩ හා ආධාර ප්රදානය කරමින් මීට දායක වීමේ අවස්ථාවක්ද පැවතීම තුළින් මෙහි යන එන පුද්ගලයන්ටද මෙහි ක්‍රියාකාරකම් හා එක්වීමට අවස්ථා සැලසීමක් සේ සැලකිය හැකිය.
බ්‍රිතාන්‍යයේ හෝ අමෙරිකාවේ පමණක් නොව, අසල්වාසී ඉන්දියාවේද ස්වකීය ගමනාගමන හා ප්‍රවාහන ක්ෂේත්රයේ ජීවනාලිය වන් දුම්රිය සේවාව පිළිබඳ වූ කෞතුකාගාරයක් නවදිල්ලි අගනුවර පිහිටුවා ඇත. ඔවුන්ට අනුව, එය ඉන්දීය දුම්රිය උරුමය පිළිබඳ ලෝකයට කියාපාන අතුරුමුහුණතයි.
ටෝකියෝ, හොන්කොන්, බුලවායෝ හෝ නයිරෝබි දුම්රිය කෞතුකාගාරයක් යනු සිය ජාතියේ උරුමයකි. එපමණක් නොව, එවැන්නක් අවිධිමත් නමුත් පුළුල් අධ්‍යාපනයක් ලබාදෙන ශාස්ත්රාලයකට සමානය.
ඇතැමුන්ට පැරණි දුම්රිය මැදිරි හා අත්හැර දැමූ දේවල්වල එකතුවක් ලෙස පෙනුණද කෞතුකාගාරයක් යනු යුග ගණනක අත්දැකීම්වල සම්පිණ්ඩනයක් පැය කිහිපයකදී අත්විඳිය හැකි ස්ථානයකි. පර්යේෂකයන්ට හොඳ පර්යේෂණාගාරයකි. විද්‍යාලයකි. ශාස්ත්රාලයකි.
මාලින්ද ජයතිලක