කාගෙ කාගෙත් කටේ නරිවාදන් රෙද්ද පල්ලෙං බැසීම
හැමදාමත් සයිටම් අර්බුදයකි. ජනතාවගේ භාෂාවෙන් ඇමැත්තෝ බයිලා ගසති. පාලකයන්ට අවශ්‍යව ඇත්තේ සතිපතා අලුත් මාතෘකා නිර්මාණය කරමින් තමන් පොරොන්දු වූ සැබෑ වෙනස වෙනත් මාතෘකා යටතේ වෙනස් කරවීමට යැයි උදහසට පත් ජනතාව පවසති.
සයිටමයට අදාළ වර්ජනයක්, පෝස්ටරයක්, පුවත් සිරස්තලයක් දැකීමත් ජනතාවට පිළිකුළ දනවන තරම් කරුණක් බව ජනතා මතවාද දක්වයි.
සයිටම් විසඳුම ලෙස හැමදාමත් ඇසෙන්නේ එකම කන්දොස්කිරියාවකි. එය ඇත්ත ඇති සැටියෙන් දැනගැනීමේ අවස්ථාව හෝ අර්බුදයට විසඳුම් සැපයෙන ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳ පුවත් නොවේ යැයි ජනතාව පවසන දේ පාලකයන්ට ඇසිය යුතුය.
එතැනදී ආණ්ඩුව අසමත් යැයි මධ්‍යස්ථ ජනතාව පවසති. මන්ද එකට කෑවත් බොක්ක වෙනස් කීවාක් මෙන් ජාතික ආණ්ඩුවේද සයිටම් විරෝධී සහ හිතවතුන් යනුවෙන් දෙපිරිසක් සිටින හෙයිනි.
හොස්ස ළඟින් මැස්සා ගියත් වර්ජනය කරන ඇතැම් පෞද්ගලික බස්කරුවන්ගේ තැනට වෛද්‍යවරුන්ද පත්ව සිටින්නේදැයි ජනතාවට ප්රශ්නයකි. නිදහස් සුවසේවයක් ගැන කතා කරන බහුතරයක් වෛද්‍යවරු ජනතාවගෙන් නිදහස් අධ්‍යාපනය ලබා පත්වීම් ලද පසු දවසේ එක් පාදයක් චැනල් සාප්පුවටත්, අනෙක රජයේ රෝහලටත් තබාගෙන සිටිති.
නිදහස් අධ්‍යාපනයේ සහ සුවසේවයේ ඵලය හවස් ජාමයේ එක් රෝගියෙකුට රුපියල් දෙදහසකට අලෙවි කරන වෛද්‍ය වෘත්තිකයන්ට වෘත්තීයමය වෛද්‍ය සේවයක් පිළිබඳ කතා කිරීමට ඇති සදාචාරාත්මක අයිතිය පිළිබඳ ජනතාව ප්‍රශ්න කරති.
එසේම නිදහස් අධ්‍යාපනය රකින බව පෙන්වමින් අතළොස්සකගේ දේශපාලන ඉල්ලක ඉටු කරගැනීම වෙනුවෙන් වසර පුරාවට අට්ටාලගතව, වීදි බැස රජයේ පොදු දේපොළ අවභාවිත කරමින් හෝ විනාශ කරමින් යම් යම් මතවාදීන්ට කඩේ යන සිසුන් වෙත ආණ්ඩුව ඇඟිල්ල දිගු කරයි. ජනපති පැවසුවේ කඩාකප්පල්කාරී සිදුවීම් පසුපස දේශපාලනයක් ඇති බවට කතාවකි. ඇමති රාජිත කීවේ පෙරටුගාමීන් සිටින බවට චෝදනාවකි.
මේ අතර සිසුන්ට පහරදීමට එරෙහිව වෛද්‍යවරු පසුදා පහන් වනවිට තමන්ගෙන් වැටුප් ලබන වෛද්‍යවරුන් රෝහල් සේවය වර්ජනය කළ බවට බංකු මත ළතැවෙන රෝගීන්ගේ මැසිවිල්ල සුව සේවය පත්ව ඇති අමානුෂික, නොසිඳුණු ඛේදවාචකයක් දක්වන තවත් විලාපයකි.
ජාතිය සතු පොදු දේපොළ විනාශ කළ සිසුන් සියයක් පමණ රෝහල්ගත වනවිට ඒ සිසුන්ට බෙහෙත් සහ සුවසේවා සපයන්නේද රටේ නිදහස් අධ්‍යාපනයට කඹුරන ජනතාවම යැයි දුම්රියේ, බස් රියේ මගීන්ගේ පැත්තෙන් මැසිවිල්ලකි.
නමුත් රජයේ දේපොළ තුළට බලහත්කාරයෙන් කඩා වැදී ජාතික ධනය විනාශ කර රටේ නීතිය අමුඅමුවේ උල්ලංඝනය කළ සිසුන්ගේ වරදට එරෙහිව වෛද්‍යවරුන් පෙනී නොසිටින්නේ ඇයිදැයි ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කළහ.
අර්බුදය වසර හය හතක් ඈතට දිව ගිය දේශපාලනය ගෑවුණු කැත කතාවකි. එහිලා එදා මෙදාතුර නායකයන් පාලකයන් කැබිනට් ඇමතිවරුන් විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්ය මහාචාර්ය ආදී වශයෙන් සංවාදයට එක්වූ පිරිස දහස් ගණනාවකි. අදටත් එදා පාලකයන් මෙන්ම මෙදා නායකයන්ද මේ අර්බුදය ලෙහා ගත නොහැකිව එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම තුළ සාධාරණ එකඟතාවන්ට පැමිණීමට නොහැකි වීම පිළිබඳ ජනතාවට ඇත්තේ පිළිකුල මුසු සැකයකි.
එනිසාදෝ ජනතාව පවසන්නේ මේ හැම පාලකයෙකුම බඩේ බිත්තර තියාගෙන අර්බුදය සිසුන්ගේ හිසපිට තබා කැබලි කරමින් ප්රශ්නය විසඳාගැනීමට ගන්නා උත්සාහයක් ලෙස අවදානම් කතාවකි.
රටේ භික්ෂූන්ට තමන්ගේ නිකායන් සහ භික්ෂු පරපුර බලාගන්නැයි උපදෙස් දීමට තරම් බහුශ්‍රැත කැබිනට් ඇමතිවරුන්ගෙන් පාර්ලිමේන්තුවට හිඟයක් නැත.
භික්ෂූන් වහන්සේලා පවසන්නේ “අපි අපේ ටික කරගන්නම්. ඇමතිතුමන්ලා අපෙන් වැටුප් අරගෙන යානවාහන නඩත්තු කරමින් සුරසැප විඳින්නේ රටේ ජාතික අර්බුද විසඳීමට නම් ජනතාව මහමඟ කාලකණ්ණි කරන හෝ රෝහල බංකු මත වැතිර මර ඇඳට පත් කරවන වෛද්‍ය වර්ජන නතර කරන්න” යනුවෙන් ආමන්ත්‍රණයකි.
එසේ නොමැතිව හාමුදුරුවන්ට සංඝ ආඥා සකසන යහපාලන ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිලා හෝ සෞඛ්‍ය ඇමතිලාට රටේ පොදු ප්‍රශ්නයක් දෙස බුද්ධියෙන් සහ වගකීමෙන් කටයුතු කිරීමට ඇති නොහැකියාව ජනතාවද ප්‍රශ්න කරති.
මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වුවද මාධ්‍යවේදීන් තුන්හතර දෙනාට මැරෙන්නට ගහන්නට හෝ අහන ප්රශ්නවලදී කෝපයෙන් වියරුව එතැනින් පැන යාමට තරම් උත්සාහ කරන මැතිඅමැති රොත්තක් සිටින රටක අර්බුද ජයගත හැකිදැයි ජනතාව විමසති.
ජනමතය අනාවරණය කරන විට මාධ්‍ය විපක්ෂයට කඩේ යනවා යැයි පවසන විටක රටේ ජනමතය සම්බන්ධයෙන් ආණ්ඩුවට තොරතුරු ලබාගැනීමේ හැකියාව කෙරෙහි ආණ්ඩුව විසින්ම බාධක පනවාගෙන අවසාන බව ජනතාව පෙන්වා දෙති.
හැමදාමත් වර්ජන අරගල නිසා මහමඟදී බැට කමින් කාලකණ්ණි වන ජනතාව තුළ හැම තත්ත්පරයක් පාසා ඇති වන්නේ යහපාලන ආණ්ඩුව කෙරෙහි පිළිකුළකි. වෛද්‍ය වෘත්තිය කෙරෙහි අප්රසාදයකි. සිසුන් සම්බන්ධයෙන් වෛරයකි. නමුත් ඔවුන්ගේ අරමුණු සද්භාවයෙන්ම යහපත් නම් ඒ අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් යොදාගන්නා ක්‍රමවේදය රට ගිනි තැබීමක් නිසා ජනතාව දෙස් දෙවොල් තබමින් මේ ඇත්තන්ට සාප කරති.
ජනතාව ආණ්ඩු පත් කරගන්නේත් සිසුන්ට උසස් අධ්‍යාපනය දෙන්නේත් වෛද්‍යවරුන්ට අති සුපිරි සැප පහසුකම් සපයන්නේත් මේ විකාර විගඩම් බලන්නට නොවේ යැයි ජනතාව පවසන දේ මේ ඇත්තන් දැන්වත් සිතිය යුතුය. හැමදාමත් අරගල කරන තැනක එම පාර්ශ්වයන් මානව සමාජයේ පිළිකුලට සහ අවඥාවටත් එතනින් අවමානයටත් පත්වන බව වැදගතුන් අමතක නොකළ යුතු බවට ගමේ ගොඩේ ජනතාව පවසන දේ උගතුන් යැයි කියන මේ ඇත්තන්ටද දැනිය යුතුය.
පොලීසිය පන්න පන්නා සිසුන්ට පහර දුන්නේ යැයි, ඔළුගෙඩි පැළුවා යැයි ඇතැමෙකුගේ චෝදනාවකි. පොලීසිය පවසන්නේ “අපි අමාත්‍යාංශය වටලනවා* යැයි ගේට්ටුවද කඩා පෙරළා එයට ඇතුළු වී එහි නිරායුධ කාර්යමණ්ඩලයටද පහර දී කැරැල්ලක් මෙහෙයවන විට රටේ නීතියත්, සාමයත් රකින පොලීසියට අවම බලය තුළ එවැනි මැරයන් අත්අඩංගුවට ගැනීම වරදක්ද යනුවෙනි.
එසේ නම් ජනතාව බදාදා දිනවල ඇමතිවරු හමුවීමට යැයි සෙනඟ ලොරියක පුරවාගෙන පැමිණ රජයේ ගොඩනැගිලි දේපොළ විනාශ කරනතුරු වෛද්‍යවරුන්ට සහ සිසුන්ට අවශ්‍ය පරිදි අහක බලා ගෙන සිටිය යුතුදැයි එක් උසස් පොලිස් නිලධාරියෙකුගේ ප්‍රකාශය සාමය අගයන ජනතාවගේ විවරණයට ලක්කළ යුතු කතාවකි. එසේ නම් රටේ නීතිය කැරලි ගසන සිසුන්ටත්, වෛද්‍යවරුන්ටත් පවරා පොලීසිය ගෙදර සිටිය යුතුදැයි තවත් නිලධාරියෙකු කළ විමසීමද මෙහිදී සඳහන් කළ යුතුය.
ඒ අතර තුවාල ලද විශේෂ කාර්ය බළකා සෙබළුන් තිදෙනකුට ජාතික රෝහලෙන් ප්‍රතිකාර නොකළේ යැයි ඇසෙන පුවත සම්බන්ධයෙන් ජනතාව පවසන්නේ එදා යුදපිටියේ රණවිරුවන් ලෙස ඔසවා තැබූ අයට මෙදා රටේ දකුණේ කඩාකප්පල්කාරීන්ගේ දේපොළ රකින විටකදී රජයේ වෛද්‍ය සේවය කල්මරන තැනට ම්ලේච්ඡත්වයට පත්ව ඇති තවත් කතාවකි.
මේ අනුව ජනතාව සහ රටේ හෙට දවස වෙනුවෙන් මෙම අර්බුදය දරාගත නොහැකි තරම් තවත් අර්බුද ගණනාවක් නිර්මාණය කර අවසානය. එහිලා එදා මෙදා පාලකයන්ද, වීදි බසින අන්තවාදී සිසුන්ද වෛද්‍ය වෘත්තිකයන්ද ඒ පවට වගකිවයුතු යැයි ජනතාව පෙන්වා දෙති.
රෝමය ගිනිගන්නා විට නීරෝ වීණා වාදනය කළා මෙන්ම යහපාලන ආණ්ඩුවේ ඇත්තන්ද නොඇසුණු කන් ඇතිව සිටිතියි යහපාලනයක් අපේක්ෂා කළ අයම චෝදනා කරති. ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මඟුල් යැයි කීවා සේ විපක්ෂයද පසෙකට වී එයට ගිනි පිඹිමින් දරදිය සපයන්නේ යැයි ජනතාව පිළිකුලෙන් පවසති.
අවසානයේ අරගලකාරීන් විනාශ කරන රජයේ ගොඩනැඟිලි දේපොළ ප්‍රතිසංස්කරණය සඳහා නැවත බර පැන සැපයිය යුත්තේද ජනතාවය. මහමඟ කාලකණ්ණි වෙමින් තම පෞද්ගලික පැවැත්මට සිදුවන හානි විඳගත යුත්තේද ජනතාව විසින්ය.
පොලීසිය පැවසුවේ රජයේ දේපොළ හානි සඳහා මුදල් අය කරගැනීමට අධිකරණයේ නඩු පවරන කතාවකි. සෞඛ්‍ය අමැතිවරයා ගලගොඩඅත්තේ හිමිගේ කතාවේදී කී පරිදිම නීතිය කාටත් සමාන නම් පොදු දේපොළ අවභාවිතය වෙනුවෙන් නීතිය ඉටු කළ යුතු බව සියල්ල අසා සිටින ජනතාව පවසති. නැතහොත් මෙවැනි පූර්වාදර්ශ හේතුවෙන් රටට දැරිය නොහැකි අලාභයක් සිදුවිය හැකි බවට පවතින තර්කය ජනතාව සිහිපත් කර දෙති.
රජය අඩියක් පස්සට ගැනීමට නොහැකි තරමට මෝඩ උද්දාමයකින් ආඩම්බර වී ඇතැයි ජනතාව පවසති. සිසුන්ට ආවේගය හේතුවෙන් යමක් සිතන්නට ඇති අවකාශය තවත් දුරදිග යන බවට වැඩිහිටියෝ පවසති. වෛද්‍යවරුන්ට ඇත්තේද යහපාලන ආණ්ඩුවට ඇති පරිදිම තම මතයම දිනාගැනීමේ අර්බුදයක් විනා අර්බුද විසඳාගැනීම වෙනුවෙන් ගත හැකි විකල්ප යෝජනා පිළිබඳ සංවාදයක අවශ්‍යතාව නොවේ යැයි ජනතාව පවසන දේ අසත්‍ය නැත.
කවුරුන් කුමක් කීවද, කළද කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බහින තැනට සයිටම් අර්බුදයේ පාර්ශ්වකරුවන් ලෙස හිටපු ආණ්ඩුවත්, වත්මන් යහපාලනයත් වෛද්‍ය සහ සිසු අරගලකාරීන්ද පත්ව ඇතැයි ජනතාව පවසන දේ ඒ ඒ ඇත්තන් සියුම්ව විමසිය යුත්තේ ජනතාව තුළ මේ කිසිවෙකු කෙරෙහි වෛරයෙන් මිස අනුකම්පාවක් හෝ විශ්වාසයක් නැති තරමට ඒ ඒ ඇත්තන්ම තම ක්‍රියාවන් තුළ සිය ආත්ම ගරුත්වයට මෙතෙක් කරගත් හානිය හේතුවෙනි. ගැමි වහරට අනුව තමන් විහින්ම සායම දිය කරගනිමින් හෑල්ලුවට ලක්වූ හෙයිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

