කොළඹ- කුරුණෑගල ප්රධාන මාර්ගයේ අලව්ව වාරියගොඩ ප්රදේශයේදී අලව්ව රණවිරු ඇපරල් යුද්ධ හමුදා ඇඟලුම් ආයතනයට අයත් කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් (15) දා සිදුවූූ අනතුරකින් 17හැවිදිරි තරුණියක මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා වරකාපොල රෝහල වෙත ඇතුළත් කළ බව වරකාපොළ පොලිසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ යතුරු පැදියේ ගමන් ගත් තල්ගස්යාය තුඹුල්ල ,නවතල්වත්ත ලිපිනයේ පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ ඉෂාරා දේවින්දි රාජපක්ෂ නැමැති (17) හැවිදිරි තරුණියක වන අතර තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ඇයගේ සහෝදරයා වන එම ලිපිනයේම පදිංචි (21) හැවිදිරි අයෙකු හා යතුරු පැදිය පැදවූ (19) හැවිදිරි තරුණයෙකු හා අලව්ව රණවිරු ඇපරල් ආයතනයට අනුයුක්තව සේවය කරන යුද හමුදා කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ (29) හැවිදිරි ලාන්ස් කෝප්රල් වරයෙකි.
කැබ් රථය අලව්ව සිට අඹේපුස්ස දෙසට ධාවනය වෙමින් තිබියදී (15)දා රාත්රී 07.00 ට පමණ වරකාපොළ පොලිස් වසමට අයත් වාරියගොඩ ඉන්ධනහල ඉදිරිපිටදී වරකාපොළ සිට අලව්ව දෙසට ගමන් කළ යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදියේ තිදෙනකු ගමන් කර ඇති අතර තුවාල ලැබූවන් යුද හමුදා කැබ් රථයෙන්ම වරකාපොල රජයේ රෝහල වෙත ඇතුළත් කළද ඒ වන විටත් එම තරුණිය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මියගිය තරුණියගේ දේහය වරකාපොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දේහය සම්බන්ධ මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබිණ.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු හා යතුරු පැදියේ රියදුරු ප්රතිකාර කිරීමෙන් අනතුරුව අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර වරකාපොළ පොලීසියේ රථවාන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
