රිචඩ් පර්මන් එංගලන්තයේ හෘද හා උරස්කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකි. ඔහු දැනට වසර විස්සක පමණ සිට අපේ රටේ ළමා හා වැඩිහිටි හෘද සැත්කම් කිරීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණෙයි. සෑම වර්ෂයකම තුන් හතරවතාවක් රිචඩ් පර්මන් වෛද්‍යවරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණෙන්නේ අප රටේ හදවත් රෝගීන්ට පිහිට වීම සඳහාය.
ඔහු එංගලන්තයේ සිට මෙරටට පැමිණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී ස්වේච්ඡාවෙන්ම සංකිර්ණ තත්ත්වයේ හදවත් සැත්කම් සිදුකරයි. රිචඩ් පර්මන් වෛද්‍යතුමා මෙවර මෙරටට පැමිණි අවස්ථාවේදී අපට මුණගැසුණේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදීය. දැන් රිචඩ් පර්මන් වෛද්‍යතුමාගේ වයස අවුරුදු 67කි. මීට වසර විස්සකට පමණ පෙර මෙරටට පැමිණීමට හේතුවූ කරුණු කාරණා විස්තර කරමින් ඔහු අප සමග අදහස් බෙදාහදා ගත්තේ මෙලෙසිනි.
හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන රංජිත් ලියනගේ මහත්තයා 97 වර්ෂයේදී අධ්‍යයන කටයුතු සඳහා එංගලන්තයට පැමිණ සිටියා. ඔහු මාත් සමග එංගලන්තයේ ලෙක්චර් රෝහලේ වැඩ කළා. කුඩා දරුවන්ගේ හදවත් සැත්කම් කළා. මේ අතර මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඒ කාලයේ වැඩ කරලා තියෙන්නේ කරාපිටිය රෝහලේ. ඔහු රංජිත් ලියනගේ මහත්තයාට කියලා තිබුණා හදවත් රෝගවලට ගොදුරුවෙලා ගාල්ලේ දරුවන් ගොඩක් මියයනවා කියලා. ඒ සඳහා උදව්වක් කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අනුව තමයි 97 වර්ෂයේදී මම මුල්වරට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණියේ. ඒ කාලයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ හදවත් සැත්කම් කළේ නැහැ. මම එන්න ඉස්සෙල්ලා කරාපිටියට එංගලන්තයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු එවලා හදවත් සැත්කම් කරන්න පුළුවන්ද කියලා සොයලා බැලුවා. ඒ කාලයේ එතරම් පහසුකම් කරාපිටිය රෝහලේ තිබුණේ නැහැ. අපහසුවෙන් හරි කරන්න පුළුවන් කියලා ඔවුන් මට කීවා. ඒ අනුව මුලින්ම හදවත් සැත්කම් කටයුතු සඳහා අවශ්‍ය උපකරණ කරාපිටිය ශික්ෂණ රෝහලට ගුවන් මගින් එවීමට කටයුතු කළා.පස්සේ එංගලන්තයේ සිට වෛද්‍යවරු, හෘද නිමේෂකයන්, හෙදියන්, කාර්මික ශිල්පීන් සමග අපි කණ්ඩායමක් ආවා. ඒ කාලයේ වෙනම කරාපිටිය රෝහලේ හෘද හා උරස්කුහර ඒකකයක් තිබුණේ නැහැ. සාමාන්‍ය ශල්‍යාගාරවල තමයි සැත්කම් කළේ. හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක, මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මට ගොඩක් උදව් කළා. ඒ විදියට තමයි මුලින්ම කරාපිටිය ශික්ෂණ රෝහලේ හදවත් සැත්කම් කිරීම ආරම්භ කළේ. අන්තිමට රුවන් ඒකනායක හා හරේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් එකතුවෙලා කරපු ව්‍යාපෘතියක් බවට මෙය පත්වුණා. ළමා හදවත් සැත්කම් මෙන්ම වැඩිහිටි සැත්කම් කළා. 97 වර්ෂයේ සිට 2001 වසර දක්වා කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් කිරීම ව්‍යාපෘතියක් විදියට කළා.
ඊට පස්සේ මම මෙරට පෞද්ගලික රෝහල්වලත් හදවත් සැත්කම් කළා. 2012 වර්ෂයේදී මම විශ්‍රාමිකයි. හෘද හා උරස්කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර මහත්මියගේ ඉල්ලීමකට අනුව නැවත කරාපිටිය රෝහලට පැමිණියා. සංකිර්ණ තත්ත්වයේ පවතින දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ හදවත් සැත්කම් කරනවා. මෑතක සිට වසරකට තුන් හතර වතාවක් කරාපිටිය රෝහලට පැමිණ හදවත් සැත්කම් කරනවා. සති තුනක් හතරක් විතර ඉන්නවා. මගේ පෞද්ගලික වියදමින් තමයි මෙරටට පැමිණෙන්නේ. හදවත් රෝග සමග බැලුවොත් ලංකාවේ වසරකට හදවත් සැත්කම් කළයුතු කුඩා දරුවන් 2500ක් විතර ඉන්නවා. මින් සියයට විස්සක් විතර තමයි සංකීර්ණ තත්ත්වයේ හදවත් සැත්කම් තියෙන්නේ. කොළඹ රිජ්වේ ළමා රෝහලේ වසරකට හදවත් සැත්කම් 1000ක් විතර කරනවා.*
හෘද හා උරස්කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර මහත්මිය රිචඩ් පර්මන් වෛද්‍යතුමන් ගැන මෙසේ අදහස් දැක්වූවාය.
&ඇත්තටම මෙම වෛද්‍යතුමා ලොකු සේවාවක් අපේ රට වෙනුවෙන් කරනවා. හදවත් රෝගීන් සුවපත් කරන්න ඔහු කරන සේවය විශිෂ්ටයි. මෙම වෛද්‍යතුමාගේ තියෙන දැනුම හා පළපුරුද්ද අනෙක් වෛද්‍යවරුන්ට බෙදා දෙනවා. සංකීර්ණ තත්ත්වයේ හදවත් සැත්කම් කරන්න පුළුවන් වෛද්‍යවරුන් කිහිපදෙනා අතර රිචඩ් වෛද්‍යතුමාද එක් අයෙක්. ඔහු මෙරටට පැමිණි විට වැඩි වශයෙන් කරන්නේ සංකීර්ණ තත්ත්වයේ හදවත් සැත්කම්. ඒ විතරක් නෙවෙයි එක්මෝ ප්‍රතිකාර ක්‍රමය අපට හඳුන්වලා දුන්නේ මේ වෛද්‍යතුමා.*
මෙපමණක් නොවේ, එක්මෝ නමැති යාන්ත්‍රික ප්‍රතිකාර ක්‍රමය එංගලන්තයට හඳුන්වා දීමට මුල් වූයේද හෘද හා උරස්කුහර ශල්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිචඩ් පර්මන් මහතාය. අපේ රටටද මෙකි ප්‍රතිකාර ක්‍රමය හඳුන්වා දීමට මුල් වූයේද රිචඩ් ජර්මන් වෛද්‍යතුමාය. හෙතෙම මෙකී ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ පරතෙරට දත් අයෙකි. රිචඩ් වෛද්‍යතුමා මේ වන විට රෝගීන් 1500කට පමණ මෙම ප්‍රතිකාර ක්‍රමය සිදුකොට තිබේ.