නිවේදිකාවක ලෙස ක්ෂේත්රයට පිවිසි ඇය රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටය 'ඉනියවන්' සම්මාන සඳහා යෝජනා විය. මේ වනවිට ඉන්දියානු චිත්‍රපටයක් සඳහාද රංගනයෙන් දායක වෙමින් සිටින ඇය සුභාෂිණී බාලසුබ්රමණියම්ය. මේ සුභාෂිණී 'අද' සමග කළ පිළිසඳරකි.
-
මේ දිනවල ලංකාවේ දකින්න නැහැ නේද?
'රෑන' රූපවාහිනී කතාමාලාවේ රූපගත කිරීම් කටයුතු කරන අතරතුර ඉන්දියාවේ චිත්‍රපටයක් සඳහා දායක වී සිටිනවා. එහි වැඩකටයුතු සඳහා ඉන්දියාවේ රූගත කිරීම් සඳහා දායක වුණා. ඒ නිසා තමා වැඩිපුර ලංකාවෙ නැත්තෙ. ඊට අමතරව මම රැකියාව කරන රූපවාහිනී නාලිකාවෙත් නිවේදන කටයුතු සඳහා දායක වෙනවා.
-
වෘත්තීය වශයෙන් නිවේදිකාවක්ද? රංගන ශිල්පිනියක්ද?
මම වෘත්තීය වශයෙන් නිවේදිකාවක්. ඒ අතරතුරදි තමා රංගන කටයුතුවල නියැළෙන්නෙ. මට ඒ සඳහා අවස්ථා ලැබිලා තමා මම රංගන කටයුතු සඳහා සහභාගි වුණේ. ඒක නිසා මගේ වෘත්තිය රඟපෑම නොවේ.
-
ඒ අනුව ඔබේ වෘත්තිය පිළිබඳව කතාකළොත්?
මම දැනට අවුරුදු 10ක කාලයක සිට මාධ්‍ය තුළ වැඩ කරමින් සිටිනවා. දෙමළ නාලිකාවක් වන 'වසන්තම් ටීවී' හි තමයි මම රැකියාව කරන්නෙ. ඊට අමතරව ස්වර්ණවාහිනියේ වැඩසටහනක් කරනවා. තව ITN නාලිකාවේ මුත්තයියා මුරලිදරන් සමග වැඩසටහනක් කරනවා.
-
දමිළ අයෙක් විදියට සිංහල රංගන ක්ෂේත්රයේ වැඩකටයුතු කරන්නේ?
මම සිංහල භාෂාව දන්න එක තමා මගේ Plus Point එක වෙන්නේ. සිංහල භාෂාව ඉගෙන ගත්තෙ පොඩි කාලෙ ඉඳන්ම මම දහම් පාසල් ගිය නිසයි. මම මේ වෙනකොට ගොඩක් සතුටු වෙනවා, පොඩි කාලේ දැනුවත්ව හෝ නොදැනුවත්ව හරි හොඳ දෙයක් කරලා තියෙනවා. මේ දේ නිසා මගේ වෘත්තියටත් හොඳ වටිනාකමක් ලැබිලා තිබෙනවා.
-
ඉන්දියාවෙ රූගත කරන චිත්‍රපටය ගැන සඳහන් කළොත්?
ඒක ඇත්තටම කිව්වොත් ඉතිහාස කතාවක්. 'පොන්නියන් චෙල්වම්' නමින් තමා නම් කරලා තියෙන්නෙ. ඒක ඉන්දියානු දමිළ ජනතාවගෙ ඉතිහාස කතාවක්. ඒක හඳුන්වා දෙන්නේ 'Eros International' වෙතින්. එහි අධ්යක්ෂණ කටයුතු කරන්නේ රජිනි කාන්ත්ගේ දුව වන සෞන්දර්යා රජිනිකාන්ත් විසින්.
-
එම චිත්‍රපටය සඳහා ඔබට ආරාධනා ලැබුණේ කොහොමද?
මීට අවුරුද්දකට කලින් වගේ මට ඉන්දියාවෙ නාලිකාවට නිවේදන කටයුතු කරන්න ආරාධනාවක් ලැබුණා. මෙහි වැඩ කටයුතු තිබුණ නිසා ඒ දේ එකදිගට කරන්න මට බැරිවුණා. නමුත් මම එක මාසයක් පමණ එහි වැඩකටයුතුවලට සහභාගී වුණා. ඒ අතරතුරේදී චිත්‍රපටයක් සඳහා නාලිකාවෙන්ම තමා මාව යෝජනා කරලා තිබුණේ 'Eros International' එකට. එතනින් මාව තෝරාගත්තා.
මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසය දක්වා රූගත කිරීමේ තිබෙනවා. එම චිත්‍රපටයේ රංගන දායකත්වයත් සමගම තවත් චිත්‍රපටයක් සඳහා ආරාධනාවක් ලැබිලා තියෙනවා. එය තාම නිල වශයෙන් මාධ්‍ය සඳහා දැනුම් දුන්නෙ නැහැ. එහි නම 'පාස්පෝර්ට්'. එහි රූගත කිරීම් ජූලි මාසයේ ආරම්භ කරන්න කටයුතු යොදා තිබෙනවා. මෙම චිත්‍රපට දෙකේම රූගත කිරීම් කරන්නේ ඉන්දියාවේ කේරලේ, මුම්බායි සහ චෙන්නායිවල. ඉතිං එම කාර්යයත් එක්ක ඉතාමත් කාර්යබහුල වෙලා තිබෙන්නේ.
-
ඉන්දියාවේ රූගත කිරීම් නිසා ඔබ සේවය කරන නාළිකාවේ වැඩකටයුතු මඟහැරෙන්නේ නැද්ද?
මම සේවය කරන නාලිකාවෙන් මට උපරිම සහයෝගයක් ලබාදෙනවා. ඉන්දියාවේ රූගත කිරීමට යාමට ඇති දවස්වලදී විකාශය වීමට ඇති වැඩසටහන් කලින්ම පටිගත කිරීමට උදව් කරනවා. නිෂ්පාදකවරයාගේ සිට වැඩසටහන් කළමනාකාරතුමා වෙනකන්ම මට උපරිම සහයෝගයක් ලබාදෙනවා. ඒ අය ගොඩක් සතුටුවෙනවා එයාලාගෙ නාලිකාවෙන් කෙනෙක් මෙවැනි වැඩකට සහභාගී වෙන නිසා. මම මෙහෙ නැතිවුණත් මගේ වැඩසටහන් රූපවාහිනියේ විකාශනය වෙන විදිහට සියලුම වැඩකටයුතු මට කරලා දෙනවා.
-
ශ්‍රී ලංකාවෙ සිනමාවට ලැබුණු ඔබේ මූලික අඩිතාලම කුමක්ද?
මම මුලින්ම ලංකාවෙ සිනමාවට ඒමට අවස්ථාව ලැබුණෙ ඉනිඅවන් චිත්‍රපටය හරහායි. මම ඒ සඳහා අවස්ථාවක් බලාගෙන සිටි වෙලාවකුත් නොවෙයි. ඉතිං ඒ සඳහා ආරාධනාවක් ලැබිලත් මට ගෙදරින් අවසර ගන්න සතියක් පමණ කාලයක් ගියා. ඉතිං කොහොම වුණත් මගේ පළමු චිත්‍රපටය ඉන්යවන් චිත්‍රපටයයි.
-
පළමු චිත්‍රපටය වෙනුවෙන් ඔබව සම්මානයක් කිහිපයක් සඳහා යෝජනා වුණා නේද?
අංශ තුනක් සඳහා මාව යෝජනා වුණා. හොඳම රංගන, හොඳම නිළිය සහ හොඳම නැගී එන නිළිය වශයෙන් තමා මාව යෝජනා වුණේ. මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතනවා. යශෝධා අක්කි වගේ අය යෝජනා වෙන අංශයක් සඳහා මාව යෝජනා වෙන්න තරම් මට අවස්ථාවක් ලැබුණ එක ගැන මම ගොඩක් සතුටුවෙනවා.
-
වාසනාවන්තකම නිසාමද ඔබ මේ ක්ෂේත්රයේ රැඳී ඉන්නේ?
නැහැ. මගේ දක්ෂතාවක් තියෙනවා. දක්ෂතාවක් තිබෙන නිසා තම මට ක්ෂේත්රයට එන්න අවස්ථාව ලැබුණේ. මම වාසනාවන්තයි කිව්වෙ ක්ෂේත්රයේ බොහෝ ප්‍රවීණයන් ළඟට එන්න ලැබීම ගැන. නමුත් දක්ෂතාව නැත්නම් ක්ෂේත්රයේ රැඳී ඉන්න බැහැ.
-
ඔබේ සාර්ථකත්වයේ සහයෝගය කවුද?
මගේ ලොකුම සහයෝගය ලබාදුන්නෙ මගේ අම්මා. අයියා සහ තාත්තා මම මාධ්‍ය ක්ෂේත්රයේ රැකියාවක් කරනවට කැමති වුණේ නැහැ. මගේ අම්මා තමයි මේ සෑම දෙයක් සඳහාම අවසර අරන් දුන්නෙ. මගේ පළමු චිත්‍රපටය සඳහා අවස්ථාව ලබාදුන් අසෝක සර්ට මම ස්තූතිවන්ත වෙන්න ඕනේ. මොකද එයා නිසා තමයි මම චිත්‍රපට ක්ෂේත්රයට පැමිණියේ. ඊට අමතරව මේ හැමදෙයක්ම සාර්ථකව සමබර කරගැනීමට සහයෝගයක් දක්වන මගේ වසන්තම් නාලිකාවේ වැඩසටහන් කළමනාකරු වන කුලේන්ද්‍රන් මහතාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. එයා නැතිනම් මට ගොඩක් දේවල් කරන්න බැරිවේවි. නිවේදන කටයුතු කියන දේට මම ගොඩක් ආදරෙයි. ඒදේ නැතිවෙන තැනට මම වැඩකටයුතු කරන්නෙ නැහැ. විශේෂයෙන්ම මගේ රසිකයන්ටත් මම ස්තුති කරන්න ඕනේ.