ළමයි වෙනුවෙන් බිහිවන චිත්‍රපට අතර අප බොහෝවිට දැක ඇත්තේ දුගී බව, දුක සහ කටුක බව අතරින් ළමා ලොව දෙස බලන නිර්මාණයන්ය. නමුත් දරුවෙකු යනු දහසක් සිහින අතර සැරිසරන සතුට, සොම්නස, සෙනෙහස තුළින් ජීවිතය විඳින්නට හා ඒ තුළින් ජීවිතයට පිවිසෙන්නට වෙර දරන පිරිසක්ය යන තැනින් ළමුන් ගැන කතාකරන්නට පටන් ගත් නිර්මාණ අපේ සිනමාව තුළ එතරම් සුලබ නැත. එහෙත් ළමුන්ගේ සිතේ ඇතිවන මේ පැතිකඩ නිර්මාණ සඳහා යොදාගත් හීරෝ නීරෝ ප්‍රදර්ශනය අරඹන්නට සූදානමින් සිටී. අප එහි අධ්යක්ෂ ප්‍රදීප් මහේෂ් ලියනගේ සමග මේ කතාව අරඹන්නේ ඒ නිමිත්තෙනි.
Q 'හීරෝ නීරෝ' ළමා චිත්‍රපටය තුළින් ඔබ කතාකරන්නට සූදානම් වෙන්නෙ සතුට හා සෙනෙහස පිළිබඳවයි. ඇයි, බොහෝ චිත්‍රපටවලට පසුබිම් වූ දුගී දුප්පත්කම ආදී දෙය හිතාමතාම බැහැර කරන්නට ඔබ මේ තුළින් උත්සාහ ගත්තේ?
මමත් එක්තරා දවසක ළමයෙකු වශයෙන් සිටි බව මතකයේ තබාගෙනයි මා මෙම චිත්‍රපටයේ තිරකතාව ලියන්න පටන්ගත්තෙ. ඇත්තෙන්ම ළමයෙක් කියන්නෙ නිතරම සතුටින් සිටින්නට උත්සාහ කරන ජීවිතේ ප්‍රශ්න ඔළුවට දමාගෙන ඒවා විසඳන්නෙ කෙසේද යන්න හොයන පුද්ගලයෙක් නෙවෙයි. වෙනත් රටවලින් නිර්මාණය කර අපේ රටේ දරුවන්ටත් නරඹන්න ලැබෙන කාටූන් චිත්‍රපටිවල තනිකරම ළමා මනසට දෙන්න උත්සාහ දරන්නෙ ලස්සන සහ සතුට. එයින් දරුවාගේ මනසේ සිතුවිලි සුන්දර වෙනවා. දුප්පත් දරුවාගේත්, පොහොසත් දරුවාගේත් වෙනසක් නැහැ. මොන ආගමේද මොන ජාතියේද වෙනසක් නැහැ.
කොයිතරම් දුක වේදනාව සමාජයේ පැතිර පැවැතියත් ළමයෙකුගේ මනස සැණකෙළියක්. ඒ සැණකෙළිය තුළ ඔවුන් මහප්‍රාණ දේවල් සතුට සඳහා සොයන්නේ නැහැ. වැඩිහිටියෙක් වාහනයක් මිලදී ගන්න සොයද්දී දරුවෙක් තමන්ගේ ගෙවත්තට එන සමනළයෙක් ගැන සිතන්නට පුළුවන්. එයයි ළමා වියේ ස්වභාවය. ළමුන්ගේ ලෝකවල රජ වෙන එවන් පුංචි වස්තුබීජයන්වලට ඔවුන් වැඩෙන සමාජය වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. හීරෝ නීරෝ හරහා මමත් මෙහි නිෂ්පාදකවරයාත් කරන්නේ එවැන්නක්.
Q 'හීරෝ නීරෝ' තුළින් ඔබ ළමයින්ට කියන කතාව ගැනත් යමක් කියන්න
මේ කතාව ගොඩ නැගෙන්නෙ එක්තරා නිවාස සංකීර්ණයක ජීවත්වන දරුවන් පිරිසක් වටා. මොවුන් අතර කිසිම භේදයක් ඇති නොවන පරිදි කතාව ගොතන්න අපි වගබලාගත්තා. මොකද ළමුන් කියන්නෙ භේද අඳුනන්නේ නැති පිරිසක්. මේ දරුවන් එකොළොස්දෙනා බොහොම සෙනෙහසින් ජීවත්වන පවුල් පසුබිමකින් තමයි මේ කතාවට එකතුවෙන්නෙ. මේ අතර ඉන්නවා එක්තරා දරුවෙක් සෙනෙහස අඩුකමට මුහුණ දෙන. ළමුන්ගෙ වචනයෙන් %බව්වා^ කියා හඳුන්වන බල්ලා අයිති මේ දරුවාටයි. මේ දරුවා ඒ බල්ලාට සළකන්නෙ තමන්ගේ සහෝදරයා විදිහට. අපි බල්ලා කියන නම භාවිත නොකර දරුවන්ගේම වචනයෙන් 'බව්වා' කියන නමම යොදාගත්තෙ එය ළමුන්ගේ භාවිතයට නොසුදුසු නමක් නොවන නිසා.
ඉතිං මේ ළමා පිරිස සහ බව්වා අතර සියුම් ලෙස සමාජ සාරධර්ම, එකමුතුකම, දයාව අනෙකා වෙනුවෙන් තම හැකි පමණින් සෙනෙහස දයාව දැක්වීමට පැවතිය යුත්තේ ඒවා අඳුනන හදවත් සහ ඕනෑකම මිස වෙන අන් යමක් නොවන බව මුල් වුණ කතා පුවතක් තමයි අපි මෙතුළින් කියන්නෙ. ළමුන් මවන හීන ඒ ආකාරයෙන්ම දකින්නට ඉඩදී අපි ඒ කතාව චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුවම ඔවුන්ට දැනගන්නට ඉඩ හරිමු.
Q 'හීරෝ නීරෝ' චිත්‍රපටයක් වීම අරඹන්නේ මීට අවුරුදු හයකට පෙර?
ඔව්. මේ චිත්‍රපටය හදන්න පටන් ගත්තෙ 2010දී නමුත් ළමා චිත්‍රපටයක් නිෂ්පාදනය කරල, ඒ චිත්‍රපටය ලාභ ලබයිද කියල බයට පත්වෙන නිෂ්පාදකයන් අතරෙ බයක් නැතිවයි නිශාන්ත ප්‍රදීප් මොහොට්ටි මේ වැඩේට මාත් එක්ක එකතු වෙන්නෙ. ඔහු මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා විතරක් නෙවෙයි. තිර රචනයටත් දායක වෙනවා. චිත්‍රපටයේ කතාව මගේ වුණත් අපි දෙන්නාම එහි විවිධ පැතිවලින් තිර රචනයට දායක වෙලා තියෙනවා. %හඳයා^, %සුද්දා^ චිත්‍රපටවලින් පසුව සත්ත්වයෙක් යොදාගෙන කළ එකම ළමා චිත්‍රපටය මේක කියලා මම හිතනවා.
Q ඇයි, ඔබට ළමයින්ට වෙන්ව වූ චිත්‍රපටයක් නිර්මාණය කරන්න ඕන වුණේ..?
හොඳම දේ ළමුන්ටය කියල කතාවක් තිබුණට නිර්මාණකරණයේදී ළමයින්ට දක්වන අවධානය මදි කියලා මට අනන්තවත් හිතිලා තියෙනවා. ළමයින්ට අඩු සැළකිල්ලක් දැක්වීමට මම විරුද්ධයි. එයාලගෙ දක්ෂතා වගේම අදහස් තුළත් ගත යුතු යමක් තිබෙනවා. මේ දරුවන් තුළ තිබෙන හැකියාවන් හඳුනගන්න වැඩිහිටියන්ට දැනුමක් තිබිය යුතුයි. මම 'පුංචි පැංචි' වැඩසටහන කරන කාලයේ සෑහෙන්න කුඩා දරුවන් සමග වැඩ කළා.
ඔවුන්ගෙන් බොහෝදේ උකහා ගත්තා. ළමයි කියන්නේ මට අලුත් පිරිසක් නෙවෙයි. ඔවුන්ගේ සිතුම් පැතුම්වල ඇති නිර්ව්‍යාජත්වය හොඳින් කියැවූ කෙනෙක් වශයෙන් මට ඕන වුණා, ඔවුන්ගේ අහිංසක ළමා ලෝකයට නිසි සැළකිල්ලක් දක්වන්න.අනෙක් කාරණය අපි වැඩිහිටියන් ලෙස ඔවුන්ගේ ලෝකවල සතුට සොම්නස සහ සුන්දරත්වය අතුරන්න කැපවෙන්නට තියෙන වගකීම පැහැර හරින්නට අපිට කොහෙත්ම අයිතියක් නැහැ කියා මමත් නිශාන්තත් හිතනවා.
Q කවුද මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන ප්‍රධාන නළු නිළි පිරිස?
සංගීතා වීරරත්න, මහින්ද පතිරගේ, දුලීකා මාරපන, නිල්මිණි තෙන්නකෝන්, නිරෝෂන් විජේසිංහ, ප්‍රේමදාස විතානච්චි සමග ඔටාරා ගුණවර්ධනත් මේ චරිතවලට ප්‍රධාන වශයෙන් සිය දායකත්වය සපයනවා. සංගීතය සපයන්නෙ හඳුන්වාදෙන සංගීතඥයෙක්. ඔහු ෂමිල් ජේ. කැමරාකරණය රාජා සහීඩ්. උපදේශකවරයෙක් ලෙස විමර්ශන රත්නායක මෙයට දායකත්වය සපයනවා.
මිනිස් නළුවෙකු නොවුණත් මේ චිත්‍රපටයට දායකවෙන 'බව්වා' ළමා ලොවේ සුරතලයට දැඩි එකඟතාවයක් දක්වන සතෙක්. මේ සත්ත්වයා දරුවන්ගේ හැඟීම් එක්ක වැඩකරන විදිහ හරි අපූරුයි. 'හීරෝ නීරෝ' තුළ කිසිම අවස්ථාවක ළමා මනසට අනුචිත නොවන හැඟීම් වැපිරෙන්න අපි ඉඩ තියා නැහැ. මේ චිත්‍රපටියට අපි කිසිම ලේබලයක් අලවන්නේ නැහැ. ළමයින් කියන්නේ සම්පතක්. තම දූ දරුවන් සම්පතක් සේ සළකන මවුපියන් හැමවිටම දරුවන්ගේ මනසට දෙන්න උත්සාහ කරන්නෙ ඔවුන්ගේ වයසට නැතිනම් ඔවුන් ගෙවන ජීවන අවදියට ගැළපෙන දෙයක්.
'හීරෝ නීරෝ' ඒ ගැළපීම හඳුනාගත් සිනමා නිර්මාණයක් බව බය නැතිව කියන්නට මට පුළුවන්. ළඟදීම 'හීරෝ නීරෝ' ඔබේ සිනමාහලටත් ඒවි. සුන්දර ළමා වියේ ලස්සන තුළින් වැඩිහිටි ඔබටත් මෙය විඳින්නට හැකි නිර්මාණයක් වේවි. මා එසේ කියන්නෙ අද වැඩිහිටියෙකුව ළමුන්ගේ ආදරයට පාත්රවන ඔබත් දවසක මේ සොඳුරු ළමා වියේ ආශිර්වාදය විඳි අයෙකු බව සිහිපත් කරවන්නට මේ චිත්‍රපටියට හැකිවන නිසයි.