නව බැඳීම් ඇති කරගැනීමටත්, තිබෙන බැඳීම් තව ශක්තිමත් කිරීමටත් උදාවන්නා වූ දිනයක් ලෙස සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හඳුනාගත හැකිය. සංස්කෘතීන් දෙකක් අතර ඇති අන්‍යොන්‍ය සම්බන්ධතාව ශක්තිමත් කිරීමට ඉන් ලැබෙන්නේ මහඟු අත්වැලකි. අපි සිංහල, අපි දෙමළ ආදී නොයෙක් වාර්ගික හේතූන් මත වෙන් වුවත්, ශ්‍රී ලාංකිකයන් ලෙස එකම වේලාවකදී, එකම අරමුණක් උදෙසා මේ සියලුමදෙනා එකට එක්ව සමරන එකම උත්සවය ලෙස අලුත් අවුරුද්ද ඉතා වැදගත් තැනක් ගනියි. දශක තුනක් පුරා පැවැති යුද්ධය නිමා කරමින් එකම ජාතියක් ලෙස සැමරිය හැකි මේ අවස්ථාව තවත් හෝරා කිහිපයකින් උදා වීමට නියමිතය.
මිනිසුන් පමණක් නොව අවට පරිසරය පවා ඒ බව කියාපායි. එරබදු මල් පීපි කොවුල් හඬ ඇසීමත් අලුත් අවුරුද්දටම අනන්‍ය වූ දෙයකි.
ව්‍යවහාරික සමාජය තුළ සිංහල හා දමිළ ජනයා එකට එක්ව වැඩ කටයුතු කිරීම සමාජයේ බොහෝ අවස්ථා තුළින් හඳුනාගත හැකිය. විවිධත්වය තුළ ගොඩනැගුණු ජන සමාජයක් ලෙස ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවල නොයෙක් වාර්ගික කණ්ඩායම් ජීවත් වේ. උතුරු, නැගෙනහිර පමණක් නොව ඌව සහ මධ්‍යම පළාත් තුළද දමිළ ජනතාව වාසය කරති. මෙම අන්තර් සංස්කෘතිය තුළ සිරිත් විරිත් හා අනෙකුත් දේ අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකට බැඳී පවතී. එමනිසා සිංහල සංස්කෘතියට බොහෝ සමාන සංස්කෘතික ලක්ෂණ දමිළ සංස්කෘතිය තුළින්ද හඳුනාගත හැකිය.
පුරාණයේ සිටම බුදු දහම හා පැවතුණු ආගමක් ලෙස හින්දු ආගම හඳුනාගත හැකිය. එය ඓතිහාසිකව එකිනකට බැඳී පවතියි. එමනිසා අප බක් මාසයේ සමරන සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍රවල විශාල පරස්පරතා හඳුනාගත නොහැකිය.'පුත්තාන්ඩු' ලෙසින් අලුත් අවුරුද්ද දමිළ භාෂාවෙන් හඳුන්වනු ලබයි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීම සාමාන්‍යයෙන් අලුත් අවුරුද්ද ලෙස සලකයි. මීට අමතරව දමිළ ජනයා ඔවුන්ගේ දහමට අනුව සාමයට අධිපති කුමරා වන 'ඉන්ද්‍රදේව' පොළොව වෙත සෞභාග්‍යය සහ සාමය උදා කිරීම තහවුරු කිරීමක් ලෙස අවුරුදු සමරති.
අතීත ග්‍රාමීය සමාජය තුළ ගම් සභා ක්රමයේ පාලනය යටතේ එක් ප්‍රධාන නිවසක එක් කැවිලි මේසයක් යටතේ සියල්ලලෝම අවුරුදු සැමරූහ. එයට සිංහල, දෙමළ භේදයක් නොවීය. අවුරුද්ද හා බැඳි ආගමික වතාවත්, ආහාර, ඇඳුම් පැලඳුම්, ජන ක්‍රීඩා ආදිය ඔවුන් එක්සත්ව සිදුකළහ. මේ අනුව සිංහල ජනයා මෙන් දින කිහිපයක් දමිළ ජනයා අවුරුදු සමරන්නේ නැත. ඔවුන් අවුරුද්ද සමරන්නේ එක් දිනයකි. දමිළ ජනයාගේ නක්ෂත්රයට අනුව පරණ අවුරුද්ද නිමා වෙන්නේ අප්‍රේල් 13 වැනිදායිනි. ඒ අනුව ඔවුහු නව අවුරුද්දේ වැඩ කටයුතු ආරම්භ කරනුයේ 14 වැනි දිනය. ඒ අනුව වැඩ ඇල්ලීම, හිසතෙල් ගෑම, රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම ආදී චාරිත්‍ර ඔවුන් සිංහල ජනයා මෙන් එක් එක් දිනට සුවිශේෂී අයුරින් සිදු නොකරයි.
ශ්‍රී ලාංකික බොහෝ දමිළ ජනයා 'වාච්‍ය පංඥායම්' නැකත් පත්‍රයට අනුව සිය අලුත් අවුරුදු චාරිත්‍රය සමරනු ලබයි. ඇතැම් විට සිංහල නැකත් වේලාවන්ට එය බොහෝ සෙයින් සමාන වේ. අලුත් අවුරුද්දේ සෑම දෙයක්ම නැකත්වලට අනුව සිදුවන නිසා මෙම සෑම චාරිත්‍රයක් වටාම ඒ සඳහා වෙන් වූ සුබ වේලාවක් තිබේ. සාම්ප්‍රදායික දමිළ ජනයාගේ සූර්යය දින දර්ශනයේ මුල්ම මාසය වනුයේ අප්‍රේල් මාසයයි. එමනිසා ඔවුන් එය අනෙකුත් දමිළ උත්සවයන්ට වඩා අලුත් අවුරුදු දිනය ඉතා ඉහළින් සමරනු ලබයි. පුත්තාන්ඩු, වරුද පයිරප්පු සහ චිත්තරයි නිරු-නාල් වශයෙන් විවිධ ව්‍යවහාරයන් යටතේ හඳුනාගත හැකි මෙම දමිළ අවුරුද්ද දිනයේ ආගමික වතාවත්වල නිරතව ලක්ෂ්මී දෙවඟන සහ ගණ (පුල්ලෙයාර්) දෙවියන් වන්දනය කිරීම වැඩි වශයෙන් සිදු කරයි. එහිදී සශ්‍රීකත්වයේ අධිපති දෙවිවරු ලෙස එම දෙවිවරු දමිළ ජනයා අතර ප්‍රසිද්ධය.
දමිළ ජනයා අලුත් අවුරුද්දට සූදානම් වීම
ඔවුන් පරණ අවුරුද්ද නිමා වනවිට තම නිවෙස් ශුද්ධ පවිත්‍ර කොට නව වසර පිළිගැනීමට බලා සිටියි. එසේම නිවසට මෙන්ම මුළුතැන්ගෙයි අවශ්‍ය සියලුම පැරණි භාණ්ඩ ඉවත් කොට අලුත් භාණ්ඩ ගෙන එයි. නිවසේ දෙවියන් වන්දනය කරන ස්ථානය පිරිසුදු කොට කහ දියරෙන් නිවස පිරිසුදු කරයි. එමෙන්ම සුවඳ දුම් මගින් නිවස සුගන්ධවත් කිරීම ඔවුන් අනිවාර්යයෙන් සිදු කරයි. ඔවුන්ගේ පවිත්‍රත්වයේ මෙන්ම දේවත්වයේ සංකේත වන කොහොඹ කො‘ළ නිවසට ඇතුළු වන ස්ථානයේ එල්ලනු ලබයි.
මර්ති - නියර්(ස්නානය කිරිමේ) චාරිත්‍රය සිදු කිරීම
සිංහල ජනයා පරණ අවුරුද්දේ ස්නානය කිරීම සිරිතකි. එමෙන්ම අලුත් අවුරුද්දට සූදානම් වන දමිළ ජනයාත් කෝවිලෙන් දෙනු ලබන මර්ති - නියර් (හිස ආලේපන තෙල්) රැගෙන ගොස් නව වර්ෂය එළඹීමත් සමග ඒවා ගා ස්නානය කර පිරිසුදු වේ.
පුණ්‍ය කාලම් (පුණ්‍ය කාලය)
සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීම අලුත් අවුරුද්ද උදාවීමකි. ඒ අනුව මේෂ රාශියට ගමන් කිරීමට ගන්නා කාලය ජ්‍යෝතිෂයේ සංක්‍රාන්තිය ලෙස හඳුන්වනු ලැබේ. මෙම කාලයේදී කිසිදු සුභ කටයුත්තක් සඳහා නැකත් කාලයක් නොමැත. එමනිසා ඔවුහු කෝවිල් ගොස් දෙවියන් වන්දනය කරති. එහිදී දෙවියන්ට පහන් දල්වා, මල් පුදා තම දේව මෙහෙය සිදු කරනු ලබයි.
අවුරුදු උදාව
සිංහල ජන සමාජය සහ දමිළ ජන සමාජය එක් සමාජ තලයක් ඔස්සේ දිගු කාලයක් ජීවත්වීම නිසා මොවුන්ගේ බොහෝ ඇවතුම් පැවතුම් සමානය. අවුරුදු උදාවන නැකත මේ කාටත් පොදුය. ඔවුන් අවුරුදු නැකතට ලිප ගිනි මොලවා කිරි උතුරවති. ඔවුනට ඒ සඳහා දිශාවක් ඇත. එමෙන්ම සුබ වර්ණයක්ද ඇත. ඒ අනුව සුබ වර්ණයෙන් සැරසී එම සුබ දිශාව බලා ලිප ගිනි මෙළවීම සිදුකරයි. එමෙන්ම හකුරු, මුං ඇට, කඩල ආදිය මිශ්‍ර කරමින් පොංගල් බත් සාදනු ලබයි.
කෛයි විශේෂම් (ගනුදෙනු කිරීම)
අවුරුදු දිනයේ ගනුදෙනු කිරීම ඉතාම සුවිශේෂී චාරිත්රයකි. අය වැඩි වී වැය අඩු වන ලෙස ප්‍රාර්ථනා කරමින් පවුලේ හෝ ගමේ වැඩිමහල් පුද්ගලයෙකු හා ගනුදෙනු කරනු ලබයි. ව්‍යාපාරික කටයුතු කරන දමිළ පුද්ගලයන් ඒ හා බැඳෙමින් ගනුදෙනු කටයුතු සිදු කරයි. බුලත් කොළයක මුදල් තබා ගනුදෙනු කිරීම සිංහල ක්‍රමයට අනුවම දමිළ ජනයාද සිදු කරයි.
මීට අමතරව දමිළ ජනයා වැඩ ඇල්ලීම, ආහාර අනුභවය සිදුකරනු ලබයි. නමුත් මෙම දේ වලට සිංහල ජනයා මෙන් එතරම් මූලිකත්වයක් නොදෙයි. නමුත් අධ්‍යාපන කටයුතු සහ දෑතේ කටයුතුද සුබ මොහොතින් ආරම්භ කරයි.දමිළ ජනයාගේ අනන්‍ය වූ ඇඳුම වන පිරිමි පුද්ගලයන් වේට්ටිය සහ ගැහැනු අය සාරිය සහ කුඩා දැරියන් දිග සාය සහ හැට්ටය ඇඳ කොණ්ඩයේ මල් ගසා කෝවිලට යති. ඒ අනුව අලුත් අවුරුද්දේ සියල්ල යහපත්ව සිදුවෙන්නැයි බාරහාර වෙමින් ඔවුහු දෙවියන් වැඳ ආශිර්වාද ලබාගනිති.
අලුත් අවුරුද්දේ ඉතාම වැදගත් දෙයක් ලෙස අලුත් අවුරුදු කෑම මේසය හඳුනාගත හැකිය. එය සිංහල හා දමිළ ජනයා මහත් ඕනෑකමින් සිදු කරති. ඇතැම් විට දින, සති ගණනක් මුළුල්ලේ මෙම ආහාරපාන සකස් කරයි. ලාංකේය දමිළ ජනයාගේ කෑම මේසයද ඉතාම සිත් ඇදගන්නාසුලු වේ. ඔවුන් ඔවුනට අනන්‍ය වූ ආහාර පිස කෑම මේසය අලංකාර කරනු ලබයි. කැවුම්, කොකිස්, කිරිබත්වලට වඩා දමිළ අයගේ කෑම මේසය ටිකක් වෙනස්ය. මොවුහු කිරිබත්, කෙසෙල්වලට අමතරව උඳු වළලු, උරන්ඩා(අග්ගලා), ලඩ්ඩු, මුරුක්කු ආදී රස කැවිලිවලින් අලංකාර කරති. එහිදී ගුණය සහ පෝෂණය ගැන උනන්දු වන දමිළ ජනයා උඳු මිශ්‍ර ආහාර බහුලව සකස් කරගැනීම සුවිශේෂී වේ.
කෝලම් සහ රන්දෝලි
හින්දු ආගමේ සශ්‍රීකත්වය සහ සෞභාග්‍යය මහත් ඉහළින් අදහනු ලබයි. ඔවුන් මේ නිසා අලුත් අවුරුද්දේ සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙස කෝලම් රටා නොයෙක් අයුරින් අදිනු ලැබේ. ඔවුන් විවිධ රටා මැවීම ඔස්සේ අඳිනු ලබන රටා සඳහා සහල් උපයෝගී කරගනියි. අදිනු ලබන කෝලම් රටාව මැදින් 'කුට්ටු විලක්කු' නම් පහනක් පත්තු කිරීමෙන් එය සම්පූර්ණ කෙරෙයි. නිවසේ ගෘහණිය විසින් අලුයම පිරිසුදු වී කෝලම් ඇඳීම සිදුකරනු ලැබේ.
දමිළ අවුරුදු ක්‍රීඩා
ඉන්දියාව, මැලේසියාව ආදී රටවල වෙසෙන දමිළ ජනයා අලුත් අවුරුදු දිනයට කබඩි, ගොන්පොර වැනි සාම්ප්‍රදායික ක්‍රීඩා පැවැත්වුවද ලාංකේය සමාජය තුළ එවැනි විශේෂිත ක්‍රීඩා සිදු නොකරන අතර, ඔවුහු කඹ ඇදීම, කණාමුට්ටි ගැසීම, පොරපොල් ගැසීම සහ ග්‍රීස් ගහේ නැගීම ආදී ක්‍රීඩා කරති.
මෙම සියල්ල සිදුකොට අලුත් අවුරුදු නිමාවත් සමග ඔවුහු රාත්‍රී කාලයේ කුඩා දරුවන් හා එකතු වෙමින් රතිඤ්ඤා ආදි ගිනිකෙළි සෙල්ලම් කර උපරිම වින්දනයක් ලබාගනිමින් අලුත් අවුරුදු උදාව සැමරීම නිමා කරති. මේ අයුරින් දමිළ ජනයා උදා වූ නව වසර ඔවුන්ගේ නැදෑ හිතමිත්‍රාදීන් සමග එකතු වෙමින් තම සතුට බෙදා හදා ගනියි.
වසර 34කට ප්‍රථම සිංහල සහ දමිළ ජනයා සැමරූ එකී අවුරුදු නූතනයේදීද එවන් සංහිඳියාවක් තුළ අප වර්තමානයේ සැමරිය යුතුය. සහජීවනය තුළින් සාමයේ සහ සෞභාග්‍යයේ සංකේතයක් වන අලුත් අවුරුදු සැමරීම හුදෙක් වාච්‍ය මාත්‍රයක් පමණක් විය. තල් අරණෙන් පොල් අරණට, උතුරෙන් දකුණට ආදී විවිධ තේමා යටතේ එකල මහා උජාරුවෙන් කතා කළද අවුරුදු කාලයට පමණක් ඒවා නැවත මතුව එයි.
නමුත් එක් ජාතියක් ලෙස අප එක් මෙහොතක සමරන මෙම අවුරුදු උත්සවය තුළ සිංහල හා දමිළ ප්‍රජාව එක්ව සැමරීම තුළින් නව ගමනක ප්‍රවේශයක් විවෘත කරගත හැකිය. සිංහල කැවිලි මේසය හැඩ කරන්නට කැවුම් කොකිස්වලට අමතරව දමිළ එක් රස කැවිල්ලක් හෝ එක් කිරීමට හැකි නම් එය ඉතා අගනේය. කෝලම් රටා අතරින් එන්නා වූ සෞභාග්‍යය, බුලත් අතක් දී ලබාගන්නා ආශිර්වාදය එකම ජාතියක් ලෙස නැගී සිටීමට නිසැකයෙන් පිහිටක් වේවි.
පුරාණ විහාරස්ථානවල මෙන්ම නූතන පන්සල්වල දේව වන්දනය සඳහා කෝවිල් පිහිටා තිබීම මගින් දමිළ සිංහල එකමුතුභාවය පුරාතනයේ සිටම පැවැති බවට කදිම සාක්ෂියකි. ආගමික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් සහසම්බන්ධයක් ඇති සැවොම වාච්‍ය මාත්‍රයෙන් පමණකුදු ක්‍රියාවෙන්ම එකතු විය යුතුය. අප එය අලුත් අවුරුදු කෑම මේසයෙන්ම ආරම්භ කරමු. උදාවෙන නව වසරේ අපි හැමෝම එක කෑමක් හදමු. ජාතික සංහිඳියාව පොඩි තැනකින් ආරම්භ කර ඉදිරියටම ගෙන යමු. ඉන් එක් ජාතියක් ලෙස නැගී සිටීමටත්, අත්නර් සංස්කෘතික සහයෝගීත්වය තුළින් බාධක බිඳ දමා ගමන් කිරීමටත් එය අපට ශක්තියක් වනු නොඅනුමානය.
අලුත් අවුරුද්දේ කෑම මේසය උඳු වළලුවලින් හැඩගන්වමු
උඳු වළලු
අවශ්‍ය ද්‍රව්‍ය - උඳු ග්‍රෑම් 100 ක්
සීනි ග්‍රෑම් 100 ක්
හාල් පිටි ග්‍රෑම් 100 ක්
පැණි බෝතල් ½ ක්
අවශ්‍ය ප්‍රමාණයට පොල්තෙල්
ලුණු ස්වල්පයක්
කිරි කෝප්ප ½ ක්
සකස් කරගන්නා ආකාරය
උඳු ඇට පැය 07 ක් හෝ 08 ක් පෙඟෙන්නට තබා පොතු ඉවත් කර පොල් කිරි එක්කර හොඳින් අඹරාගන්න. එම මිශ්‍රණයට හාල් පිටි සහ ලුණු එකතු කරන්න. ඝනකමට ඇනූ මිශ්‍රණය පැය 04 ක් පමණ පිපෙන්නට වසා තබන්න. උඳු වළලු මිරිකීම සඳහා ඝනකම් රෙදි කැබැල්ලක මැද කුඩා බොත්තම් කාසියක් මසාගන්න. ඉන්පසු තෙල් තාච්චිය ලිප තබා අවශ්‍ය ප්‍රමාණයට රත් වූ පසුව මිශ්‍රණය ටිකෙන් ටික රෙදි කැබැල්ලට දමා පොට්ටනියක් සකස් කර බොත්තම් කාස සිදුරෙන් රත් වූ තෙලට රවුම් වළලු සේ උඳු මිශ්‍රණය වක් කරගන්න.බැද ගත් උඳු වළලු පැණිවල බහා පැණි උරාගත් පසු රසවත් උඳුවළලු සාදාගත හැකිය.