ජපාන ජාතිකයන්ට අද දවස වනවිට ඔවුන් ළඟා කරගෙන සිටින දියුණුම ස්ථානය හිමි කරගැනීමට හැකිව තිබෙන්නේ තමන්ට නැති බැරි කාලයේදී රට තුළ සිදුකළ වෙනස්කම් දෙකක් හේතුවෙන් බවට සඳහන් වෙයි.ඉන් එක් කාරණයක් වී තිබෙන්නේ රටවැසියන් එක්ව තම රටේ සැබෑ නිෂ්පාදන පමණක් මිලදීගනිමින් සිදුකළ මෙහෙය සහ රටවැසියන් සියලු දෙනාටම සාධාරණ මුදලකට භාණ්ඩ ලබාගත හැකි ස්ථාන ස්ථාපිත කිරීම හරහා ජනතාව මිලදී ගැනීම සිදු කිරීම නිසාය.
හිරෝෂිමා නාගසාකි නගරවලට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාර නිසා පොළොවටම සමතලා වී ගිය ජපානය අද වනවිට ලෝකයේ දියුණුම රටවල් අතර පෙරමුණේ සිටින රටකි. ජපානයට සිදු වූ අවාසනාවන්ත තත්ත්වයට අප රටට මුහුණදීමට සිදු නොවුණද ජනතාවට සාධාරණ මුදලට භාණ්ඩ ලබාදීම සඳහා 1911 වසරේදී සමූපකාර ව්‍යාපාරයත්, 1959 වසරේදී සතොස ව්‍යාපාරය හා 1970 වසරේදී මෙරට කර්මාන්ත නැංවීම සඳහා සළුසල ආයතනයත් වැඩිදියුණු කර තිබේ.
ග්‍රාමීය ගොවි ජනතාවගේ ආර්ථික අවශ්‍යතා සපුරාලීම සඳහා 1906 වසරේදී ශ්‍රී ලංකාවේ ණය දෙන සමූපකාර සමිතිය ආරම්භ වී තිබෙන අතර, 1911 අංක 07 දරන සමූපකාර සමිති ආඥා පනත මගින් සමූපකාර ව්‍යාපාරය සඳහා රජයේ මැදිහත් වීම සිදුකර ඇත.
1930 වසරේ ඔක්තෝබර් 01 වැනිදා සමූපකාර දෙපාර්තමේන්තුව බිහි වී තිබෙන අතර, 1945 වසරේදී සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවත්, 1957 වසරේදී විවිධ සේවා සමූපකාර සමිතිය බවට පත්ව තිබේ.
ආර්ථික හා ව්‍යාපාරික රටාවට ගැළපෙන සේ 1971 වසරේදී සමූපකාර සමිති ප්‍රතිසංවිධානය කර ඇත. මේ ආකාරයට බිහි වූ සමූපකාර ව්‍යාපාරය මගින් ග්‍රාමීය ජනතාවට දෛනිකව අවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය, කෘෂි උපකරණ, භූමිතෙල් වැනි දෑ සාධාරණ මුදලකට ලබාදෙනු ලැබිණි.වගකීමක් සහිතව සාධාරණ මුදලකට සමූපකාර තුළින් භාණ්ඩ මිලදීගැනීමට හැකි වීම නිසා ජනතාව සමූපකාරය තුළින් තම අවශ්‍යතා සපුරාගැනීමට කටයුතු කළහ. මීට අමතරව විවිධ සහනාධාර ක්‍රම මගින් රජයෙන් ලබාදුන් සියලුම සහනාධාර ලබාදුන්නේද සමූපකාරය හරහාය.
උදාහරණයක් ලෙස ලෝක ආහාර වැඩසටහන ඇතුළු වෙනත් වැඩසටහන් මූලික කරගනිමින් මුද්දර ක්‍රමයට භාණ්ඩ බෙදාහැරීම සිදුවිය. සහනාධාර මුද්දරය වශයෙන් හැඳින්වූ මෙම ක්‍රමය හරහා මාසිකව ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදෙනු ලැබිණි. මීට අමතරව දුෂ්කර පාසල්වල අධ්‍යාපනය ලැබූ දරුවන්ගේ පෝෂණය ඉහළ දැමීම සඳහා 1990 දශකයේදී යම් සහනාධාර ප්‍රමාණයක් ලබාදුන් අතර, එම සහනාධාර ප්‍රමාණයන් මුද්දරයක් මගින් ලබාදෙනු ලැබිණි. සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වූ පසු ඒ හරහා දිළිඳු ජනතාව නඟාසිටුවීම සඳහා රජය විසින් සහනාධාර ක්‍රමයක් ඇති කළ අතර, එහිදී ලබාදුන් මුද්දරයෙන් පවා භාණ්ඩ ලබාගැනීමට හැකි වූයේ සමූපකාරය තුළිනි.
වර්තමානය තුළ සමූපකාරය යන නම රැඳී තිබෙන්නේද සමෘද්ධි සහනාධාරය සඳහා භාණ්ඩ ලබාදීම සඳහා පමණි. එදා වර්තමානයේ සුපිරි වෙළෙඳ සැලකින් ලබාගත හැකි බොහෝ භාණ්ඩ ජනතාවට සමූපකාරය තුළින් අඩු මිලට ලබාගැනීමට හැකියාව තිබිණි. එහෙත් 90 දශකයෙන් පසු සමූපකාර දියුණු කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා සමූපකාරය යන නම බෝඩ් ලෑල්ලට පමණක් සීමා විය. මේ නිසා දිළිඳු ජනතාවට කළුකඩකරුවන්ගෙන් අධික මිල ගණන් යටතේ භාණ්ඩ මිලදීගැනීමට සිදුවිය. එහෙත් සමූපකාරය දියුණු තත්ත්වයේ පවතිද්දී සියලු දෙනාට සමූපකාරයෙන් නියම කර තිබූ භාණ්ඩ මිලට වැඩි මිලකට භාණ්ඩ අලෙවි කිරීම අසීරු විය. සමූපකාරය බිඳවැටීම නිසා පෞද්ගලික වෙළෙඳුන් භාණ්ඩ අලෙවි කිරීමේදී ඒකාධිපතිත්වයක් පවත්වාගෙන යෑම නිසා වෙළෙඳ සැල් හිමියෝ තමන් සිතූ සිතූ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීමට පෙලඹී සිටිති.
භාණ්ඩ මිලදීගැනීම යටතේ කෘෂිකර්මාන්තයට අදාළ උපකරණ සමූපකාරය හරහා මිළදීගැනීමට හැකිවීම නිසා ගොවි ජනතාවට අවශ්‍ය භාණ්ඩ ඉතාමත් සාධාරණ මිලට ලබාගැනීමට හැකි විය. එහෙත් අද වනවිට සමූපකාර තුළින් එම ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ඉවත්ව තිබේ. එහෙත් සමූපකාරය ජනතාවගෙන් ඈත් කළද, සමූපකාර මූලික කරගනිමින් ඇති වූ සමූපකාර සමිති තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. ලංකාවේ පළාත් 09 තුළ ක්‍රියාත්මක වන සමූපකාර සමිති ප්‍රමාණය 14,454 කි. ප්‍රධාන සමිති 54 ක් මගින් මෙම සමිති පාලනය කරන අතර, සමිති සතු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 275 ක් ඉක්මවා තිබේ. 94 වැනි ජාත්‍යන්තර සමූපකාර දිනය මේ මාසයට යෙදී ඇත. සමූපකාරයට අමතරව ප්‍රධාන නගර මූලික කරගනිමින් සතොස ව්‍යාපාරය ආරම්භ කර තිබෙන අතර, සතොසට නව මුහුණුවරක් එක්කරනු ලැබ තිබෙන්නේ 1956 වසරින් පසුවය.
සිරිමාවෝ පාලන සමයේදී වාණිජ, වෙළෙඳ, ආහාර සහ නාම කටයුතු පිළිබඳ අමාත්‍යවරයාව සිටි ටී.බී. ඉලංගරත්න මහතා විසින් සතොස රට තුළ ප්‍රචලිත කිරීමට කටයුතු කරනු ලැබිණි. ඒ හරහා නගර ආශ්‍රිතව ක්‍රියාත්මක වූ සතොස ව්‍යාපාරය තුළින් ජනතාවට තරගකාරී මුදලකට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව හිමිකර දී තිබිණි. පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සමයේදී නගරයට සීමා වී තිබූ සතොස ග්රාමීයව දියත් කිරීමට අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා කටයුතු කළේය. එහෙත් සතොස දියුණු කිරීමට 2000 වසරින් පසු බලධාරීන් කටයුතු නොකිරීම නිසා සතොසද ක්‍රම ක්‍රමයෙන් අඩපණ විය.
2001 සහ 2002 වසරවලදී එවකට පැවැති ආණ්ඩුවේ ඇමැතිවරයෙකු සතොස විකුණා දැමීමට සැලසුම් කළ බවටද විශාල චෝදනාවක් එල්ල විය.
කෙසේ වුවද අද වනවිට දියුණුත් නොවන, අඩපණත් නොවන තත්ත්වයෙන් සතොස ශාඛා 309 ක් රට පුරා පවත්වාගෙන යනු ලබයි. එහෙත් මේ වනවිට රට තුළ ඇති වී තිබෙන සුපිරි වෙළෙඳ සැල් හා තරග කිරීමට ප්‍රමාණවත් තරම් භාණ්ඩ නොමැති වීම සතොස ආයතනය දියුණුවෙන් දියුණුවට පත්වීමට තිබෙන ප්‍රධාන බාධකය වී ඇත. පොදුවේ රජය භාණ්ඩ සඳහා ලබාදෙන සහනාධාර නිසි ලෙස ලබාදෙන ආයතනයක් බවට සතොස නම් වී තිබේ. රජයේ පාලන මිල යටතේ භාණ්ඩ අලෙවි කිරීම නිසා ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව මේ වනවිට වැඩි වැඩියෙන් සතොසින් භාණ්ඩ මිලදී ගැනීමට පෙලඹී සිටිති. මේ නිසා රජයේ සහතික මිළ යටතේ සීනි අලෙවි කිරීම සතොස විසින් සීමා කර තිබෙන බවද වාර්තා වේ. ඒ අනුව රජයේ සහතික මිල වන රුපියල් 87 බැගින් සීනි කිලෝග්‍රෑම් 02 ක් ලබාගැනීමට නම් සතොස තුළින් රුපියල් දහසක හෝ දෙදහසක මුදලකට භාණ්ඩ ලබාගත යුතු බවට නීතියක් පනවා ඇතැයිද වාර්තා වේ.
අදාළ නීති පැනවීම සිදුකරන ලෙසට සුපිරි වෙළෙඳ සැල් හිමියෙකු විසින් රජයට බලපෑම් කර ඇතැයිද චෝදනාවක් එල්ල වී තිබේ. පේෂ කර්මාන්තය යනු අපේ මිනිසුන් ඉතිහාසයේ පටන් පවත්වාගෙන ආ කර්මාන්තයකි. පේෂ කර්මාන්තය තුළින් සකස් වූ රෙදිපිළි විවිධ ක්‍රම මගින් ජනතාව වෙත අලෙවි කරනු ලැබිණි. ජනතාව සකස් කළ රෙදිපිළි මුල් කාලයේදී පෞද්ගලික අංශය හරහා අලෙවි කර තිබෙන අතර, 1970 වසරේදී රාජ්‍ය අංශය ලෙස සළුසල ආයතනයත්, පෞද්ගලික අංශයත් එක්ව අදාළ අලෙවි කිරීම් සිදු කර තිබේ. පාරම්පරික රැකියාවක් ලෙස පැමිණි රේන්ද විවීම ඇතුළු රෙදිපිළි කර්මාන්තය පසුකාලීනව රජය මැදිහත් වී සිදු කිරීමටත් කටයුතු කර තිබේ.
මේ නිසා පූගොඩ, වේයන්ගොඩ ඇතුළු ප්‍ර‘දේශවල විශාල පේෂ කර්මාන්ත ශාලාද ඇති විය. එහෙත් මෙම කර්මාන්ත ශාලා නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා දේශීයව පැවැති මහා පරිමාණ කර්මාන්ත ශාලා පසුකාලීනව වසා දමනු ලැබිණි. එහෙත් පාරම්පරික හා නව පරපුරේ පිරිස් සකස් කළ රෙදිපිළි වර්ග රට තුළ පැවතීම නිසා සළුසල ආයතනය වැනි රාජ්‍ය ආයතන විසින් මිලදීගැනීම සිදුකර සාධාරණ මිලකට එම ද්‍රව්‍ය ජනතාවට අලෙවි කර තිබේ. මීට සමගාමීව පෞද්ගලික ආයතන කිහිපයක්ද අදාළ අලෙවි කටයුතු කර තිබෙන අතර, කුමන හෝ පුද්ගලයෙකුගේ මැදිහත් වීම මත සළුසල භාණ්ඩ මිලදීගැනීමට කටයුතු නොකිරීම නිසා එම ආයතනය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.
මේ නිසා සළුසල වශයෙන් පවත්වාගෙන ආ බොහෝ ආයතන මේ වනවිට වසා දමා ඇත. කෙසේවෙතත් සළුසල ආයතනය වසා දමමින් තිබෙන්නේ ජාතික ශිල්ප සභාව දේශීය කර්මාන්තය නගා සිටුවීමට විශාල උත්සාහයක් දරමින් සිටින මොහොතකය. මේ නිසා ජනතාව නිෂ්පාදනය කරන භාණ්ඩවලට නිසි මිලක් නොලැබෙන අතර, ඉතාමත් අඩු මිලට ලබාගන්නා භාණ්ඩ අධික මිලකට අලෙවි කිරීමෙන් ව්‍යාපාරිකයෝ අතිවිශාල මුදලක් උපයා ගනිති.නිසි ලෙස නිෂ්පාදකයන්ට මුදලක් නොලැබීම නිසා පේෂ කර්මාන්තයද මේ වනවිට සළුසල සේම අඩපණ වෙමින් තිබේ. මේ ආකාරයට ජනතාවට සහන සැලසූ ආයතන අභාවයට යවමින් මෑතකාලීනව බිහි වූ පාලකයන් සිදුකළේ උපයාගන්නා ඩොලර් වියදම් කර පිටරටින් භාණ්ඩ ගෙන්වා අලෙවි කිරීමට ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමයි. මේ නිසා දේශීය ව්‍යාපාරිකයාත්, පාරිභෝගිකයාත් අද කබලෙන් ලිපට වැටී තිබේ.
දේශීය කර්මාන්ත ටික සහ දේශීයව ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය බිඳ දමා ජනතාවට සහන ලබාදෙන බවට දේශපාලන පොරොන්දු ලබාදීම තුළින් රටක් දියුණු කිරීමට හැකි වන්නේ නැත. 1911 වසරේදී ආරම්භ වූ සමූපකාර ව්‍යාපාරය රට තුළ ශක්තිමත් ආයතනයක් ලෙස ගොඩනැගුවා නම් මෙරට ජපානයටත් වඩා දියුණු මට්ටමේ පවතින රටකි.දේශීය කර්මාන්තය නගා සිටුවීම සඳහා සළුසල ඇතුළු දේශීය ආයතන නගා සිටුවීමට කටයුතු කළා නම් අප රට රෙදිපිළිවලින් හෝ ස්වයංපෝෂිත රටකි. එහෙත් මේ රටේ ජනතාවගේ විලි වසාගැනීමට අවශ්‍ය යට ඇඳුමේ සිට සියලුම ඇඳුම් පැලඳුම් සකස් කිරීමට අවශ්‍ය රෙදි ටික පිටරටින් ගෙන්වීමට සිදුව තිබේ.
මේ නිසා අහසට රොකට් යැවීමට පෙර බිමේ සංවර්ධනය ඇති කිරීමට අවශ්‍ය කටයුතු කිරීම, වර්තමාන පාලකයන්ගේ සහ ඉදිරියේදී රට බාරගැනීමට සිතා සිටින පුද්ගලයන්ගේ වගකීමකි. එසේ නොමැතිව මැතිවරණ පොරොන්දු ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, පාන් ගෙඩියකින් රුපියලක් දෙකක් අඩු කිරීම හෝ වෙනත් පොරොන්දුවලට ඡන්දය ලබා නොදී අපේ දේ රැකගනිමින් අපේ දේ දියුණු කරන බවට පොරොන්දු ලබාදෙන සැබෑ දේශපාලඥයන් මහජන නියෝජිතයන් බවට පත් කරගැනීමද ඡන්දදායකයන්ගේ වගකීමකි. සමූපකාරය ශක්තිමත්ව තිබුණා නම් ආණ්ඩුව වැට් බදු සංශෝධනයේදී වැට් බදු පැනවීමට කටයුතු නොකළ සියලුම භාණ්ඩ සමූපකාරය හරහා ගමේ ජනතාවට ලබාදීමට හැකිව තිබිණි.
එහෙත් එවැනි යාන්ත්‍රණයක් නොමැති නිසා වැට් බදු නොයෙදූ භාණ්ඩ පවා වැට් බදු මුදලට සාපේක්ෂව ඉහළ දමමින් අලෙවි කරන බවට චෝදනා එල්ල වෙමින් තිබේ. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට මෙවැනි චෝදනා එල්ල වුවද ඉන් ජනතාවට සෙතක් සැලසෙන්නේ නැත. මේ නිසා මුලින්ම සිදුකළ යුත්තේ ජනතාව ගැන සිතා මුලින්ම ගමේ ජනතාවට සමීපතම ආයතනය වන සමූපකාරය දියුණු කිරීමයි.