සාක් කලාපයේ රටවල් වන ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය, භූතානය, මාලදිවයින, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය යන රටවල නිෂ්පාදිත තෝරාගත් චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන 2016 සාක් චිත්‍රපට උලෙළ ජුනි 1 වැනිදා සිට ජුනි 05 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ 'තරංගනී' සිනමාහලේදී පැවැත්වීමට, සාක් සංස්කෘතික මධ්‍යස්ථානය හා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් චිත්‍රපට ඇකඩමිය කටයුතු සැලසුම් කර තිබේ.
කිසිදු මුදල් අය කිරීමකින් තොරව නොමිලේ නැරඹිය හැකි, සැමටම විවෘත මෙම උලෙළේ පෙන්වන චිත්‍රපට සමහරක් වැඩිහිටියන්ට පමණක් වෙන්වූ හෝ වැඩිහිටියන්ට වඩාත් සුදුසු තේමාවන් වලින් නිර්මිත බවද මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹ ගලධාරි හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදී සාක් සිනමා උලෙළේ උපදේශක සිනමා කැමරා ශිල්පී ධනුෂ්ක ගුණතිලක මහතා සඳහන් කළේය.
ජුනි 1 වැනිදා සවස 6.30ට උලෙළේ ආරම්භක චිත්‍රපටය ලෙස ප්‍රදර්ශනය වන ඉන්දියාවේ නීරාජ් ගයිවාන් අධ්‍යක්ෂණය කළ 'මසාන්' (Masaan) චිත්‍රපටයත්, ජුනි 5 වැනිදා සවස 6.30ට ප්‍රදර්ශනය වන ශ්‍රී ලංකාවේ සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ 'බොරදිය පොකුණ' චිත්‍රපටයත් වැඩිහිටියන්ට පමණක් නැරඹීමට සීමාවෙයි.
ඉන්දියාවේ ඇති කුලවාදය පිළිබඳ ප්‍රේමනීය ශෝකාන්තයක් වන 'මසාන්' Fly away solo ලෙස 2015 වසරේ ජාත්‍යන්තර සිනමා උලෙළ ගණනාවක් නියෝජනය කළ කෘතියකි. 'බොරදිය පොකුණ' නිදහස් වෙළෙඳ කලාපයේ යුවතියන්ගේ පසුබිමේ ඇති යථාර්ථය නිවැරදිව පිළිඹිබු කරන ශ්‍රී ලංකා නියෝජනයකි.
ජුනි 2 වැනිදා සවස 4.00 ට ප්‍රදර්ශනය වන බංග්ලාදේශ අධ්‍යක්ෂක අබු ෂාහුඩ් ඉමෝන් අධ්‍යක්ෂණය කළ Jalal's Story (ජලාල්ගේ කතාව) ගංඟාවක පාවී අවුත් දිවි බේරාගන්නා කුඩා බිළිදෙකුගේ ජීවිත කතාව රැගත් චිත්‍රපටයකි.
එදිනම සවස 6.30 ට ප්‍රදර්ශනය වන TRAVELLERS and MAGICIANS (ට්‍රැවලර්ස් ඇන්ඩ් මැජීෂන්ස්) භූතාන් අධ්‍යක්ෂක කෙන්ට්සේ නෝබු අධ්යක්ෂණ කළ වෘත්තාන්ත චිත්‍රපටයකි. සෞභාග්‍යමත් දිවියක් පතා මාර්ග දෙකක යන මිනිසුන් දෙදෙනෙකුගේ කතාවක් වන මෙය 2004 වසරේ කළ නිෂ්පාදනයකි.
මේ වසරේ ප්‍රදර්ශනය කරන ලද අලුත්ම ඉන්දීය චිත්‍රපටයක් වන ඩිජිටල් සිනමාවට මැදිවන, පැරණි චිත්‍රපට ප්රදර්ශකයෙකුගේ අපූරු කතාවක් රැගත් Cinemawala (සිනෙමාවාලා) කෞෂික් ගංගුලිගේ අධ්‍යක්ෂණයකි.
ලෝක පාපන්දු කුසලාන තරගය ප්‍රංශයේ පැවැත්වෙද්දී බෞද්ධ දර්ශනය ඉගැන්වීමේ අභියෝගවලට මුහුණදෙන ලාමාවරයෙකු හා තරුණ ටිබෙට් සරණාගතයන් දෙදෙනෙකුගේ කතාවක් රැගත් The Cup ( ද කප්) භූතාන් අධ්‍යක්ෂක කෙන්ට්සේ නෝබුගේ තවත් සිනමා නිර්මාණයක් වන අතර, එය ජුනි 5 වැනිදා සවස 4.30ට ප්‍රදර්ශනය වෙයි.
ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ හෝ ගානා පොකුණ චිත්‍රපටයද ජුනි 3 වැනිදා සවස 6.30 ට ප්‍රදර්ශනය වන අතර, කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී ජුනි 3 වැනිදා උදේ 10.30 ට රුසියාවේ පැවැත්වෙන සිනමා උලෙළවල් පිළිබඳව විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වේ.
පද්මකුමා බී මෙත්තසේන