කය මෙන්ම මනසත් සුවපත් කරන සොඳුරු තැනකට පිවිසෙමු
එම රෝගී වාට්ටුවට ඇතුළු වන ඕනෑම අයෙකු තුළ ඇති වන්නේ අමුතුම වූ හැඟීමකි. තමා වැරදීමකින් විහාර ගෙයකට හෝ සුඛෝපභෝගී හෝටල් පරිශ්රයකට ඇතුළු වූවාදැයි ඇතමෙක් සිතනු ඇත. රෝගීන් රැඳී සිටින ස්ථානයේ ප්‍රදර්ශනය කර ඇති දැන්වීම් පුවරුවක දකින්නට ලැබෙන්නේ මෙවන් සටහනකි.
'ස්නායු ශල්‍ය ඒකකය වෙත පැමිණි ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙහිදී ඔබට,
- මැදපු සුදු ඇඳ ඇතිරිලි,
- කොට්ට් 02 ක්,
- උණු වතුර බෝතලයක්,
- වතුර ජෝගුවක්,
- ශීතකරණ හා මයික්‍රොවේව් පහසුකම්
අප විසින් සපයනවා.'
මෙය කියවන ඔබ බොහෝවිට මෙම රෝගී වාට්ටුව ඇත්තේ පෞද්ගලික රෝහලක හෝ වෙනත් රටක යැයි සිතනු නොඅනුමානය.
සැබැවින්ම මේ අපූරු රෝගී වාට්ටුව වන්නේ මහනුවර මහ රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයයි. මේ උත්තුංග කාර්යය පිටුපස සිටින්නේ සොඳුරු ජීවකයෙකි. ඒ මෙම ඒකකය භාර ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.ඩී.එල්. සිරිවර්ධන මහතාය. සුපුරුදු සුහදත්වය සමගින් ඔහු අප හා පිළිසඳර ඇරඹුවේ මේ ආකාරයෙනි.
''මම ඉපදුණේ මහරගම ප්‍රදේශයේ. පවුලේ හිටියේ මමයි අම්මයි තාත්තයි මල්ලියි. 1 වසරේ සිට 5 වසර වෙනකන් පාසල් ගියේ පන්නිපිටිය ධර්මාශෝක විද්‍යාලයට. පිළියන්දල මධ්‍ය විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ හදාරලා උසස් පෙළ හදාරන්න ශාන්ත තෝමස් විද්‍යාලයට ගියා. උසස් පෙළ සමත් වෙලා කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා.''
වෛද්‍ය අධ්‍යාපනය හමාර කරන මේ තරුණ වෛද්‍යවරයා සිය පළමු පත්වීම ලබන්නේ මාතලේටය. එතැනින් පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශය වෙත මාරුවීම් ලබා යන ඔහු එහි ඉතා දුෂ්කර කාලසීමාවක් ගෙවමින් සිටින අතරතුර ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවෙයි.
එහි සිටින කාලය තුළ තම වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදුකරමින් විදෙස් රටවලද අධ්‍යාපනය හදාරා විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස රෝහල් රැසකම සේවය කර අවසානයේදී ස්නායු ශල්‍ය ඒකකය භාරව මහනුවර මහ රෝහල වෙත පැමිණෙන්නේ 2012 වසරේදීය. වාට්ටුව තුළ වූ අඩු පහසුකම් හේතුවෙන් අධික ලෙස අසීරුතාවලට ලක්වන සිය අහිංසක රෝගී ජනතාව දකින මේ ජීවකයා තුළ ඇතිවන්නේ විශාල සංවේගයකි.
ඒ සංවේගය ඔහු තුළ ඇති කරන්නේ 'මේ වාට්ටුව මගේ රෝගීන්ගේ කය වගේම මනසත් සුවපත් කරන්න පුළුවන් තැනක් කරනවා' යන උතුම් අධිෂ්ඨානයකි. එතැන් සිට පියවරෙන් පියවර සිය වාට්ටුව භෞතික වශයෙන් ඉතාමත් ප්‍රියජනක ස්ථානයක් බවට පත් කිරීම ආරම්භ කරන්නේ සිය කාර්යමණ්ඩලයේ පවා ආකල්පමය වෙනසක් සිදුකරමිනි.
''ඇත්තටම මට මේ වෙනස සිදු කරන්න අපට ඕන වුණේ ඇසට ලොකු ප්‍රියතාවක් ඇතිවන ආකාරයෙන් වගේම ආගම සහ අපේ පෞරාණික යුගයන්වල ආභාසය ලබාගෙන. පියවරෙන් පියවර පොළොවෙ ඉඳලා, රෝගීන්ගේ ඇඳන්, කබඩ්, ඇඳ ඇතිරිලි, සිවිලිම සහ වැසිකිළි පද්ධතිය දක්වාම බොහෝ දේවල් අපට වෙනස් කරන්න සිදුවුණා. මේ වැඩ කටයුතු කරගෙන යන්න එතරම් ලේසි වුණේ නැහැ අවදානම් පවා දරන්න සිදුවුණු අවස්ථා ආවා. ප්‍රතිසංස්කරණ කටයුතු බොහොමයක් කළේ රාත්‍රී කාලයේදීයි.''
කොතෙක් බාධක පැමිණිය ද ඒ සියලු බාධක ජය ගනිමින් අවසානයේ දී සිය අධිෂ්ඨානය සඵල කරගැනීමට වෛද්‍ය සිරිවර්ධන සමත් වන්නේ 'කළ නොහැක්කක් නොමැත' යන්න ඔහු සිය ජීවන දර්ශනය කරගෙන තිබූ නිසාවෙනි. අද වන විට මේ සොඳුරු ජීවකයා ඇතුලු කාර්යමණ්ඩලයේ ඒකායන අරමුණ වී තිබෙන්නේ සිය රෝගී ජනතාව වෙනුවෙන් 'නියුරෝ සීටී ස්කෑන්' යන්ත්‍රයක් ස්නායු ශල්‍ය ඒකකය වෙත ලබාගැනීමත්, විශේෂඥ වෛද්‍ය සිරිවර්ධන මාරුවීම් ලබා මහනුවරින් නික්ම ගියද මෙම වාට්ටු සංකීර්ණය මේ ලෙසටම පවත්වාගෙන යාම සඳහා අරමුදලක් පිහිටුවීමත්ය.
වාට්ටුවට පිවිසෙන ස්ථානයේ තබා ඇති අමුත්තන්ගේ පොත පරීක්ෂා කරන්නේ නම් මේ සොඳුරු මිනිසාට සහ කාර්යමණ්ඩලයට ජනතාව කෙතරම් ආදරය කරනවාද යන්න මැනවින් වැටහෙනු ඇත. එතරම්ම ඔහු මිනිසුන්ට සමීපය.
''මේ වෙනස ඇති කරන්න මගේ දායකත්වය විතරක් නෙවෙයි, තවත් බොහෝ දෙනෙකුගේ ආධාර උපකාර මට ලැබුණා. විශේෂයෙන් මෙම ඒකකයේ කාර්යමණ්ඩලය, මහනුවර මහ රෝහලේ සෙසු කාර්යමණ්ඩලය, මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය රත්නායක මහතා මෙන්ම හිටපු අධ්යක්ෂතුමන්ලාත්, 'ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්' ආයතනයේ අධිපති සෙල්වරාජ් මහතා, මගේ බිරිඳ ඇතුළු පවුලේ සියලු දෙනාමත් සහ නම් වශයෙන් කිවනොහැකි තවත් බොහෝ පිරිසක් මේ කර්තව්‍යය පිටුපස ඉන්නවා. ඒ සියලු දෙනාටම මම මගේ කෘතවේදීත්වය පුද කරන්න කැමතියි'' යැයි වෛද්‍ය සිරිවර්ධන මහතා අප හා පැවසුවේ මහත් නිහතමානීත්වයකින් යුතුවය.
මෙම වාට්ටුව පිළිබඳ එහි රෝගීන්ගෙන්ද අදහස් විමසීමට අපි කටයුතු කළෙමු.
ඩී.යූ. ගුණපාල මහතා
''ඉස්සර මේ වාට්ටුව තිබුණේ මේ විදියට නෙවෙයි අප්‍රසන්න පරිසරයක්. වැසිකිළි ගොඩක් අබලන් වගේම අපිරිසුදුයි. ඒත් දැන් මේ වාට්ටුව අනිත් වාට්ටුත් එකක බැලුවම සැප පහසුව, පරිසරය වගේම පිරිසුදුකම අතිනුත් ඉතාම හොඳ තැනකයි තියෙන්නේ.
කාර්යමණ්ඩලයේ ඉන්නෙත් ගොඩක් කරුණාවන්ත පිරිසක්. මේ වාට්ටුව භාරව ඉන්න සිරිවර්ධන මහත්තයා ගොඩක් හොඳ දැක්මක් තිබෙන කෙනෙක්. ගොඩක් කාරුණික හැමෝටම එක සමානව සළකන කෙනෙක්. එතුමා ආවට පස්සේ එක ලෙඩෙක්වත් බිම ඉඳලා නැහැ. මේ හැම තැනකම තියෙන්නේ හිත නිවන පරිසරයක්. එහෙම තත්ත්වයක ලෙඩ නිකම්ම සුව වෙනවා.''
රසික තෙනකෝන් මහතා
''මම පළමු වතාවටයි රෝහලක නේවාසිකව ඉඳලා ප්‍රතිකාර ලබන්නේ. නමුත් මම දැකලා තියෙන වෙන වාට්ටුත් එක්ක ගත්තම මෙතන තියෙන්නේ වෙනස්ම පරිසරයක්. වෙන තැන්වල දැකපු අප්‍රසන්නභාවය මෙ වාට්ටුවේ කිසිම තැනක දකින්න ලැබෙන්නේ නැහැ. කාර්යමණ්ඩලය පවා රෝගීන් වෙනුවෙන් ගොඩක් වෙහෙසෙනවා. වැසිකිළි පද්ධතිය ඉතාමත් පිරිසුදු වගේම හොඳ තත්ත්වයක තිබෙන්නේ. සාමාන්‍ය රජයේ රෝහලකට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක් මේක.''
ඡායාරූප - සරසි නෙත්මිණි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

