මහරගම, පමුණුව ප්‍රදේශය නොදන්නෙක් නොමැති අතිශයින්ම කාර්යබහුල, ජනාකීර්ණ ප්රදේශයකි. එයට හේතු වන්නේ එම ප්‍රදේශය ඇඟලුම් හා රෙදිපිළි ආශ්රිත නිෂ්පාදන පහසු මිලට තොග හා සාමාන්‍ය වශයෙන් ගත හැකි මධ්‍යස්ථානයක් ලෙස පවතින නිසාය. 'විලි බිය ඇති තෙක් පමුණුව හිස් නොවේ' යැයි කියන්නේද එබැවිනි. පමුණුව කොතරම් කාර්යබහුල හා ජනාකීර්ණදැයි කිවහොත් උත්සවය සමයේදී පමුණුව පාර වසා දැමීමට පවා සිදුව තිබේ. පමුණුවේ නව වගතුග සොයා බැලීමට 'අද' කළ ගවේෂණයකි මේ.
මහරගම සිට අවිස්සාවේල්ල දෙසට ගමන් ගන්නා එක් දිශාවකට අවසර ඇති ප්‍රධාන මාර්ගයත්, මහරගම ප්‍රධාන බස් නැවතුම්පොළ හා විධිමත්, අවිධිමත් වෙළෙඳසැල් රාශියක් පමුණුව පාරට ආසන්නයෙන්ම පිහිටීම නිසාවෙන් පමුණුව පමණක් නොව පමුණුව පාරට ඇතුල් වන ස්ථානයේ සිටම ඇත්තේ අධික තදබදයකි. පදික වෙළෙඳුන් සහ ඇතැම් වෙළෙඳසැල් පදික වේදිකාවද ආක්‍රමණය කර ඇති නිසා පදිකයන්ට ගමන් කිරීමට සිදුව ඇත්තේ මහා මාර්ගයේය.
ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය නිරතුරුවම සිදුවන්නේ තදබදයක් සහිතවය. පමුණුවට ඇතුළු වූ පසු අඩියෙන් අඩියට දකින්නට ලැබෙන්නේ විවිධාකාරයේ ඇඟලුම් අලෙවිකරන වෙළෙඳසැල් විශාල ප්රමාණයකි. ඊට අමතරව බොහෝ වෙළෙඳුන් පදික වේදිකාවේ සහ තවත් පිරිසක් අසලම ඇති මහරගම දුම්රිය ස්ථානයත් සමග තිබෙන දුම්රිය මාර්ගයේදී වෙළෙඳාමේ නිරත වෙයි. තාවකාලික ලෙස සකස්කර ඇති වෙළෙඳසැල් දුම්රියක් පැමිණෙන විට ඉවත්කර ගනී. ස්ථීර ලෙස හා තාවකාලික ලෙස සකසා ගත් වෙළෙඳසැල් රාශියක් පමුණුව පුරාම දක්නට ලැබේ.
ස්ථිර ලෙස ඉදිකර ඇති වෙළෙඳසැල් වල ඉදිරියෙන් මාර්ගයේ අයිනේ ලෑලි තට්ටු හෝ වෙනත් ආධාරක උපයෝගී කර ගනිමින් තාවකාලික කොටස් සකසා ඒවායේද ඇඟලුම් අලෙවියට තබා තිබෙන අතර, පදික වෙළෙඳුන් මාර්ගය අයිනේ තාවකාලික මඩු ඉදිකර ඒවායේ වෙළෙඳාම් සිදුකරයි. ඇතැම් ගොඩනැගිලි පදික වේදිකාව වනතෙක්ම පුළුල්කොට ඇත. එමෙන්ම සමහර පදික වෙළෙඳාම්කරුවන් සිය තාවකාලික මඩු සිමෙන්ති සහ බ්ලොක්ගල් උපයෝගී කර ගනිමින් සකසා ගැනීමටද කටයුතුකර තිබේ.
මේ හේතූන් නිසා පාරිභෝගිකයන්ට සහ ජනතාවට මහා මාර්ගයේ ගමන් කිරීමට සිදුව තිබේ. එවැනි වාතාවරණයකදී වාහන මාර්ගයේ ගාල් කිරීමට ඉඩක් නොතිබුණද බොහෝ වාහන මෙම පටු මාර්ගය දෙපස ගාල්කර තිබෙනු අපට දක්නට ලැබුණි. එම නිසා නිතරම පාහේ මාර්ගයේ ගමන් කරන රථ වාහන වලටද ඉඩ ඇහිරීමෙන් අධික තදබදයක් දුම්රිය මාර්ගයෙ වනතෙක්ම දක්නට ලැබේ.
එපමණක් නොව දුම්රිය පොළ පාරේ සිට පැමිණෙන රථ වාහනවලට පමුණුව පාර හරහා දුම්රියපොළ පාරේ අනෙක් කොටසට ඇතුළු කිරීම තහනම් කොට සංඥාවක් පවා සවිකර ඇති නමුත්, ඇතැමුන් එය නොසලකා අනෙක් කොටසට වාහන ඇතුළු කිරීමට යාමෙන් මෙම තදබදය දෙගුණ තෙගුණ වේ.
අධික ජනකායක් නිතරම මෙම පමුණුව මාර්ගයේ සැරිසරණ බැවින් වාහන ගමනාගමනය සිදුවන්නේ ඉතා සෙමිනි. අප දුටු තවත් කරුණක් වන්නේ පමුණුව පාර මෙතරම් ජනාකීර්ණ වුවත් මෙම මාර්ගයේ එකදු ස්ථානයකවත් පදිකයන්ට පාර මාරු වීමට කහ ඉරක් නොතිබීමයි. පමුණුව අවට වෙසෙන හා එහි ගමන් ගන්නා ජනතාවගෙන් අප කළ විමසීම් වලදී ඔවුන් කියා සිටියේ පමුණුව පාර ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත යාමට තිබෙන එක් මාර්ගයක් බවත්, රෝහලේ ගිලන් රථ මෙම මාර්ගයද භාවිත කරන නිසා මෙහි පවතින තදබදය රෝගී ජීවිත අවදානමට ලක්කරන බවයි. එමෙන්ම සියලුම වෙළෙඳසැල් මාර්ගයට ඉතාමත් ආසන්නයෙන් පිහිටීම නිසා හා මාර්ගය පටුවීම නිසා වාහන පමණක් නොව මෙහි ගමන් කරන ජනතාව අතරද තදබදයක් දක්නට ලැබෙන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
මෙම වෙළෙඳසැල් ඉතා ළං ළංව අවිධිමත් අයුරින් පිහිටීම හේතුවෙන් හදිසි ගින්නක් ඇතිවුවහොත් ඉන් සිදුවිය හැකි විනාශය සුළුපටු නොවන බවද ජනතාව පැවසූහ. වෙළෙඳසැල් හිමියන්ගේද අදහස් දැනගැනීමට අප කටයුතු කළත්, බොහෝදෙනා ඊට එතරම් කැමැත්තක් පළ නොකළහ. අදහස් දැක්වීමට ඉදිරිපත් වූ වෙළෙඳුන් අප හා කියා සිටියේ පමුණුවේ මේ අයුරින් වසර 20කටත් වඩා වැඩි කාලයක සිට ඔවුන් වෙළෙඳාම් කරන බවයි. මහරගම නගර සභාව වෙළෙඳාම් කරන්නන්ගෙන් දිනපතා රුපියල් 25ක පමණ ගාස්තුවක් අය කළද කිසිදු පොදු පහසුකමක් සපයා නොමැති බව වෙළෙඳුන් පවසයි.
සිය ජල අවශ්‍යතා සහ වැසිකිළි අවශ්‍යතා සඳහා අවට නිවාසවලට හෝ මහරගම පොදු වැසිකිළිය වෙත යාමට ඔවුන්ට සිදුව තිබේ. ජලය ගමන් කිරීමට කාණු පද්ධතියක් කිසිදු තැනක නොමැති වීම නිසා වර්ෂා කාලයේදී පමුණුව පාර ජලයට යට වීමෙන් වෙළෙඳුන් පමණක් නොව අවට ජනතාව පවා පත්වන්නේ සුළුපටු අසීරුතාවකට නොවන බවද ඔවුන් කියා සිටියහ. මෙම තදබදයට එක් හේතුවක් ලෙස පමුණුවට පැමිණෙන ජනතාවට වාහන ගාල් කිරීමට ස්ථානයක් නොමැති වීමද හේතු වී තිබේ.
වෙළෙඳුන් වැඩිදුරටත් පවසා සිටියේ වසර 20කට වැඩි කාලයක සිට ඔවුන් මෙහි වෙළෙඳාම් කළද මේ තාක් කිසිදු රජයකින් හෝ වගකිව යුතු අංශයකින් ස්ථිර ලෙස වෙළඳාම් කිරීමට ගොඩනැගිල්ලක් හෝ ස්ථානයක් ලබාදීමට කටයුතු කර නොමැති බවයි. පමුණුව පාර සම්බන්ධයෙන් පැන නැගී ඇති මෙම ගැටලු හා වෙළෙඳුන්ගේ චෝදනා පිළිබඳ අප මහරගම නගර සභාවේ බලධාරීන්ගෙන් විමසීමක් කළ අතර ඔවුන් කියා සිටියේ පමුණුව පාරේ ඇති ඉදිකිරීම් සියල්ලම පාහේ අනවසර ඉදිකිරීම් බවයි.
එවැනි අනවසර ඉදිකිරීම් සඳහා පොදු පහසුකම් සැලසීමට හැකියාවක් නොමැති බව සඳහන් කරන ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වසරක කාලයක සිට පදික වෙළෙඳුන් පිරිසක් පදික වේදිකා පවා අත්කරගෙන සිමෙන්ති හා බ්ලොක් ගල් උපයෝගී කරගනිමින් මෙම අනවසර ඉදිකිරීම් සිදුකරන බවයි. මහරගම නගර සභාව දිනපතා වෙළෙඳුන්ගේ රුපියල් 25ක මුදලක් අය කරන්නේ වෙළෙඳාම සඳහා නොව ඔවුන් දිනපතා බැහැර කරන අධික කැළිකසළ ප්‍රමාණය එක්රැස් කිරීමේ කටයුතු සඳහා බව පෙන්වා දුනි. මේ සඳහා ක්‍රියා කිරීමට නගර සභාවට බලයක් නොමැති බැවින් මෙහි වගකීම දැන් තිබෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය සතුව බවත් මහරගම නගර සභා බලධාරීහු ප්‍රකාශ කළහ.
එම නිසා අප මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ වගකිව යුතු බලධාරීන්ගෙන් කරුණු විමසීමකට උත්සාහ කළද කිසිදු නිලධාරියෙක් කරුණු දැක්වීමට ඉදිරිපත් නොවුණු අතර දිගින් දිගටම එය මගහරින්නට විය. නමුත් එහි ඇතුළත ආරංචි මාර්ගයන් මගින් අපට වැදගත් කරුණු කිහිපයක් හෙළිකර ගැනීමට හැකි විය. එනම් පමුණුව මාර්ගයේ මාර්ග සීමාව උල්ලංඝනය කරමින් ඉදිකර ඇති මෙම සියලුම ඉදිකිරීම් අනවසර ඉදිකිරීම් වන බවයි.
පමුණුව පාර පුළුල් කිරීමට මේ වන තෙක් යෝජනා වී නොතිබුණද, එවන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ජාතික අවශ්‍යතාව මත මෙම සියලු ඉදිකිරීම් ඉවත් කිරීමට හැකි බවද හෙළිවුණි. කිසියම් සාහනුකම්පිත දීමනාවක් මේ වෙනුවෙන් කඩ හිමියන්ට ලබාදීමට සිදුවන බවද දැනගන්නට ලැබුණි. මීට නිසි පියවර ගැනීමට නොහැකි වීම පිටුපස දේශපාලන බලපෑම් බොහෝමයක් පවතින බවද මෙම ආරංචි මාර්ගයන්ගෙන් වැඩිදුරටත් හෙළිවුණි. ඊට හේතු වී තිබෙන්නේ සමහර කඩ හිමියන් එම දේශපාලන හස්තයන්ගේ හිතවතුන් හා ආධාරකරුවන් වීමයි. එම අනවසර මහල් අධික මිල ගණන්වලට කුලී පදනම මත ලබාදී ඇති බවද වැඩිදුරටත් දැනගන්නට ලැබුණි.
කරුණු කාරණා කෙසේවුවද මෙතරම් කාලයක් පමුණුවේ මේ ආකාරයෙන් පැවත ඇත්තේ අනවසර ඉදිකිරීම් නම් බලධාරීන් ඊට මේ වන තෙක් නිසි පියවරක් ගෙන නොමැත්තේ ඇයිද යන්න පැහැදිලිවම අවධානය යොමු විය යුත්තකි. ජීවිත මෙන්ම දේපළ අවදානමක්ද මෙම අවිධිමත්භාවය හේතුවෙන් දකින්නට ලැබෙන අතර, මෙයින් පීඩාවට පත්වන පිරිස්ද බොහෝය.
එක් පැත්තකින් වෙළෙඳුන්ගේ ජීවිකාවය. අනෙක් පැත්තෙන් රටේ නීතියය. තවත් පැත්තකින් පීඩාවට පත්වන මගීන් හා පදිකයන්ය. මේ තුන් පැත්තටම සාධාරණයක් ඉටුකිරීමට බලධාරීන් නිසි පියවර ගනු ඇතැයි 'අද' අපි අපේක්ෂා කරමු.
ඡායාරූප - සරසි නෙත්මිණ